Print this Article


බොදු ගීයක මිහිර: අනේ  හිමියනි  මට  ද  දැන් දෙසා  වදහළ  මැනවි  බුදු  බණ

බොදු ගීයක මිහිර:

අනේ හිමියනි මට ද දැන් දෙසා වදහළ මැනවි බුදු බණ

අනේ හිමියනි මට ද දැන්
දෙසා වදහළ මැනවි බුදු බණ
නිවන් දුටු හිමි රුවන් පිළිරුව
පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුත්
ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන්
අනේ හිමියනි මට ද දැන්
දෙසා වදහළ මැනවි බුදු බණ
මහා කරුණාවෙන්...
මහා කරුණාවෙන්...

ගලක් වී නම් මමත් ඉවසමි
යකුළු පහරින් කැපී වෙන්වන
ඔබේ පිළිරුව නිම කරන්නට
කලාකරුවෙකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කළා වූ
ශාන්තිය මට ලැබේවා...!

ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක

බුදුන් වහන්සේගේ අසම සම කරුණා ගුණය මූර්තිමත් කෙරෙන මෙම ගීතයට ගායනය සහ සංගීතය සපයන්නේ විශාරද ආචාර්ය වික්ටර් රත්නායකයන් ය. ගී පද වැල් සපයන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් ය. මේ ප්‍රතිභා පූර්ණ කලාකරුවන් දෙදෙනාගේ සුසංයෝගය ගීතයේ සාර්ථකත්වයට මනා පිටිවහලකි.

සම්බුදු පිළිරුවෙහි කාරුණික දසුන ඇදී යන්නේ සැදැහැවත් බොදු ශ්‍රාවකයාගේ මනසෙහි ය. ඒ දෙස බලා සිටිනා ඔහුට බුදුන් වහන්සේගේ මහා කරුණාව මතකයට නැංවෙන අවස්ථා අපමණ ය. බුදුන් වහන්සේ සෑම දිනකම අලුයම පිබිදී ලෝක සත්වයා දෙස බලන්නේ මහා කරුණා සමාපත්තියට සම වැදීමෙනි. උන් වහන්සේ කවුරු කොතැනක සිටියත් එක් වරක් හෝ තනියම හෝ ශ්‍රාවකයන් සමඟ යොදුන් ගණනින් ගම් නියම් ගම් වෙතපා ගමනින් ම හෝ ඍද්ධියෙන් ම වැඩම කළේ අන්‍යයන්ගේ යහපත උදෙසාම ය. අව් වැසි නොතකමින් ගස් යට, ගල් මත, සුන්‍යාගාර වෙත වාසය කරමින්, පිඬුසිඟා වඩිමින් අන්‍යයන් වෙනුවෙන් ම ඇප කැප වූ අයුරු අසම සම ය. රාජ මහා අමාත්‍යවරු, සිටුවරු, කසළ ශෝධකයන්, මිනී මරුවන්, මැරවරයන්, යක්ෂයන්, බමුණු බැමිණියන්, දැසි දස්සන්, ගොවි, කම්කරුවන් ආදී අපමණ පිරිස් වෙත සම්බුදු දෙනෙත විවිර වුයේ මහා කරුණාවෙනි. ඒ ජීවමාන බුදුන් වහන්සේ අද දැකිය හැකි වන්නේ ත්‍රිපිටකය මනා ලෙස පරිශීලනය කිරීමෙනි.

ගීතයේ සඳහන් සේ සම්බුදු පිළිරුව දෙස බලා සිටින රසිකයා බණ පද අසා ඇත. එහෙත් ඔහුට බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ම බණ පද අසන්නටතරම් පිපාසයක් දැනෙන්නේ තම හදවත තෙමාලන බුදුන් වහන්සේගේ කාරුණාබර දසුනයි.

නිවන් දුටු හිමි රුවන් පිළිරුව
පමණි අද මට ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇතිමුත්
ඇසූයේ හිමිගේ හඬින් නොව’

මෙම පැදි පෙළෙන් එය මනාව අනාවරණය වෙයි. මෙහි විශේෂත්වය වන්නේ අනේපිඬු සිටු පුතුට බණ දේශනා කළ අයුරින් ම බුදුන් වහන්සේට බණ දේශනා කරන ලෙස අයැදීමයි.

‘ අනේපිඬු සිටු පුතුට මෙන්
අනේ හිමියනි මට ද දැන්
දෙසා වදහළ මැනවි බුදුබණ
මහා කරුණාවෙන්...
මහා කරුණාවෙන්...

අනේපිඬු සිටු පුතුට බුදුන් වහන්සේ බණ දේශනා කළේ කෙසේ ද? යනුවෙන් රසික සිත විමසිලිමත් වෙයි. ඒ පින්බර පුවත මෙසේ ය.

අනේපිඬු සිටුතුමා රජගහ නුවර බලා පිටත්ව ගියේ භාණ්ඩ රැගත් ගැල් පන්සියයක් සමඟ ය. එදා වෙනදා මෙන් තමා පෙර මඟ පිළි නොගත් රජගහ සිටුතුමා සිටුගෙදර කටයුතු කළේ බොහොම යුහුසුළුව ය. එයට හේතුව විමසූ අනේපිඬු සිටුතුමාට දැනගන්නට ලැබුණේ, රජගහ සිටුතුමාගේ මැඳුරේ බුදුපාමොක් මහ සඟනට දානයක් සූදානම් කරන බව යි. බුදු කෙනෙකුගේ අග්‍රඋපස්ථායක වීමට පෙර සසරේ සිටම පැතූ අනේපිඬු සිටුතුමාට “බුදුන්” යන වදන ඇසීමෙන් ම ඇතිවූයේ බලවත් ප්‍රීතියකි. එතෙක් සිටුතුමා කිසි දිනක බුදු කෙනෙකුදැක හෝ අසා නැත. ඒ නිසා ම ඔහු “ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමටට දැන් යා හැකි දැ” යි රජගහ සිටුතුමාගෙන් විමසුවේ ය. එහිදී ඔහු පැවසුවේ භාග්‍යවතුන් වහන්සේ දකින්නට සුදුසු මොහොත දැන් නොවන බවත්, හෙට දිනයේ සිටු ගෙදර දන් පිණිස වඩින බුදුන් වහන්සේ දැකිය හැකි බවත් ය. අනේපිඬු සිටුතුමා, ඒ අමා මෑණී බුදු පියාණන් වහන්සේ හෙට දිනයේ දකින්නට යමි’යි සිතමින් නැවත තම මැඳුර වෙත ගොස් රාත්‍රියේ සැතපී ප්‍රථම යාමයේ නින්දෙන් අවදිවී සිහි කළේ තමා මෙතෙක් නොදුටු බුදුරදුන් ගැන ය. බුද්ධාලම්භන ප්‍රීතියෙන් ම පිවිතුරු වූ සිතෙන් නැඟුණු ආලෝකයෙන් ඔහුට දැනුණේ රාත්‍රිය පහන් වී හිරු උදා වූවා සේ ය. ඔහු වහා යහනින් නැඟිට සඳළුතලය වෙත පැමිණියේ රැය පහන් වි ඇතිදැ’යි සිතමිනි. නැඟී ඇති සඳෙහි දසුනෙන් තවමත් රාත්‍රිය බව දැනගත් ඔහුනො ඉවසිලිමත්සිතෙන් තෙවරක් ම අවධි වූයේමෙතෙක් නොදුටු බුදුරදුන් සිහි කරගෙන ය. බුද්ධාරම්මණයෙහි සමාධි වූසිතින් ඔහු නැවතඅවධි වූයේපශ්චිම යාමයේ අවසාන භාගයේ දීය. ඔහුට බුදුරදුන් දැකීමට යන පින්බර ගමන උදා වූයේසත්මහල් ප්‍රාසාදයේ දොරගුළු ඉබේම විවිර වීමෙනි. පිවිතුරු සිතින් ම නැඟුණු ආලෝකය හමුවේඔහු මැඳුරෙන් පිටතට නික්ම ගිය ද අමනුෂ්‍යයන්ගේ බාධා හමුවේ සිටුතුමා නැවත මැඳුර වෙත පිය නැඟීමට යුහුසුළු වූයේ බියට පත්ව ය. එය දුටු ‘සීවක’ දෙවියා සිටුතුමාට නො පෙනෙමින්, ඔහුට ඇසෙන සේ පැවසූ වදන් පෙළෙන් සිටුතුමාටඇති වූයේ ඉමහත් ධෛර්යයකි. ඔහුටබුද්ධාලම්භන ප්‍රීතියෙන් නැවත ආලෝකයපහළ වුව ද මඳ දුරක් ඉදිරියට යද්දී නැවතත්අමනුෂ්‍යයන්ගේ බාධා ඇති විය. එහි දී ද ‘සීවක දෙවියා’ ඔහු නැවතබුදුරදුන් දකින්න යන ගමන උදෙසා උනන්දු කරන්නට ඇත්තේ සිටුතුමාගේ පෙර සසරෙ හි පිනෙහි මහිමය නිස යි. මෙසේ තෙවරක් ම පහළ වූ ආලෝකය හමුවේ සිටුතුමා, බුදුරදුන් වැඩ සිටි ශීත වනයට පිවිසියේඉමහත් ශ්‍රද්ධාවෙනි.ඔහු මෙසේ සිතී ය. බුදුන් වහන්සේගේ ‘බුද්ධත්වය’ සැබෑ නම් කිසිදිනක නොදුටු, නොදන්නා මාගේ නාමයෙන් අමතනු ඇත යන්න ය. සිටුතුමා දුර සිටම පැමිණෙන දුටු අසම සම බුදුන් වහන්සේ‘සුදත්ත’ මෙහි එන්නැ’යිඇමතී ය. එයින් බලවත් ප්‍රසාදයට පත් ශ්‍රද්ධාවන්ත සිටුතුමා උතුරා ගිය බුද්ධ ාලම්භන ප්‍රීතියෙන් සම්බුදු පාද මූලයේ වැඳ වැටුණේ නමස්කාර පූර්වකව ය.

එහි දී බුදුන් වහන්සේ, සිටුතුමාට දහම් දෙසා දාන කථා ආදියෙන් සිත සකසා,චතුරාර්ය සත්‍ය පහදා දුන් අයුරු අපූර්ව ය. මෙසේ සෝවාන් ඵල ලැබූ සිටුතුමා තෙරුවන්සරණ ගිය උපාසකයෙක් බවට පත් ව පසු දින බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ දනට ආරාධනා කළේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. ඔහු , බුදුන් වහන්සේට වස් වැසීමට ද ඇරැයුම්කර පහන් සිතින්කළ පරිත්‍යාගය ද උතුම් ය. ‘ජේත කුමාරයාගේ’ උයනෙහිඅටළොස් කෝටියක වියදමෙන් විහාරයක් කරවා බුදුපාමොක් මහ සඟරුවන වඩමවා අටළොස් කෝටියක වියදමෙන් කළ පූජෝපහාර ද ඉමහත් ය. මෙසේ සම්බුදු සසුන උදෙසා ඔහු පිදූ ධනය සිවු පනස් කෝටියක් බව ධර්මයේ සඳහන් ය.

ගීතයේ සඳහන් සේඅනේ පිඬු සිටු පුතුට දහම් දෙසුවා සේ තමාට ද දහම් දෙසන්නැ’යි බුදුන් වහන්සේට ඇරැයුම් කරන රසිකයා විටක රළු කළු ගලකට අරෝපණය වන්නේ සිතෙහි නැඟෙන ශ්‍රද්ධාව නිසා ම ය.තමා යකුළු පහරින් වෙන් වුණත් ඉවසා සිටින්නේ නෙළන කුළුණුබර බුදු පිළිම වහන්සේ උදෙසා ය. තවත් විටක කුළුණු බර බුදු පිළිම වහන්සේ නෙළන්නට තරම් රළු කළු ගලක් කපාඔපමට්ටම් කරන කලාකරුවා පෙන්වන දස්කම් විස්කම් සැබවින් ම විස්මිත ය. ඒ උදෙසා කලාකරුවා මෙන්ම රළු කළුගලකට ආරෝපණය වන්නාගෙන් මතුවන ඉවසීමේ ගුණය මහා කාරුණික බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් දුන් සන්සුන්පිළිවෙත සේ ය.

ගලක් වී නම් මමත් ඉවසමි
යකුළු පහරින් කැපී වෙන්වන
ඔබේ පිළිරුව නිම කරන්නට
කලාකරුවෙකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කළා වූ
ශාන්තිය මට ලැබේවා...!