Print this Article


ක්‍රෝධය මාරයා වැනි ය

ක්‍රෝධය මාරයා වැනි ය

"ක්‍රෝධයෙන් මඬනා ලද සිත් ඇත්තා යහපතක් යැයි සලකා අයහපතක් කරයි. පසු ව ඒ ගැන කම්පා වෙයි. ගින්නකින් දැවී ගිය අයකු සේ වෙයි. තැවෙයි. පීඩා විඳීයි. අවසානයේ දුකට පත් වෙයි."

බුද්ධ වචනයට අනුව නිරන්තරයෙන් ක්‍රෝධයෙන් යුතු ව, කිපෙන සුළු ස්ති‍්‍රය හෝ පුරුෂයා කෙරෙහි පහත සඳහන් කරුණු ඔස්සේ විපාකයන් වි¼දීමට සිදු වන බව කෝධන සූත්‍රයේ සඳහන් ය.

කිපෙන ගති ඇති, ක්‍රෝධ සිත් ඇති තැනැත්තා සැම විට ම ක්‍රෝ‍ධයෙන් යුතු සිත් ඇති වීම නිසා එයින් පීඩා විදියි. මුහුණෙහි ප්‍රසන්න භාවය වෙනුවට අප්‍රසන්න පෙනුමක් සහිත වූවේ වෙයි. දුර්වර්ණ බවට පත් වේ. දුර්වර්ණ ස්වභාවය නිසා ම කා අතරත් අප්‍රසාදයට ලක් වේ. කිසිවෙක් පි‍්‍රය නො කරති.

ක්‍රෝධයෙන් මත් වූ, දැඩි වූ සිතක් ඇති තැනැත්තා කයින් හා වචනයෙන් පව් සිදුකර ගනියි. ඒ නිසා ම ධනයෙන් පිරිහීමට ලක් වේ. අනුන්ගෙන් සිඟමන් යදිමින් ජීවත් වීමට සිදු වේ.

සතුරා කෙරෙහි වූවත් මෛති‍්‍රය වඩනවා වෙනුවට ක්‍රෝධයෙන් සිත දුෂ්‍ය කොට ජීවත් වීම නිසා ක්‍රෝධ කරන්නා නින්දාවට ලක් වෙයි. තමා අවට සිටින ඥාතී මිත්‍රාදීහු පවා එම පුද්ගලයා අත හැර දමා යති. ක්‍රෝධ කිරීමේ අකුසලය නිසා ම මෙලොව කිසිවෙකුගේ පිළිසරණක් නැති හුදෙකලා වූ අසරණයෙකු බවට පත් වෙයි.

ක්‍රෝධය අනර්ථය පිණිස ම වේ. කිසි ලෙසකින්වත් සිදුවන යහපතක් නම් නැත. ක්‍රෝධ කිරීම යනු කුසලය වෙනුවට අකුසලයට අත වැනීමකි. සිත තව තවත් ප්‍රකෝපයට පත් කරන්නකි. මානසික නිදහස, සැහැල්ලු බව නැති කරන්නකි. අපාය වැළඳ ගැනීමකි.

කිපෙන්නා අර්ථය නො දන්නේ ය. අධික කිපීම නිසා සමථ විදර්ශනා ධර්ම නො දන්නේ ය. සමථ විදර්ශනා සඳහා වන මාර්ගය ද නො දන්නේ ය. නො පෙනෙන්නේ ය.

ක්‍රෝධයෙන් මඩනා ලද සිත් ඇත්තා යහපතක් යැයි සලකා අයහපතක් කරයි. පසු ව ඒ ගැන කම්පා වෙයි. ගින්නකින් දැවී ගිය අයෙකු සේ වෙයි. තැවෙයි. පීඩා විඳීයි. අවසානයේ දුකට පත් වේ.

ක්‍රෝධ කරන්නාට තමා කරන කි‍්‍රයාවන් පිළිබඳ ලජ්ජාව කියා දෙයක් නැත. ඒ සම්බන්ධ ව බියක් ද නැත. තමා කතා කරන වචන ශිෂ්ට ලෙස භාවිත නො කරයි. අසභ්‍ය , අසරු, අනර්ථ වචන ම කතා කරයි. එසේ ම, එලෙස ක්‍රෝධයෙන් යුතු තැනැත්තාට පිහිටක්, සරණක් හිමි නො වේ.

යහපත්, ධාර්මික කි‍්‍රයාවෙන් වෙන් වූ, තැවීම පිණිස වන යම් කි‍්‍රයාවක් වේ නම්, කිපෙන්නා එවැනි කි‍්‍රයා කරයි. එබඳු කි‍්‍රයා යහපත් කි‍්‍රයා ලෙස ම සලකයි.

කිපෙන්නා තම පියා නැසීමට යොමු වේ. මව නැසීමට යොමු වේ.රහතුන් නැසීමට යොමු වේ. ක්‍රෝධය නිසා ම පුහුදුන් මිනිසුන් නැසීමට යොමු වේ. එවැනි පාපකාරී කාය දුෂ්චරිතයන් කරයි. පව් රැස් කර ගනියි.

වෛරයෙන් යුතු ක්‍රෝධ ගති ඇති තැනැත්තා තමා කෙරෙහි ම අතිශයින් සතුටු වෙයි. විවිධ අරමුණු කෙරෙහි ඇළුණු තැනැත්තා ක්‍රෝධය නිසා ම තමා වූව ද නසා ගැනීමට පෙළඹෙයි.

ක්‍රෝධයෙන් සිත පිරී ඇති, හොඳ නරක නො දැන මුළාවට පත් වූ තැනැත්තා කඩුවකින් වූව ද තමා නසා ගනියි. විෂ සහිත යමක් කෑමෙන් හෝ ජීවිතක්ෂයට පත් වෙයි. ගෙල වැළ ලා ගෙන හෝ ජීවිතය නැති කර ගැනීමට පෙළඹෙයි. මහා ගල් පර්වතයකින් වූව ද පහළට පැන මිය යයි.

මේ ආදී වශයෙන් ක්‍රෝධ කරන්නන්, ක්‍රෝධය නිසා අනුන්ට පීඩා සිදු කරන්නා සේ ම, අවසානයේ ක්‍රෝධය නිසා තමා ද විනාශ කර ගන්නා ආකාරය මෙම සූත්‍රයේ මැනවින් දක්වා ඇත. එම නිසා ක්‍රෝධයෙන් සිත මුදා, මෛති‍්‍රයෙන් සිත පිරිසුදු කර ගැනීම සඳහා කළ යුතු පිළිවෙත අවසානයේ දී මෙසේ දක්වා ඇත.

“ඉතා‘යං කොධ රූපෙන
මච්චුපාසො ගුහාසයො
තා දමෙන සමුච්ඡින්දො
පඤ්ඤා විරියෙන දිට්ඨියා“

එහි අදහසට අනුව මාරයාගේ ස්වරූපය අප තුළ කි‍්‍රයාත්මක වන්නේ ක්‍රෝධය පරිද්දෙනි. ක්‍රෝධය මාරයා වැනි ය, යනු එහි සරල අදහසයි. එම මාරයා හෙවත් ක්‍රෝධය සිතට ඒම නැති කළ හැක්කේ, වැළැක්විය හැක්කේ තම සිත තැන්පත් කර ගැනීමෙනි. සංවර හා සංසුන් කර ගැනීමෙනි. සිත දමනය කර ගැනීමෙනි. ක්‍රෝධයේ විපාකයන් දකිමින් නුවණැසින් කි‍්‍රයා කිරීමෙනි. උත්සාහයෙන් හා වීර්යයෙන් යුක්තව සම්‍යක් දෘෂ්ටිය හෙවත් යහපත් දැකීමක් සහිත ව කටයුතු කිරීමෙනි. එසේ ම ක්‍රෝධ කිරීමෙන් ඇති වන ආදීනවයන් සැලකිල්ලට ගනිමින් එයින් වෙන් ව කටයුතු කිරීමෙනි.