Print this Article


දිවිහිම් කොට සුරැකිය යුතු සාමණේර දස සීලය

දිවිහිම් කොට සුරැකිය යුතු සාමණේර දස සීලය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.

පළමුව දැක්වෙනුයේ නමස්කාරය යි. ‘අවිදු අඳුර දුරලා සිවුසස්දහම් (චතුරාර්ය සත්‍ය ධර්මය) අවබෝධ කළ නිසා’අප තථාගතයන් වහන්සේට ‘නමෝ’ යැයි කියා වන්දනා කරන ලද්දේ සාතාගිර නැමති යක්ෂ සෙන්පතියා විසිනි.

‘තෘෂ්ණා මානාදී සියලු ම කෙලෙස් ධර්මයන් මුලිනුපුටා දැමූ නිසා’ අප අමාමෑණියන් වහන්සේට ‘තස්ස’ යැයි කියා නමස්කාර කරන ලද්දේ වේපචිත්ති අසුර සෙන්පතියා විසිනි.

‘සියලු රාගාදී කෙලෙස් ධර්මයන් නසා භග ධර්මයන්ගෙන් පිරිපුන් වූ නිසා’ අප භාග්‍යවතුන් වහන්සේට ‘භගවතෝ’ යැයි කියා නමස්කාර කරන ලද්දේ සිවුවරම් රජදරුවන් විසිනි.

‘දෙවි මිනිසුන්ගේ සිව්පස ලාභය ලැබීමට සුදුසු එකම අසහාය උතුමන් වහන්සේ වන නිසා’ තථාගතයන් වහන්සේට ‘අරහතෝ’ යැයි කියා නමස්කාර කරන ලද්දේ දෙ දෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා විසිනි.

‘සිවුසස් දහම හෙවත් චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ තනිව ම අව‌බෝධ කරගත් නිසා’ බුදුපියාණන් වහන්සේට ‘සම්මා සම්බුද්ධස්ස’ යැයි කියා නමස්කාර කරන ලද්දේ සහම්පතී මහා බ්‍රහ්මයා විසිනි.

සරණාගමනං (සරණාගමනය)

බුද්ධං සරණං ගච්ඡාමි

මම පළමුව බුදුරජාණන් වහන්සේ සරණ යමි.

ධම්මං සරණං ගච්ඡාමි

මම පළමුව ධර්ම රත්නයේ සරණ යමි) සංඝං සරණං ගච්ඡාමි

මම පළමුව සංඝ රත්නයේ සරණ යමි. දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි මම දෙවනුව ද බුදුරජාණන් වහන්සේ සරණ යමි.

දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි මම දෙවනුව ද ධර්ම රත්නයේ සරණ යමි.

දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

මම දෙවනුව ද සංඝ රත්නයේ සරණ යමි.

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි මම තෙවනුව ද බුදුරජාණන් වහන්සේ සරණ යමි.

තතියම්පිධම්මං සරණං ගච්ඡාමි මම තෙවනුව ද ධර්ම රත්නයේ සරණ යමි.

තතියම්පිසංඝං සරණං ගච්ඡාමි මම තෙවනුව ද සංඝ රත්නයේ සරණ යමි.

සාමණේර ශික්ෂාපද දහය

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං.

පර පණ (අන් සත්ත්වයන්ගේ ප්‍රාණය) නැසීමෙන්, වැනසීමෙන් වැළැකීමේ ශික්ෂා පදය

අදින්නාදානා වේරමණී සික්ඛාපදං.

තමාට නුදුන් දේ (අනුන්ගේ දේ) ගැනීමෙන් වැළැකීමේ ශික්ෂා පදය

අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං.

බඹසර වාසයෙන් වෙන්ව සිටීමෙන්

මෛථුන ධර්මයෙහි යෙදීමෙන් වැළකීමේ ශික්ෂා පදය

මුසාවාදා වේරමණී සික්ඛාපදං.

බොරුවෙන්, මුසාවෙන් වැළකීමේ ශික්ෂා පදය

සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං.

මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් (මත්ද්‍රව්‍ය භාවිතයෙන්) වැළකීමේ ශික්ෂා පදය

විකාලභෝජනා වේරමණී සික්ඛාපදං.

ඉර අවරට ගිය පසු ආහාර ගැනීමෙන් වැළකීමේ ශික්ෂා පදය

නච්චගීතවාදිත විසූකදස්සනා වේරමණී සික්ඛාපදං.

නැටුම්, ගැයුම්, වැයුම්, දැගලීම් ආදී විසූක දර්ශන බැලීමෙන් වැළකීමේ ශික්ෂා පදය

මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං.

මල්, සුවඳ දේවල් විලවුන් වර්ග සිරුරේ පැළඳීමෙන් හා ගෑමෙන් වැළකීමේ ශික්ෂා පදය

උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං.

අධි සුඛෝපභෝගී උසසුන් මහසුන්වල හිඳීමෙන් වැළකීමේ ශික්ෂා පදය

ජාතරූප රජත පයිග්ගහණා වේරමණී සික්ඛාපදං.

රන්, රිදී, මසු කහවණු පිළිගැනීමෙන් වැළකීමේ ශික්ෂා පදය යන ශික්ෂා පද දහය දිවිහිම් කොට සමාදන් වෙමි.

සාමණේරයන් වහන්සේලාත්, සාමණේරියන් වහන්සේලාත් පැවිදි භාවයට පත්වන දිනයේ ස්වකීය උපාධ්‍යායන් වහන්සේ වෙතින් සමාදන් වනුයේත් සාමණේර අවදියේ දිවිහිමි කොට සුරකිනුයේත් මෙම සාමණේර දස සීලය යි. ශික්ෂා පද දහය ම එකට කැටිකොට සමාදන්වීම මෙම සීලයේ ඇති විශේෂත්වයයි. එහි දී එක ශික්ෂා පදයක් කැඩුණහොත් සමාදන් වූ සියලු ශික්ෂා පද කැඩුණු සේ සැලැකේ.

එකට කැටිකර තදකර බඳීන ලද දර මිටියෙන් එක දර කැබැල්ලක් ගතහොත් දරමිටිය ම ලිහිල් ව ගිලිහෙන බැවිනි.

ගිහි දස සීලයේ දී එක් එක් ශික්ෂා පදය වෙන වෙන ම සමාදන් වෙයි. එනිසා එහිදී සෑම ශික්ෂා පදයක් පාසා ම ‘සමාදියාමි’ යන පදය අවසානයට යොදනු ලැබේ. උක්ත දස සීලයේ එම පදය යොදා නැත්තේ මෙය ගිහි දස සීලය නොව පැවිදි පක්ෂයට අදාළ සාමණේර දස සීලය වන බැවිනි.