Print this Article


පිරිවෙන

පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර

සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

****

සමාජයේ යහපත පිණිස වන භික්ෂූන් වහන්සේ

ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා පතා අනුන් සිත් ඇදෙන සේ චාටු බස් තෙපළන්නෝ වෙත් ද, ඔවුහු මහණ දම් පුරන්නෝ නොවෙති.

සසුන් පිළිවෙත රැකීමට නම්, අධි චිත්ත සුවය විඳීමට නම් චක්ඛු , සෝත, ඝාන, ජිව්හා , කාය මන යන ඉන්ද්‍රියන් රැකිය යුතු ය.

සතුරන්ට පැමිණිය නොහැකි සේ ප්‍රධාන දොරටු රැකවරණ යොදා වහන්නේ යම් සේ ද, එමෙන් ම සිල්වත් මහණ තෙමේ, මහණ දම් පිරීමට ඇප කැප වූ හෙයින් ඉන්ද්‍රියන් වැසූ දොරටු ඇත්තකු විය යුතු ය.

සිහි නුවණින් යුතු ව ක්‍රියා කරන මහණහු විෂම සමාජයේ යහපත පිණිස ම හේතු වන්නා හ.

****

ඵලදායී පිරිවෙනක් උදෙසා

පිරිවෙනක ඵලදායීතාව යනුවෙන් අදහස් කරන්නේ පිරිවෙන විසින් ස්ථාපිත කරන ලද අරමුණු සාක්ෂාත්කරණය යි. පිරිවෙන තුළින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගනියි නම් එම පිරිවෙන ඵලදායී පිරිවෙනක් ලෙස හැ¼දින්විය හැකි ය. පිරිවෙන තුළ අරමුණු ඉටු කර ගැනීමේ දී එහි පවතින භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් ද කාර්යක්ෂම ව මෙන්ම උපරිම ප්‍රයෝජනයට ගැනීම අතිශයින් වැදගත් වේ.

පිරිවෙන තුළ ඇති සම්පත් උපරිම ප්‍රයෝජනයට ගනිමින් ඒවා කාර්යක්ෂම ව භාවිත කිරීමෙන් පිරිවෙනේ අරමුණු ඉටුකර ගැනීමට හැකි නම් එය ඵලදායී පිරිවෙනක් ලෙස නම් කළ හැකි ය. පිරිවෙනක් ඵලදායී ලෙස ගොඩ නැගීමට උත්සුක වීමේ දී මූලික වශයෙන් පැහැදිලි අරමුණක් තිබීම ඉතා වැදගත් වේ. අරමුණක් නොමැති සෑම ක්‍රියාවලියක්ම අසාර්ථක වීමට ඉඩ ඇත.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමට ඒකායන අරමුණකින් ක්‍රියා කළ ආකාරය ත්‍රිපිටක අධ්‍යයනය තුළින් මනාව පැහැදිලි වේ.

එමෙන් ම අරමුණකින් තොරව ලැබෙනුයේ අසාර්ථක ප්‍රතිඵලයකි. පිරිවෙන ඵලදායී ලෙස ගොඩ නැගීමට අරමුණක් පමණක් ප්‍රමාණවත් නොවේ. එයට ඉලක්කගත වැඩපිළිවෙළක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි.

පිරිවෙන වූ කලි බුදු දහම මූලික හරය කර ගනිමින් වර්තමාන විෂය දැනුම සමඟ අධ්‍යාපනය ලබා දෙමින් විනයගරුක ජන පරපුරක් බිහි කිරීමට උනන්දු වන ආයතන පද්ධතියකි. එනිසා ඉතා අනර්ඝ විෂය මාලාවක් මෙන් ම එතුළින් ශිෂ්‍ය කුසලතා සහ ආකල්ප සංවර්ධනය වීමද ඉතා වැදගත් වේ.

එමෙන්ම ගුරු මණ්ඩලය තුළ ඉහළ අපේක්ෂාවන් තිබිය යුතු අතර ඉහළ කැප කිරීමක්ද තිබිය යුතු ය. එමෙන් ම සුවිශේෂ ආරක්ෂිත පරිසරයක් තිබීම ද සිසුන් තෘප්තිමත් භාවයෙන් පිරිවෙන කරා පැමිණීම ද ඵලදායී පිරිවෙනක් ගොඩ නැඟීමට ඉවහල් වේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ