[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ෂු ගරුත්වයට හිමි පූජනීයත්වයෙන් හා උදාරත්වයෙන් පිරිපුන් කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නා හිමි

භික්ෂු ගරුත්වයට හිමි පූජනීයත්වයෙන් හා උදාරත්වයෙන් පිරිපුන් කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නා හිමි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිරිවෙන් හා ආගමික විෂය භාර විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නා හිමිපාණන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ ළමා කාලයේ දී ම පැවිදි වීමට හේතු වූ මූලික පසුබිම සකස් වුණේ කුමන ආකාරයෙන් ද?

මම 1946 වර්ෂයේ ඔක්තෝබර් පළමුවෙනිදා මාතර කරගොඩ උයන්ගොඩ නම් ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක උප්පත්තිය ලැබුවා. එවකට ගමේ ජීවත්වුණු සියලු ගම්වැසියන් අන්‍යෝන්‍ය සුහදතාවයෙන් ඉතාමත් සැනසිලිදායක ලෙස ජීවත්වුණු පිරිසක් බව ප්‍රකාශ කළ යුතු යි. ඒ වගේම නිවස ඉදිරිපිට තිබෙන කෙළවරක් නොපෙනෙන කුඹුරු යායේ අස්වැන්න නෙළා ගැනීමෙන් අනතුරුව ගමේ සියලුම ළමයින් ඒකරාශී කර ගනිමින් මිත්‍රශීලී ව සෙල්ලම් කරමින් කෙළිදෙළෙන් ගත කළ ළමා කාලය සිහිපත් කරන්නේ ඉතාමත් සතුටින් වර්තමාන දරු පරපුරට එවැනි අද්දැකීම් අත්විඳීමට ලැබීමේ අඩු ප්‍රවණතාවයක් මේ වන විට උදාවෙලා තිබීම කනගාටුවට කරුණක් බව ප්‍රකාශ කළ යුතුයි.

මාගේ ආදරණීය පියාණන් වන ඩී.එස්. අබේවික්‍රම වීරමන් හා ආදරණීය මෑණියන් වන මුණසිංහ වික්‍රමරත්න වීරමන් යන මව්පිය දෙපළ ගත කළ ආදර්ශවත් ජීවිතය ළමා කාලය තුළ යහපත් ගුණධර්ම පෝෂණය කර ගැනීමට බෙහෙවින් උපකාර වුණා. සෑම පසළොස්වක පොහොයකදී ම මෑණියන් සමඟ පන්සලටයාමත්, මෑණියන් සමඟ නිවස තුළ බුද්ධ වන්දනා කිරීමත් කුඩා අවධියේදී ම පුරුදු වුණු සිරිතක් . මෑණියන් හා පියාණන් ගත කළ උදාර ජීවිතය ආගමික චාරිත්‍ර පිළිබඳ නිවැරැදි පුහුණුවක් ඇති කළා.

කරගොඩ උයන්ගොඩ මහා විද්‍යාලය, හා අනගාරික ධර්මපාලතුමා ආරම්භ කළ මහාබෝධි මහා විද්‍යාලය තුළින් මූලික අධ්‍යාපනය ලැබුවා. කුඩා කාලයේ සිටම ගුරුවරුන් කෙරෙහි දැක් වූ අසීමිත ගෞරවයත්, භක්තියත් නිසාම ගුරුවරුන් ලබා දුන් අවවාද පිළිගෙන ඒ ආකාරයෙන්ම කටයුතු කිරීමට වගබලා ගත්තා. ආදර්ශවත් මව්පියන්ගේ ආභාසයත්, උදාර ගුරුවරුන්ගේ ඇසුරත් ගුණධර්මවලින් පරිපූර්ණ වූ ළමා අවධියක් උරුම වීමට ප්‍රබල සාධකයක් වූ බව සිහිපත් කළ යුතු යි.

මහාබෝධි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලය තුළ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේගේ ඇසුර ලබා ගැනීම ජීවිතයේ ලැබුණු භාග්‍යයක් කොට සලකන්න පුළුවන්. ඒ අවධිය වන විට උන්වහන්සේ කොළඹ මාලිගාකන්ද පාරේ මහාබෝධි මන්දිරය තුළ වැඩ සිටිමින් විද්‍යෝදය විශ්වවිද්‍යාලය තුළ ඉගැන්වීම් කටයුතු කළා. උන්වහන්සේ නිතර ඇසුරු කිරීමට ලැබීමත් සමඟ නිතරම පොත පත පරිශීලනය කිරීමට හුරු වූවා වගේම කාලයාගේ ඇවෑමෙන් පැවිදි වීමේ ආසාවත් නිරායාසයෙන්ම ඇති වුණා. ඒ අනුව බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1962 වර්ෂයේ ජූනි 18 වෙනි දින උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වුණා.

ඔබ වහන්සේගේ පැවිදි ජීවිතයේ සාර්ථකත්වයට මෙන්ම අධ්‍යයන කටයුතුවලට වියත් පඬිවරුන්ගේ ඇසුර බලපෑවේ කුමන ආකාරයෙන් ද?

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන් වහන්සේ නිතරම පොත පත පරිශීලනය කරමින් ශාස්ත්‍රීය කටයුතුවල නිරතවුණු මහා යතිවරයාණන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කළ ආදර්ශවත් ජීවිතය අත්විඳීමට ලැබීම හා උන්වහන්සේගෙන් ලැබුණු ආභාසය සම්පූර්ණයෙන්ම පැවිදි ජීවිතයේ සාර්ථක බවට ඉවහල් වුණා. විෂය දැනුමට පරිබාහිර වූ බොහෝ දැනුම ලබා දීමට උන්වහන්සේ ක්‍රියා කළ ආකාරය කෘතවේදී ව සිහිපත් කළ යුතු යි. ඇතැම් දිනවලදී පිණ්ඩපාතය වැඩම කිරීමට පවා උපදෙස් ලබා දෙමින් පුරුදු කළා. ඉතාමත් නිහතමානී සැහැල්ලු අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමට හුරුපුරුදු වුණු උන් වහන්සේගේ චරිතාපදානය මට සැහැල්ලු පැවිදි ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා කළා.

ඒ වගේම දඹවින්නේ සුමනසාරාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ යටතේ සුධර්මාලංකාර පිරිවෙනින් අධ්‍යාපන කටයුතුවල නිරතවන අවධිය තුළත් විෂය දැනුමට පරිබාහිරව උන්වහන්සේගෙන් බොහෝ දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකි වුණා. පන්ති සාමාර්ථයක් සහිතව ප්‍රාචීණ, මධ්‍යම විභාගයෙන් සමත් වුණා වගේම ප්‍රාචීණ මධ්‍යමයත් අවසන් කරමින් උසස් පෙළ සමත් කරගෙන 1967 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී දර්ශනය පිළිබඳව ගෞරව උපාධිය ලබා ගත්තා. ඒ කාලය තුළ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, මහාචාර්ය කේ.එන්. ජයතිලක, මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න වැනි වියතුන් ඉතා සමීපව ඇසුරු කිරීමට ලැබීමත් ජීවිතයේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කළ බව ප්‍රකාශ කළ යුතු යි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු සංසදයේ සභාපති හා ලේකම් වශයෙන් වසර ගණනාවක් අඛණ්ඩව ක්‍රියාකාරීව කටයුතු කිරීමේ අවස්ථාව උදා වුණා. එහිදී ශිෂ්‍ය උද්ඝෝෂණ පැවැති සෑම අවස්ථාවකදීම භික්ෂූත්වයට හානියක් නොවන අයුරින් භික්ෂුව තුළ පැවැතිය යුතු සංවර බව හා සංයත බව ආරක්ෂා කරගෙන ජයග්‍රහණය කරා ළඟා විය යුතු බව තීරණය කරමින් ඒ අනුව කටයුතු කළා. අපහාස උපහාසවලින් තොරව සියලු දෙනාගේ ප්‍රසාදය දිනාගෙන ක්‍රමානුකූලව ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කිරීම ඇතැම් විට වර්තමාන ශිෂ්‍ය පරපුරටත් ආදර්ශයක් ලබා ගත හැකියි.

විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල වාර්ෂිකව පිරිත් දේශනා පවත්වමින් මාසිකව ධර්ම දේශනා පවත්වමින් වසර ගණනාවක් අඛණ්ඩව ආගමික කටයුතුවල නියැළුණා පමණක් නොවෙයි, මහනුවර රෝහලට අවශ්‍ය කරන භාණ්ඩ පරිත්‍යාග කිරීමේ වාර්ෂික වැඩසටහනක් අඛණ්ඩ ව ක්‍රියාත්මක කළා. ඒ ආකාරයෙන් විශ්වවිද්‍යාල තුළත් ඉන් පරිබාහිරවත් ආගමික මෙන්ම සමාජ මෙහෙවරක යෙදීමට කටයුතු කරමින් භික්ෂු ගරුත්වයට හානියක් නොවන ආකාරයට ශිෂ්‍ය ඉල්ලීම් දිනාගත් බවත් සිහිපත් කළ යුතු යි. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් වසර ගණනාවක් සේවය කළා.

ඔබ වහන්සේගේ ආගමික, සමාජීය, හා ශාස්ත්‍රීය සේවාව පිළිබඳව පැහැදිලි කරනවා නම්,

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීමකට අනුව 1974 වර්ෂයේදී ශිෂ්‍යයන් 800 ක් පමණ ප්‍රමාණයක් අධ්‍යාපනය ලබමින් සිටි බලංගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන භාර ගැනීමට සිදු වුණා. එහි අධ්‍යාපනය හදාරන ළමුන් වෙනුවෙන් කෘෂි විද්‍යාගාරයක්, නැටුම් අංශයක්, සංගීත අංශයක්, ක්‍රීඩා අංශයක්, වගේම බාල දක්ෂ ව්‍යාපාරයක් ආරම්භ කළා. වර්තමානය වන විට විශාල සිසු පිරිසක් අධ්‍යාපනය ලබන ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා.

1992 වර්ෂයේදී සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව පිරිවෙන් අධ්‍යක්ෂ වශයෙන් පත් වීමත් සමඟ 2006 දී විශ්‍රාම යනතෙක් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල කාර්යයක් ඉෂ්ටකළා. ඒ අතර ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන්, ශිෂ්‍යනායක පුහුණු වැඩසටහන්, විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කළා.

ශාස්ත්‍රීය වශයෙන් ග්‍රන්ථ රාශියක් රචනා කිරීමට කටයුතු කළා සේ ම බොහෝ ශාස්ත්‍රීය ලිපි පුවත්පත් සඟරාවල පළ කිරීමට කටයුතු කර තිබෙනවා. “මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය”, “සැලෙන සිතට සමාධි සුවය” , “ඔබේ සිතට සමාධි සුවය”, “මෙත් සිසිලෙන් සිත් සැනසේ” ආදී ග්‍රන්ථවලට අමතරව දර්ශනය හා මනෝ විද්‍යාව සඟරාව, හා ප්‍රතිභා සඟරාව රචනා කළා. වයස අවුරුදු 18 දී බුද්ධ ගජ්ජය හා සකස්කඩය නැමැති ග්‍රන්ථය සංස්කරණය කළ බව සිහිපත් කළ යුතුයි.

සෑම වර්ෂයක් පාසා අඛණ්ඩව ජන්ම දිනය නිමිත්තෙන් ගැබිනි මාතාවන් වෙනුවෙන් පෝෂණ මල්ලක් සහිතව මුදල් පරිත්‍යාග ලබා දීමටත් වර්ෂයක් පාසා අඛණ්ඩව විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන තෝරාගත් සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමටත් අධ්‍යාපනය ලබන දරුවන් ප්‍රමාණයකට මාස්පතා ශිෂ්‍යත්ව මුදලක් ලබා දීමත් සිදු කරනවා. සබරගමු විශ්වවිද්‍යාල පාලක සභාවේ සභාපතිත්වය දරමින් ක්‍රියාකාරීව කටයුතු කරනවා වගේම ආගමික හා ශාසනික සේවාවන් වෙනුවෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් සම්මාන උපාධි පිරිනමා තිබෙන බව සිහිපත් කළ යුතුයි.

   බිනර පුර අටවක පෝය 

    අගෝස්තු 25 අඟහරුවාදා අපරභාග 12.22න් පුර අටවක පෝය ලබා 26 බදාදා පූර්වභාග 10.39 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]