Print this Article


පිරිවෙන

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

****

පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය - 05

පිරිවෙන් අධ්‍යාපනයේ මහනුවර යුගය

ගිරා සංදේශ කාව්‍යයට අනුව තොටගමුවේ විජයබා පිරිවෙනේ ගිහි ශිෂ්‍යයන් පමණක් වෛද්‍ය විද්‍යාව හදාරා ඇත. අදත් ලංකාවේ පිරිවෙන් කිහිපයක දේශීය වෛද්‍යය ශාස්ත්‍රය ඉගැන්වුව ද ඒ සඳහා ලොකු උනන්දුවක් දක්වන බව නොපෙනේ.

1505 දී ලංකාවට විදේශිකයන් පැමිණීමත් සමග අපගේ පිරිවෙන් අධ්‍යාපනය ද පරිහානියට පත්වන්නට විය. පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංගී‍්‍රසීන්ගේ කාලවල දී මිෂනාරී අධ්‍යාපනය විකාශනය විය. ඒ හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයට අහිතකර තත්වයක් උදා විය. කෙසේ වුව ද මහනුවර යුගයේ පහළ වූ වැලිවිට සංඝරාජ හිමියන් මෙම බටහිර අධිරාජ්‍යවාදීන් නිසා අඩපණ වූ අධ්‍යාපන ක්‍රමය නැවත ස්ථාපිත කරවීමට කටයුතු කළහ.

අපිස් සතොස් යනාදී ගුණාංගවලින් පිරිපුන් සීල ගුණයෙන් සුගන්ධවත් වූ කාරුණික ගුණයෙන් මෘදු වූ සිත් ඇති මහා භාග්‍යසම්පන්න වැලිවිට අසරණ සරණ සරණංකර සංඝ රාජෝත්තමයාණන් වහන්සේගේ අකලංක පවිත්‍ර චරිතාපදානය ගිහි පැවිදි සැමගේ ආත්ම සංයමය පිණිස හේතු වන්නේ ම ය. වර්තමාන සිංහල ඉතිහාසයෙහි ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයෙන් අනුස්මරණය කළ හැකි ප්‍රධාන ශ්‍රී නාමය වන්නේ ය. උන් වහන්සේ 18 වැනි සියවසේ ශ්‍රී ලංකාද්වීපයෙහි සංජාත බෝධිසත්වවරයෙකු සේ පිළිගත හැකි ය. ලංකා ඉතිහාසයේ දුර්දසාපන්න අඳුරු කාල පරිච්ඡේදයක ජන්මලාභය ලැබ පිරිහී ගිය ශාසනික තත්ත්වය, භික්‍ෂු අධ්‍යාපනය හා ධර්ම ශාස්ත්‍රීය කටයුතු සමග භාෂා සාහිත්‍ය ව්‍යාපාරයන් යථා තත්ත්වයට පත් කළ සංඝරාජ මා හිමියෝ ලක්දිව සුවඳවත් කළ අසහාය යුග පුරුෂයාණ කෙනෙක් වූ හ. වෙසෙසින් තරුණ භික්‍ෂු සමාජයට එකී චරිතාපදානය අගනා පාඩමක් ම වන්නේ ය.

18 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ ශාසනික, ජාතික, සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික තත්ත්වය අන්ත පරිහාණිකර තත්ත්වයකට පත්ව තිබුණේ මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි - ලන්දේසි ආධිපත්‍යයට නතුවීම, නිරන්තර යුද කෝලාහල හා ඒ නිසාම වූ ආර්ථික පරිහාණිය, මිෂනාරි ව්‍යාපාර නිසා බෞද්ධයන් අන්‍ය ආගම් වැළඳ ගැනීම යනාදී කරුණු නිසා ය. මේ නිසාම භික්‍ෂු සමාජය ද අන්ත පරිහාණිකර තත්ත්වයකට පත්ව තිබුණි. ශාසනික විනය කර්මයකට උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා සිව්නමක් වත් සොයාගත නොහැකි තත්ත්වයකට භික්‍ෂු සමාජය හිස් ව පැවතුණි. සංඝරාජ සාධු චරියාව හා සඟරජවත යන ග්‍රන්ථවලින් පෙනෙන පරිදි එකල විහාර සන්තක ඉඩකඩම් පරිහරණය කරමින් සිටියෝ ගණින්නාන්සේලා නම් වූ හ. ඔවුහු ශ්‍රමණ සාරුප්‍ය පැවතුම්වලින් බැහැරව දිවි ගෙවූ හ. බාලාවතාරය නම් වූ සරල පාලි ව්‍යාකරණ ග්‍රන්ථය ඉගෙනීමට සරණංකර සාමණේරයන් වහන්සේ හට දෙදෙනෙකු වෙත යාමට සිදුවීමත්, රාජ සභාවට පැමිණි බ්‍රාහ්මණයෙකු කී සරල සංස්කෘත ශ්ලෝකයක් තේරුම් කරදීමට සමත් සරණංකර හිමි හැර අන් කිසිවෙකු කන්ද උඩරට නොමැති වීමත් තුළින් භාෂා සාහිත්‍ය හා අධ්‍යාපනයෙහි පැවැති පරිහාණිකර තත්ත්වය ප්‍රකට වෙයි.

මෙවන් පරිසරයක මධ්‍යම පළාතේ බටහිරින් සුපිහිටි තුම්පනේ කඳුවලින් වට වූ බලකොටුවක් වැනි සරුසාර කෙත්වතුවලින් පිරිපුන් වැලිවිට ග්‍රාමයේ දී වර්ෂ 1698 ජුනි මස 19 වැනිදා සරණංකර මා හිමියෝ උපත ලද හ. පියා කුලතුංග නම් වූ අතර උන්වහන්සේ ද කුලතුංග නම් විය. සිය සොහොයුරා වූ කුලතුංග පටබැඳී මුදියන්සේ සමග රජ මාළිගාවෙහි සිටි බැවින් කුලතුංග ළදරුවා ද රජු ගේ පුත් තනතුරෙහි හැදුණු වැඩුණු බව සංඝරාජ සාධු චරියාවෙහි සඳහන් වෙයි. සිය පුතණුවන් රාජ පුරුෂයෙකු වනු දැකීම දෙමව්පියන් ගේ අභිප්‍රාය වූ අතර කුලතුංග දරුවා ගේ අභිලාෂය වූයේ ගිහි ජීවිතයෙන් වෙන් ව පැවිදිවීම යි.

****