Print this Article


මරණයට නොබියව මුහුණ දීමට...

මරණයට නොබියව මුහුණ දීමට...

" කෙනෙකු තුළ පවතින ජීවත් වීමේ සහජාශය ජීවිත මදයක් දක්වා වර්ධනය විය හැකිය. එවිට එම තැනැත්තාට නොමැරෙන අයෙකු සේ ජීවත් වීමට අවශ්‍ය වේ. මහලු විය පිළිකුල් සහගත දෙයක් සේ දකී. මරණයට බිය වීම සියලුම ජීවීන්ට පොදු ධර්මතාවකි."

අංගුත්තර නිකායේ දුක නිපාතයේ ආසා වග්ගයේ පළමු සූත්‍රයෙහි දැක්වෙන පරිදි ජීවිතාශාව මෙන් ම ලාභයට ඇති ආශාවත් පහසුවෙන් බැහැර කළ නොහැකි යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෙයින් පළමු වැන්න මිනිසා ඇතුලු සියලු ජීවින්ට ම පොදු ධර්මතාව වේ. මිනිසා තුළ පවතින සහජාශාවන් අතුරින් ජීවත්වීමට ඇති කැමැත්ත (ජීවිතුකාම) ප්‍රධාන වේ.

එහෙත් මෙම සහජ තත්ත්වය අවබෝධයෙන් යුතුව ක්‍රියාවට නැංවිය යුත්තකි. කෙනෙකු තුළ පවතින ජීවත් වීමේ සහජාශය ජීවිත මදයක් දක්වා වර්ධනය විය හැකිය. එවිට එම තැනැත්තාට නොමැරෙන අයෙකු සේ ජීවත් වීමට අවශ්‍ය වේ. මහලු විය පිළිකුල් සහගත දෙයක් සේ දකී. මරණයට බිය වීම සියලුම ජීවීන්ට පොදු ධර්මතාවකි. එසේම මරණය දුක්ඛදායක අත්දැකීමකි. එයට අකමැති වන්නේ දුක් වීඳීමට ඇති අකැමැත්ත හේතුවෙන් ය. මේ අනුව ජීවිතාශය සමග නොමැරී සිටීමේ කැමැත්තත් දුක පිළිකුල් කිරීමත් බැඳී පවති.

මිනිසාගේ ඒකායන අරමුණ දිගුකලක් ජීවත්වීමට ය. එබැවින් ජීවිතය හා බැ¼දී පවතින කැමැත්ත අතිශය ප්‍රබල අභිප්‍රේරණයකි. මිනිසා සියල්ල සිදු කරන්නේ ජීවත්වීම උදෙසා ය. ජීවිතාශය පහසුවෙන් බැහැර කළ නොහැකි දෙයකැයි බුදුරදුන් වදාළේ ඒ හෙයින් ය. ජීවිතාශය විසින් මිනිසා මෙහෙයවනු ලැබේ. සැම මිනිසෙකුගේ ම ඒකායන අරමුණ හැකිතාක් පහසුකම් සිහිත ව දිගුකලක් ජීවත්වීම ය. එයට බාධකවන සියල්ල සමග මිනිසා සටන් කරයි. තම පැවැත්මට බාධකවන භෞතික මෙන් ම, අභෞතික සියල්ල බැහැර කිරීම හෝ විනාශ කිරීම ඒකායන අභිලාසය වේ. ජීවිතාශය පොදු ධර්මතාවක් බව වටහා නොගන්නා පුද්ගලයා තුළ ආත්මාර්ථකාමිත්වය වර්ධනය වේ. තමා පමණක්ය යන සාවද්‍ය දෘෂ්ටිය ඇති වන්නේ ආත්මාර්ථකාමිත්වය හේතුවෙන් ය. එහෙත් එය විශ්ව සාධාරණ පොදු ධර්මතාවක් ලෙස දකින තැනැත්තා ආත්මාර්ථකාමිත්වයෙන් බොහෝ දුරට මිඳුණු අයෙකු වේ.

තමා අන්‍යයන්ගෙන් වෙන්කොට සැලකීම ආත්මාර්ථකාමී පුද්ගලයාගේ ලක්ෂණය වේ. ආත්මාර්ථකාමිත්වය අන්තර්පුද්ගල ගැටුම් ඇතිවීමට පමණක් ම නොව ආධ්‍යාත්මික විමුක්තිය සම්බන්ධයෙන් ද එහි විශාල බලපෑමක් තිබේ. තමා සමස්තයෙන් වෙන් නොකර සමස්තයේ ම කොටසක් ලෙස දැකීම හේතුඵල සම්බන්ධය වටහා ගැනීම වේ. සියල්ල පවතින්නේ හේතුඵල සම්බන්ධතාවකට අනුව යන්න වටහා ගත් පුද්ගලයාට ජීවිතාශය නිසා වන ජීවිතමදය ඇති නොවේ.

ජීවත් වීමට ඇති කැමැත්ත මූලික සහජාශයක් ලෙස සියලුම ජීවින්ටම පොදු සාධාරණ ධර්මතාවක් වුව ද ලාභ ලැබීමේ සහජාශය මිනිසාට පමණක් ම ආවේණික වූවකි. භෞතික වශයෙන් විවිධ දෑ එක් රැස් කිරීමට මෙන්ම, ඒවා අත්පත් කර ගැනීමට මිනිසා තුළ නොනවතින කැමැත්තක් හා ආශාවක් පවතී. විවිධ ලාභ ප්‍රයෝජන සඳහා පමණක් නොව තනතුරු වරප්‍රසාද හා බලය කෙරෙහි පවතින දෘඩතර ආශාව ද ලාභය මූලික කරගත්තකි. මේ සියල්ලෙන් ම මිනිසා අපේක්‍ෂා කරන හෝ බලාපොරොත්තුවන යමක් තිබේ. ලාභය උදෙසා මිනිසා විසින් යහපත් දෑ මෙන්ම අයහපත් දෑද සිදුකරයි. යහපත් දෑට වඩා අයහපත් දෑ සිදුකිරීම ලාභ ප්‍රයෝජන හා වරප්‍රසාද කෙරෙහි උනන්දුවන පුද්ගලයාගේ ලක්‍ෂණය වේ. ලාභය උදෙසාම කටයුතු කරන පුද්ගලයා විසින් පංච දුශ්චරිතය ම සිදුකරයි. සිතේ පවතින ලාභාශාව හේතුවෙන් මෙහෙයවෙන ඇතැම් පුද්ගලයන් ආධ්‍යාත්මික විමුක්තිය පිණිස පවතින ක්‍රියාකාරකම් ද ඒ සඳහා උපයෝගී කර ගන්නා අවස්ථා තිබේ. ලාභය සෙවීම අනිකක් බවත්, නිවන් පිළිවෙත අනිකක් බවත් බුදුරදුන් වදාළේ ඒ හෙයිනි. එසේම වීතරාගී උතුමෝ ලාභ කීර්ති ප්‍රසංශා අදිය හරසුන් දේ යැයි සලකා ඇති අයුරු බුදුරදුන් නාගිත තෙරුන්ට කළ දේශානව ඇතුළත් නාගිත සූත්‍රයෙන් පැහැදිලි වේ. ලාභ ප්‍රයෝජන හා කීර්තිය උදෙසා ආධ්‍යාත්මික බලය භාවිත කරන්න යැයි බුදුරදුන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ නාගිත තෙරුන් අමතා තමන් වහන්සේ සමග ලාභ ප්‍රයෝජන සම්බන්ධ නොවේවා. යසස ද තමන් වහන්සේ හා සම්බන්ධ නොවේවා යැයි ප්‍රාර්ථනා කරමින් ත්‍රිවිධ විවේක සුවය අපේක්‍ෂා කරන්නෙකු ලාභ ප්‍රයෝජන, කීර්ති ප්‍රසංශා ආදිය බැහැර කළ යුතු බවත් දේශනා කළහ. මෙහිදි බුදුරදුන් තවදුරටත් දේශනා කොට වදාළේ අනුභව කළ දෑ සියල්ල මළ හා මූත්‍ර අවසන්කොට ඇති බවයි. මෙයින් බුදුරදුන් පෙන්වා වදාළේ සිව්පස ලාභය වෙනුවෙන් ගිජුව කටයුතු කරන්නාට ත්‍රිවිධ විවේක සුවය හිමි නොවන බවයි. ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා උතුම් හා හරවත් දෙයකැයි සිතන ගිහි පැවිදි දෙපක්‍ෂයට ම මෙම බුද්ධාවවාදය බෙහෙවින් අදාළ වේ.

යසස කීර්තිය හා ලාභ ප්‍රයෝජන ප්‍රාර්ථනා කිරීම මිනිසාගේ සහජාශයක් වන හෙයින් ඒ සඳහා වර්තමාන මිනිසා අනවරත අරගලයක නිරතවෙනු දක්නට ලැබේ. විවිධ තනතුරු හා ලාභ ප්‍රයෝජන ලබා ගැනීමෙහිලා අනේකවිධ වැරදි පිළිවෙත් අනුගමනය කරනු ලැබේ.

ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අදහසින් සිල්වතුන් හා ගුණවතුන් ලෙස මහාජනයා ඉදිරියේ කටයුතු කරන පුද්ගලයන් ද දක්නට ලැබේ. අනුන් රැවටීමේ අදහසින් සිල්වත් වීම ද යට සඳහන් කළ පරිදි වංචනික ධර්මයන්ට අයත් වේ.

එහෙත් මෙම ආශයන්ගේ යථා ස්වභාවය දකින ආර්ය ශ්‍රවකයා ජීවිතය මැනවින් හැඩගස්වා ගනිමින් නොබියව මරණයට සූදානම් වෙයි. දැහැමින් තම ආර්ථිකය කළමනා කරගන්නා තැනැත්තා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා සඳහා හඹා යාමෙන් වැළකී අටලෝ දහමින් ප්‍රකම්පිත නොවේ.