Print this Article


මිනිස්කමේ වටිනාකම වටහාගන්න

මිනිස්කමේ වටිනාකම වටහාගන්න

" ගොවියා සී සාන නඟුල කැඩුණු විට එය ඉවත දමයි. විය ගහේ කැබලි දෙක ඇළට වැටී ඇළෙන් දොළටත්, දොළෙන් ගඟටත්, ගඟෙන් මුහුදටත් පාවී යයි. එම කැබලි දෙක මුහුදේ පා වෙමින් තිබිය දී ,කිසියම් විටෙක දී කැබලි දෙක එක් වී සිදුරක් සෑදෙයි. එවිට අවුරුදු 100 ට වරක් අහස දෙස බලන එක් ඇසක් ඇති කැස්බෑවෙකුට විය ගසේ කැබලි දෙක එකට එක් වී හැදුණු සිදුරෙන් අහස බැලීමට හැකිවීම වැනි අතිශය අමාරු දුර්ලභ කරුණක් ලෙස මිනිසත් බව ලැබීම විග්‍රහ කර ඇත."

සුකරානි අසාධූනී
අත්තනෝ අහිතානිච
යං වේ හිතංච සාධුංච
තං වේ පරම දුක්කරං

තමන්ට අහිතකර වූ ද , අයහපත් වූ ද දේ කිරීම පහසුයි. තමන්ට හිතකර වූ ද, යහපත් වූ ද දේ කිරීම අපහසු ය.

සැමට ම පළමුව යහපත් මිනිසකු වීම අවශ්‍ය වේ. උසස් මනසක් ඇති නිසා ම මනුස්ස යන නම යෙදී ඇත. දිව්‍ය බ්‍රහ්ම ආදීන්ට මෙන් ම මිනිසුන් නොවන වෙනත් සත්වයන්ට ද මිනිසාට තරම් උසස් මනසක් ඇති කරගත නොහැක.

මනසේ උසස් බව වටහා නොගෙන කටයුතු කරන විට මිනිසා නොමිනිසෙකු වෙයි. අමනුෂ්‍යයෙක් වෙයි. මිනිස්කමේ වටිනාකම වටහා ගැනීමට හොඳම ආදර්ශය බුද්ධ චරිතයයි.

බෞද්ධයන් පිළිගන්නේ මුළු මහත් ලෝක ධාතුවෙහි ම ශ්‍රේෂ්ටතම පුද්ගලයා වනුයේ බුදුරජාණන් වහන්සේ වන බවයි. නූතන ලෝකයේ බොහෝ නුවණැත්තෝ ද එය එසේ පිළිගනිති. මීට වසර කිහිපයකට පෙර එංගලන්තයේ දී උගත් බුද්ධිමත් කණ්ඩායමක් එක්ව මෙතෙක් ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ටතම මිනිසා කවුරුන්දැයි පරීක්ෂණයක් කළහ. ඔවුන්ගේ අවසාන තීරණය වූයේ මෙතෙක් ලොව බිහි වූ ශ්‍රේෂ්ටතම උත්තමයා ගෞතම බුදුරජාණන් වහන්සේ බවයි.

බුදු කෙනෙකු විය හැක්කේ මිනිසෙකුට පමණි. දෙවියෙකුට, බඹෙකුට හෝ වෙනත් කිසිදු කෙනෙකුට බුදු විය නොහැක. මේ කරුණ අනුව ද මිනිසත්කමේ ඇති වැදගත්කම මොනවට පැහැදිලි වෙයි. සර්වඥ යනු ද බුදුරදුන්ට නමකි. එහි තේරුම සියල්ල දැනගත් තැනැත්තා යනුයි. එසේ සියල්ල දැන ගැනීමට පාදක වනුයේ ද මිනිසත් බවයි.

කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවනං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ

යන බුදු වදනට අනුව මිනිසත් බව ලැබීම අමාරු දෙයකි. මිනිසුන් ලෙස ජීවත්වීම ද එසේ ම ය. සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම ද අමාරු දෙයකි. බුදු කෙනෙකු පහළ වීම ද එසේ ම අමාරු දුර්ලභ කරුණකි. මිනිසෙකු වී ඉපදීම කොතරම් දුර්ලභ ද යන්න බුදුන් වහන්සේ උපමාවකින් පෙන්වා දී ඇත. “කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීම වැනි ය.” යනු ඒ උපමාවයි. ගොවියා සී සාන නගුල කැඩුණු විට එය ඉවත දමයි. විය ගහේ කැබලි දෙක ඇළට වැටී ඇළෙන් දොළටත්, දොළෙන් ගඟටත්, ගඟෙන් මුහුදටත් පාවී යයි. එම කැබලි දෙක මුහුදේ පා වෙමින් තිබිය දී ,කිසියම් විටෙක දී කැබලි දෙක එක් වී සිදුරක් සෑදෙයි. එවිට අවුරුදු 100 ට වරක් අහස දෙස බලන එක් ඇසක් ඇති කැස්බෑවෙකුට විය ගසේ කැබලි දෙක එකට එක් වී හැදුණු සිදුරෙන් අහස බැලීමට හැකිවීම වැනි අතිශය අමාරු දුර්ලභ කරුණක් ලෙස මිනිසත් බව ලැබීම විග්‍රහ කර ඇත. මෙහි දී වැදගත් වන්නේ මිනිසා තුළ තිබිය යුතු මනුස්සකමයි. මනුස්සකම නැති විට කවරෙකු වූවත් වැඩක් නැත. මිනිස්කම නැති බෞද්ධයා සැබෑ බෞද්ධයෙකු නොවේ. මිනිස්කම නැති වෙනත් ආගමිකයෝ ද සැබෑ මනුස්සයෝ නොවෙති. දේශපාලකයෙකු, නීතිඥයෙකු, වෛද්‍යවරයෙකු, විද්‍යාඥයෙකු හෝ වෙනත් කවරෙකු වූවත් මිනිස්කම් නොමැති නම් කිසිදු වටිනාකමක් නොමැත. ඇතැම් අන්තවාදීන් ආගම වෙනුවෙන් මිනිසුන් මැරීම මෙන් ම තම ජීවිතය විනාශකර ගැනීම ද ස්වර්ගයට යන මගක් ලෙස උගන්වන්නේත්, ඒ අනුව ක්‍රියා කරන්නේත් මිනිස්කම ආගමට යට කිරීම නිසයි. එවැන්නෝ මුළු මහත් මිනිස් වර්ගයාට ම නිගා කරන්නෝ වෙති. කවරම දෙයක් නමුත් ක්‍රියාත්මක කළ යුත්තේ මනුෂ්‍යත්වය මත පිහිටා ය. සැබෑ මිනිසා හැම දේකට ම වඩා මිනිස්කම අගය කළ යුතු ය. විශේෂයෙන් තරුණ වයස ආවේගශීලි සිතක් ඇති කාලයකි. එබැවින් එම තරුණ වයසේ දී මිනිස්කම් මත පිහිටා ක්‍රියා කිරීමට යොමු වුණොත් කිසිදාක ඔහු සමාජයට අහිතකර කෙනෙක් නොවෙන්නේ ය.

මායා, ඉන්කා, රතු ඉන්දියන්, ඇබෝජිනීස් යන ශිෂ්ටාචාර මනුෂ්‍යත්වය පදනම් කරගෙන පැවතුනු ඒවා ය. ඔවුහු හැම කෙනෙක් ම ගහ කොළට, ස්වභාව ධර්මයට ඇලුම් කළහ. එහෙත් ඇමරිකානුවන්, යුරෝපීය ජාතීන්, ඕස්ට්‍රේලියාවට ගිය ඉංග්‍රීසිහු ද එම ශිෂ්ටාචාර විනාශ කළහ. වසර දස දහස් ගණනකට පෙර පැවතුණැයි පිළිගනු ලබන මොහෙන්ජෝදාරෝ, හරප්පා ශිෂ්ටාචාරයේ නටඹුන් අද ඇතත් එම ශිෂ්ටාචාරය නොමැත. එසේ වී ඇත්තේ මනුෂ්‍යත්වය නොතකා ක්‍රියා කළ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා යැයි සිතිය හැකි ය. අද ලෝකයේ නොනැසී එක දිගට පැවත එන ශිෂ්ටාචාර දෙකක් ඇත. එකක් චීනයේ චීන ශිෂ්ටාචාරයයි. අනෙක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයයි. අද බටහිර ජාතීහු මේ ශිෂ්ටාචාර දෙකටම වෛර කරති. ඔවුන්ට අවශ්‍යවනුයේ ශිෂ්ටාචාර විනාශ කර නටඹුන් සුරැකීමටයි. ඕස්ට්‍රේලියාවේ ඇබෝජනිස්වරු හා ඇමරිකාවේ රතු ඉන්දියානුවන් අද ඒ තත්ත්වයෙන් සලකනු ලබයි. අපට අවශ්‍ය වනුයේ අපේ මනුෂ්‍යත්වය පදනම් කරගත් ඒ උතුම් ශිෂ්ටාචාරය යි. අප තෝරාගත යුත්තේ නූතන බොහෝ දෙනා ඇබ්බැහි වී සිටින පහසු ජීවන ප්‍රතිපදාව නොව සම්මා ආජීවය හෙවත් යහපත් දිවි පෙවෙතයි. සමහරවිට එය දුෂ්කර විය හැකි ය.

මිනිසත්කමේ ප්‍රමුඛ අරමුණ විය යුත්තේ පහසු දේ කිරීම නොව ප්‍රයෝජනවත් හා වැදගත් දේ කිරීමයි. ත්‍රිරෝද රථ රැකියාවට වඩා ගොවිතැන් බත් කිරීම කෙතරම් වැඩ දායක ද? එහෙත් අපහසු යැයි කියා ගොවිතැන් අතහැර දමා ත්‍රිරෝද රථ රැකියාවට හෝ ගාමන්ට් රැකියාවට හෝ යොමුවන තරුණයන් අද බොහෝ වෙති. පහසු දේ ම නොව මනුෂ්‍යත්වය වැඩෙන ඊට වැදගත්කමක් දෙන දේ කිරීමට මනුෂ්‍යත්වය අගයන තරුණයන් සිතට ගත යුතු ය.

ජාතේනහි මච්චේන කත්තබ්බං කුසලං බහුං
උපන් මිනිසා විසින් බොහෝ කුසල් කළ යුතු ය.