Print this Article


ප්‍රාර්ථනාව

ප්‍රාර්ථනාව

මරණින් මතු සුගතියෙහි උපදවා සම්පත් ලබා දීමේ ශක්තියක් පින්වල ඇත. එබැවින් පින් කළ තැනැත්තා කොහි හෝ සුගතියක උපදින්නේ ය.

සුගතිය වුව ද සෑම තැනම යහපත් නැත. මිසදිටුවන් වෙසෙන පව් කම්හි ඇලී ගැලී වෙසෙන, පව්කමින් ජීවත් වන මිනිසුන් අතර තමා කළ කුසල බලයෙන් උපනහොත් ඒ තැනැත්තාට සිදු වන්නේ තමා ඇසුරු කරන ඒ මිනිසුන් අනුව පව්කම් කොට අපාගත වීමට ය. දෙව්ලොව වුව ද සම්පත්තියෙන් මත් ව ධර්ම සංඥාවක් නැතිව කල් යවන දෙවියන් වෙසෙන තැනක උපන හොත් තමා කළ පින් අවසන් වීමෙන් පසු අපාගත විය හැකි ය. එබැවින් පින් කරන්නවුන් විසින් පවින් තොරව වෙසෙමින් ඉදිරියටත් පින්කම් කර ගැනීමට අවකාශ ලැබෙන තැනක ඉපදීමට පැතිය යුතු ය. කුසලං කම්මං කත්වා එකස්මිං ඨානෙ පත්ථනං කාතුං වට්ටති යනුවෙන් කුසල් කොට යම්කිසි සුදුසු ස්ථානයක ඉපදීම පැතිය යුතු බව සංඛාරුප්පත්ති සූත්‍ර අටුවාවෙහි ද කියා ඇත්තේ ය. මුදල් ඇතියකුට මුදලින් තමා කැමති දෙයක් ගත හැකිවක් මෙන් පින් ඇති තැනැත්තාට ප්‍රාර්ථනා කළාම ඒ පිනෙන් තමා කැමැති තැනකට යා හැකි ය. යා යුත්තේ සොයා ගත යුත්තේ පවින් වැළකී පින් දියුණු කර ගත හැකි තැන් ය.

රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ 'පුණ්‍යොපදේශය' ඇසුරෙනි