Print this Article


විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගායනාව සැත්තෑ වසරකට පෙර ආරම්භ වූ හැටි

විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගායනාව සැත්තෑ වසරකට පෙර ආරම්භ වූ හැටි

ලක්දිව ශාසන ඉතිහාසයෙහි අප්‍රකට ව පවතින සුවිශේෂී සංසිද්ධියක් වූ, බුරුම රට ඡට්ඨ සංගායනාව සඳහා පූර්වාදර්ශ සපයන ලද පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි පැවති ත්‍රිපිටක ධර්ම සංගායනාව ආරම්භ කොට මෙම අගෝස්තු මාසයට සැත්තෑ වසරක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

වර්ෂ 1875 නොවැම්බර් පළමුවන දින රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමියන් ආරම්භ කරන ලදුව ඉන් පසු පිළිවෙළින් රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් සහ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමියන් පරිවේණාධිපති ධූරය හොබවන ලද පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි සැත්තෑ පස්වන වජ්‍ර ජයන්තිය 1950 වර්ෂයේ දී එළඹුණි. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ප්‍රාචීන බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙසින් සම්භාවනාවට පත් විද්‍යාලංකාර පිරුවන බඳු ආයතනයක වජ්‍ර ජයන්ති ජන්මෝත්සවය පෙරහර සහ ප්‍රීති කතා පවත්වන උත්සවයක් නොවිය යුතු බවත්, ලොවටම ආදර්ශයක් සපයන දෙස, බස, දැය, සමය උද්දීපනය කරන අන්දමේ සැමරුමක් විය යුතු බවත්, ඒ අනුව තෛ‍්‍රනිකායික භික්ෂූන් වහන්සේලා වැඩමවා ත්‍රිපිටක ධර්ම සංගීතියක් පැවැත්වීම සුදුසු බවට මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් පරිවේණාධ්‍යක්ෂ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් වෙත සිදු කරන ලද යෝජනාව පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය අනුමත කරන ලදින් විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගායනාව පවත්වන ලදි.

ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට රැගෙන ගිය පුස්කොළ පොත් එම රටවල භාෂාවන්ට පරිවර්තනය වී තිබුණ ද , මේ අවධිය වන විට අංග සම්පූර්ණ අන්දමින් ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය වීමක් තබා සිංහල අකුරින් පාලි ත්‍රිපිටකය මුද්‍රණය වී නොතිබුණි. මෙරට පැරණි පුස්කොළ පොත් අනුගමනය කළ භාෂා සම්ප්‍රදායන්ට අනුකූල ව ත්‍රිපිටකය සංස්කරණය කොට සිංහල අකුරින් පාලි ත්‍රිපිටකය මුද්‍රණය කිරීම සහ ඉන් පසු සිංහලට පරිවර්තනය කිරීම විද්‍යාලංකාර ත්‍රිපිටක සංගායනාවෙහි පරමාර්ථ විය.


ත්‍රිපිටක ධර්ම සංගායනාව පැවැත් වූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන

අතිපූජ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් සැට තුන් වසරක් සපිරුණු 1950 අගෝස්තු මස 15 වැනි දින තෛ‍්‍රනිකායික ගරුතර මහා සංඝ රත්නය විද්‍යාලංකාර පිරුවනට වැඩමවා අදියර තුනකින් යුතුව ත්‍රිපිටක සංගායනාව පැවැත්වීමට කටයුතු සම්පාදනය කෙරුණි. පළමු අදියරේ දී ලක්දිව සිසාරා සම්භාවනීය සහ පෞරාණික පුස්තකාලයන්ගෙන් ලබාගත් පුස්කොළ පොත් සහ සිංහල, සියම්, බුරුම, ඉංග්‍රීසි මුද්‍රිත පොත් සසඳමින් සජ්ඣායනා කරමින් පාඨාන්තර (විසංවාද සහිත ස්ථාන) රැස්කරන ලදි.

දෙවැනි අදියර ලෙස එක් එක් පොත් වෙනුවෙන් පත්කළ භාරකාර ස්වාමින්ද්‍රයන් වහන්සේලා එක් රැස්වී එකී පාඨාන්තර සන්සන්දනය කොට වඩාත් යෝග්‍ය වූ පාඨ, අධොලිපි වශයෙන් යෙදිය යුතු පාඨාන්තර සහ වියත් සභාවක දී සාමූහික ව තීරණය කළයුතු බරපතළ පාඨ වෙන්කොට ගොනු කිරීමට තීරණය විය.

තෙවැනි අදියර ලෙස සංගීතිකාරක මණ්ඩලය සහ ඊට අතිරේක ව පිටින් වැඩමවන වියත් විසාරද හිමිවරුන් රැස්වී නියමිත දිනයක දී ප්‍රසිද්ධ සාකච්ඡා පවත්වා සංඝ සම්මතයෙන් ත්‍රිපිටකය සකස් කිරීමට තීරණය විය. මෙම මූලික අදියර තුන නිමවා ත්‍රිපිටකය සකස් වූ පසු ධර්ම විනයධර මහ තෙරුන්වහන්සේලා පන්සිය නමක් විද්‍යාලංකාරයට වැඩමවා, සම්පූර්ණ ත්‍රිපිටකය සජ්ඣායනා කොට ත්‍රිපිටක සංගායනාව හමාර කිරීමට තීරණය විය. සිංහල බසට ත්‍රිපිටකය පරිවර්තනය කිරීම අතුරු අරමුණක් විය.

දිනපතා පෙරවරු 8 සිට 10.30 දක්වා ද, පස්වරු 3 සිට 5.30 දක්වා ද, රාත්‍රී 9 සිට 11 දක්වා ද වශයෙන් දිනකට තුන් වතාවකදී පැය හත බැගින් ත්‍රිපිටක සංගීතිය පවත්වා තිබේ. 1950 අගෝස්තු 15 වන ආරම්භක දින සිට 1950 දෙසැම්බර් 30 දින දක්වා කාලයේ විනය පිටක සංගායනාව පවත්වා අවසන් වූ පසු 1951 ජනවාරි 6 වන දින ඇරඹුණු සූත්‍ර පිටක සංගායනාව 1952 ඔක්තෝබර් 20 වනදා රාත්‍රී 9.40ට අවසන් විය. 1952 නොවැම්බර් පළමුදින ආරම්භ කළ අභිධර්ම පිටක සංගායනාව 1954 පෙබරවාරි 16 වන දින රාත්‍රී 10.20ට අවසන් කෙරුණි.

දළදා මාලිගාවේ පත්තිරිප්පුව, මල්වතු විහාරය, අස්ගිරි විහාරය, පැල්මඬුල්ල රජමහා විහාරය, මුතියංගන රජමහා විහාරය, කැලණිය රජමහා විහාරය, බෙලිගල රජමහා විහාරය, කසාගල රජමහා විහාරය, වට්ටාරම රජමහා විහාරය, බෙලිගම්මන රජමහා විහාරය, වැලිගම අග්‍රබෝධි විහාරය, හුරුක්ගමුව විහාරය, රත්මලාන පුරාණ විහාරය, විද්‍යාලංකාර පුස්තකාලය, කොස්ගොඩ සිරිනිවේසාරාමය, පින්වත්තේ සද්ධර්මාකර පිරුවන, බෙන්තර වනවාස විහාරය, මාතර මහා මන්තින්ද පිරුවන ආදී වෙහෙර විහාරස්ථාන රාශියකින් ලබාගත් පුස්කොළ පොත් සහ මේ වන විට සිංහල, සියම්, බුරුම සහ ඉංග්‍රීසි අකුරුවලින් මුද්‍රණය කොට තිබූ පොත් මේ සඳහා උපයෝගී කරගෙන ඇත.

මල්වතු, අස්ගිරි, කෝට්ටේ පාර්ශ්වයන්හි මහා නා හිමිවරුන් සහ අනු නා හිමිවරුන්, පොල්වත්තේ බුද්ධදත්ත මහ නා හිමි, තෙල්වත්තේ අරියවංස මහ නා හිමි, විදුරුපොල පියතිස්ස මහ නා හිමි, පැළෑණේ වජිරඤාණ මහ නා හිමි, දීපේගොඩ චන්දවිමල මහ නා හිමි, විද්‍යොදය පරිවේණාධිපති බද්දේගම පියරතන නා හිමි, වැලිවිටියේ පුඤ්ඤසාර නා හිමි ඇතුළු එම වකවානුවෙහි ලක්දිව ශාසන භාරධාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විද්‍යාලංකාර ත්‍රිපිටක සංගායනාව සඳහා දායකත්වය ලබා දී ඇත.

මෙම සංගායනාවෙහි ප්‍රධාන සම්පාදක සහ සංවිධායක වශයෙන් කුඩීරිප්පුවේ ප්‍රඥාශේඛර හිමිපාණන් වහන්සේ කටයුතු කළහ. විද්‍යාලංකාර පරිවේණාධිපති නාහිමියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සංගීතිකාරක සභාවේ මුලසුන් ගත්හ. බඹරගල රාජමහා විහාරාධිපති ඔත්නාපිටියේ ධර්මපාල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සංගීතියෙහි මහතෙර පදවිය හෙබවූහ. දිවයින පුරා පැරණි විහාරස්ථානවල පොත්ගුල්වලින් පැරණි පුස්කොළ පොත් සොයා යාමට පරිවේණාධ්‍යක්ෂ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියෝ කටයුතු කළ අතර ඊට බෝගමුවේ සාරානන්ද හිමිපාණන් වහන්සේ සහ දෙනගම ධම්මාධාර හිමිපාණන් වහන්සේ සහය වූහ.

උඩුබද්දාවේ පුරාණ විහාරාධිපති දඹවින්නේ ධර්මානන්ද නාහිමියෝත්, බටපතේ විහාරාධිපති මාතලේ සරණංකර හිමියෝත්, මැටිකොටුවේ සුරේන්ද්‍රාරාමාධිපති කෑරගල සෝමානන්ද හිමියෝත් වැඩිම කාලයක් මීට සම්බන්ධ වූ හිමිවරුන් ලෙස සඳහන් වෙයි.

දිනපතා රාත්‍රියේ සූත්‍ර පිටකයේ තෝරා ගත් කොටස් ගිහි පැවිදි පිරිස් ඉදිරියේ ධර්ම දේශනා කොට ධර්ම සාකච්ඡා පවත්වන ලදි. මෙම දේශනා “සඟිබණ” දේශනා ලෙස හඳුන්වා ඇති අතර උගතුන් අතර ප්‍රචලිත ව පැවති ත්‍රිපිටකය වියත් සමාජයෙන් පිටත සිටියවුන් අතර ද ජනප්‍රිය කරවීමේ වෑයමක් ලෙස හඳුන්වා දිය හැකි ය.

බුරුම රට සුප්‍රකට ඡට්ඨ සංගායනාව සඳහාද ආදර්ශයක් සැපයුවේ මෙම විද්‍යාලංකාර ත්‍රිපිටක සංගායනාවයි. මේ පිළිබඳ අදාළ ලිපි ලේඛන බුරුම රජය මගින් ලක්දිව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා විද්‍යාලංකාර පිරුවන වෙත යොමු කොට ඇත. මෙම ධර්ම සංගායනාව දැක බලා ගැනීමට බුරුම රට ශාසන ඇමති යූ වින් මහතා ඇතුළු බුරුම දූත පිරිස් මෙරටට පැමිණි අතර වාර්ෂික ව බුරුම රජය මගින් විද්‍යාලංකාර පිරුවනට සහල් ටොන් දහස බැගින් පිරිනැමීමට කටයුතු කළේ ය.

ත්‍රිපිටක සංගායනාවෙහි සැලසුම පරිදි ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමක් සිදු කොට නැත. විශේෂයෙන් 1956 වර්ෂයේ එළඹි සම්බුද්ධ පරිනිර්වාණයේ 2500 වසර සැමරුම් බුද්ධ ජයන්ති උත්සව අවස්ථාවෙහි රටෙහි විවිධ පාර්ශ්වයන්ගෙන් පැමිණි ඉල්ලීම් සලකා එවකට අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් 1955 වසරේ ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයක් රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ව පිහිටුවන ලදී. මේ සමග ත්‍රිපිටක සංස්කරණ කටයුතුවලට දායක වූ අනෙක් පාර්ශ්වයන්හි පැවති උද්‍යෝගය හීන වී ගිය බව අනුමාන කළ හැක.

වර්ෂ 1950 අගෝස්තු 15 වන දින පටන් අවුරුදු තුනයි මාස පහයි දවස් පහළොවක් විද්‍යාලංකාර පිරුවනෙහි පැවති මෙම ත්‍රිපිටක සංගීති පුණේ‍යාත්සවය 1954 පෙබරවාරි මස 16වන දා අවසන් වී ඇත. කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොලබා ලක්දිව අග්‍රගණ්‍ය ප්‍රාචීන අධ්‍යයන ආයතනයකින් සිදු කළ ඉතා උසස් මට්ටමේ ශාස්ත්‍රීය වෑයමක් ලෙස විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගායනාව හඳුන්වා දිය හැකිය.

(මෙම ලිපිය සකස් කිරීමේදී පූජ්‍ය උඩගලදෙණියේ ධම්මවිමල හිමියන් සංස්කරණය කළ විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගීති වාර්තාව උපකාරී වූ බව සඳහන් කර සිටිමි.)