Print this Article


මෙත්තා මහ රහත් තෙරණියගේ උදානය

මෙත්තා මහ රහත් තෙරණියගේ උදානය

පෙර වැඩසිටි බොහෝ බුදුරජාණන් වහන්සේලාගේ බුදු සසුන ලොව බබළන කාලයේ මිනිස් ලොව ඉපිද නොයෙක් නොයෙක් මහා අනර්ඝ පින් රැස් කර ගත් මෙතුමිය විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ ක්ෂත්‍රීය කුලයේ එක්තරා බමුණු පවුලක දියණියක් ලෙස ඉපදුණා.

ඉතාම රූප ශ්‍රීයෙන් යුතු මෙම තරුණිය දුටු ඒ නුවර බන්ධුමති රජු ඔහුගේ අග මෙහෙසිය කර ගත්තා. ඇය තම රජතුමාට ඉතාම හිතෛෂී, පක්ෂපාති කුල කාන්තාවක් වුණා.

දිනක් ඇය හුදකලාවේ සිටින අවස්ථාවක මෙහෙම සිතුවා,

” මට දැන් පෙර පින් තිබෙන නිසා මෙසේ අග මෙහෙසිය ලෙස රජ සැප විඳිනවා. දැසි දස්සන්, වෙනත් සැප සම්පත් සිල්ලම මට තිබෙනවා. රජතුමාත් මට බොහෝ ආදරෙයි. කරුණාව යි. නමුත් යම් දවසක මට මේ සියල්ල ම අතහැර යන්න වෙනවා. ඒක ලෝක ස්වභාවය යි. නමුත් එසේ යන දවසට මම යන්න ඕනෑ තනියම යි. මේ තිබෙන කිසි දෙයක් මට ගෙනයන්න බැහැ. මම මරණයට පත්වෙලා මේ ලෝකයෙන් චුත වෙනකොට රැගෙන යන්න පිනක් මට නැහැනේ. මම මෙසේ සැප විඳිමින්, විනෝද වෙමින් ජීවත්වෙලා මිය ගියොත් ඒකාන්තයෙන් ම කටුක වූ ත්, ඝෝර වූත් අතිශය දරුණු වූ නිරයට යාමට සිදුවන බව නම් ඒකාන්ත යි. එහි සැකයක් නම් නැහැ. ඒ නිසා මමත් මගේ ජීවිතයට පින් කර ගන්න ඕනෑ” යි සිතා රජුවෙත ගොස්,

”රජතුමනි, ඔබ වහන්සේගෙන් උපකාරයක් බලාපොරොත්තුවෙන් ආවෙමි. මේ ජීවිතයේ මම කිසිදු පිනක් කර ගත් තැනැත්තියක් නොවේ. ඒ නිසා දිනපතා දන් පූජා කිරීමට මට එක් භික්ෂුන් වහන්සේ නමක් ලබාදෙනු මැනව” යි ඉල්ලා සිටියා.

රජතුමා ධර්මාවබෝධය කළ භික්ෂූන් වහන්සේ නමක් වෙත දන් පිළි ගැන්වීමට අවසර ලබා දුන්නා. ඇය පළමු දිනයේ දී උන්වහන්සේගේ පාත්‍රය ගෙන රසවත් අහරින් පුරවා බොහෝ වටිනා වස්ත්‍ර දෙකකින් පාත්‍රය වසා ඒ ස්වාමින් වහන්සේට පිළිගැන්වූවා. ඉන්පසු ඇය දිනපතා මහත් ශ්‍රද්ධාවෙන් දානය පිළියෙල කර උන්වහන්සේට පූජාකළ අතර, ඒ පින නිතර නිතර සිහි කරමින් සතුටු වුණා. පසු කලෙක ඇය මිය ගොස් තව්තිසා දෙව්ලොව උපත ලැබුවා.

සිතන, පතන හැම දෙයක් ම ඇයට ලැබුණා. අප සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන බබළන කාලයේ ඇය නැවත මනු ලොව ඉපදුණා. තරුණ කාලයේ දී ම ඇයට ගිහි ගෙදර කළකිරුණා. පැවිද්දට සිත ඇලුණා. භික්ෂුණී ආරාමයක දී පැවිද්ද ලබා ගත්තා. වීර්යය ඇති එතුමිය, නොබෝ කලකින් සියලු බැඳීම්වලින් මිදුණා. සංයෝජන දුරු කළා. සියලු පවු දුරු කළා. බවයෙන් නිදහස් වුණා. එතුමිය නිතර නිතර මෙසේ සිහිකළා.

”මම මෙයින් කල්ප අනූ එකකට පෙර යම් දානයක් දුන්නා ද, ඒ පින හේතුවෙන් දුගතියකට නම් ගියේ නැහැ. පිණ්ඩපාතික දානයේ ඵල විපාක නම් අඳුරු වුණේ නැහැ. ඒ පිනම හේතු කරගෙන මම ශාස්තෘන් වහන්සේගේ ඔවදන ඉටුකළා.

දිනක් උන්වහන්සේ හුදකලාවේ වැඩ වෙසෙන මොහොතක නිරායාසයෙන් උදානයක් වදාළා.

”ඉස්සර මම සිල් රැක්කේ දන් දුන්නේ දිව්‍ය ලෝකයේ ඉපදෙන්නට ප්‍රාර්ථනා කරමින්.

මම ඒ සැපයට ආශා කළා.

නමුත් දැන් මම සියලු දුක් අවසන් කළ භික්ෂුණියක්.

දැන් දානය වළඳන්නේ එක වරුව යි. හිස මුඬු කරගෙන පාත්‍රා සිවුරු ඇතිවයි ඉන්නේ.

මා තුළ තිබූ සියලු කෙලෙස් දුරුකළ නිසා දැන් සුවසේ වැඩ වාසය කරනවා.

නැවත කිසි දිනෙක මා දිව්‍ය ලෝකයක උපත පතන්නේ නැහැ.