[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

බුදු රැස් විහිදෙන්නේ

දැගැබ් පන්සල් වෙහෙර ඉදිවුණා ලක්දිව බුදු සුවඳින් නැහැවී
කුල මල අතහැර බුදු සුවඳින් බොදු හදවත් සුවපත් වී
අපා දෙපා සිව්පාවුන් සමඟින් බුදු බණ ඇසුමට එක්රොක් වී
මිහින්තලාවේ ගල්කුල මුදුනේ බුදු රැස් විහිදේ පින් පුබුදාවී

****

ජය ශ්‍රී මහ බෝ සමිඳුන්

බෝපත් පවන් සිලි සිලි ගා නැළවෙන්නේ
තිසා වැවෙන් එන සුළඟින් සිසිල ගෙනෙන්නේ
රුවන් වැලි සෑ රජුන්ගේ තේජස පැතිරෙන්නේ
පිහිටයි සැමට ජය සිරිමා බෝ සමිඳුන්නේ

****

මෙවර ජයග්‍රාහී කවිය

අබිනික්මන

සතර පෙර නිමිති දුටු ගිහි දිවියෙ දැක නුහුරු
නොතිර ජීවිතයෙ තතු හැඳින සිදුහත් කුමරු
අතැර තමනට උරුම රාජ සම්පත් ඉසුරු
එතෙර විය ගං තෙරෙන් ඡන්න සමඟින් මිතුරු

පැළැඳ අභරණ සේල හනික පොදිබැඳ එකට
කරුණු පැහැදිලි කරන් දුණි ඡන්න මැති අතට
ගමන දෙස බලා සිටි කුමරු යන මඟ එපිට
පිනැති කන්ථක එතැන මියැදුණා ලද දුකට

****

සිත නිවන දහම

රාග සිතිවිල සසල වූ විට
වේදනා දුක් දෙයි කසළ පව
කුසලයේ නිකසල පියුම් කෙමි
නිසල සිත් විල යැ’යි පිපී ඇත
සවන් සැනසෙයි නුවන් දිදුලයි
මනස් විල පිවිතුරුව සැරසෙයි
නිවුණු සිත මා නිවා සනසයි

****

අනගි මෙහෙයක්

ධර්ම දානය උතුම් බව අප බුදුරජුන්ගේ දෙසුම වූවා
කිරම හිමිගෙන් ලැබෙන පොත පත කිවිඳු සතුටට හේතු වූවා
කවි පිටුවෙන් , පැන විසඳුමෙන් අනඟි මෙහෙයක් කෙරෙනවා
මෙපින් බලයෙන් ඔබ හැමෝටම නිවන් පුරයේ දොර ඇරේවා

****

සැනසුම ලැබේ

කෙනෙකුට එපා කිසිවිට දොස් නඟන්නට
සැලසුම් කරමු ඔහුගේ ගුණ දකින්නට
ගැරහුම් කුමට කරමුද සිත් තලන්නට
සැනසුම ලැබේ මෙත් කරුණා දයාවට

****

මරු යටතේ

ආශ්වාදය නිසා ආදීනවය දුක එහි අතුරු ඵලයයි
නිසරණය අරුත එහි නම් සියලු දේ අත් හැරීමයි
ධනය වතු පිටි දරුවො මම මගේ නොව හොඳ දැකීමයි
යථාබෝධය වඩනු මිස භෞතිකව ඒවා වුවමනාමයි

පුත් රුවන් ඇත ධනය මට ඇත උදව් ලෙස අප සිතන්නේ
අමනයන් ලෙස නිතර වෙහෙසෙති දුකෙන් සතුටයි ලබන්න්
නෑ කමක් හට තමන්වත් හිමි මරුගෙ යටතෙයි සිටින්නේ
මරු තමන් ගෙන නික්ම යන විට දරුවො මොනවද කරන්නේ

****

කාලය

අතීතේ
අනාගතේ
වත්මනේ
සිතිවිල්ලක්
කාලයක් නැහැ
කාලයම
මිථ්‍යාවක්

****

සුරලොවත් නැති සැනසීම

ඇසි දිසි තුළින් දෙසූ සදහම් මෙනෙහි කර
නොතිර පස් කඳක් ගෙන ආ ගමන දුර
සිහිකර මම කියා පුඟුලකු නොමැති වර
කුමටද රකිනු ජරපත් කය නොමැති තිර

පොදි ගහගෙන තදට තණ්හා සහ ආසා
නැත තේරුමක් ගත කර දවසක් පාසා
මියැදෙන එකා යළි ඉපදෙන තැන නාසා
සුරලොව ගිය ද සැනසීමක් නැත මේසා

****

උවදුරක උපදෙස

නොසිතු ලෙස සපැමිණි
රෝබියෙන් රට ඇලළුණ
කර්මයක පල වැනි
විපත වයිරසයක් ව වැළඳුනි

පස් පව් නොකර මින්
පිළිවෙත් හොඳට රකිමින්
සිටින විට දැහැමින්
නොවේ උවදුරු කිසිත් සැබවින්

****

නොලද පැතුම

කොරෝනා නිසා සිදුවන දේ ලොවට
අති දුක්බර යි ඉවසනු බැහැ කිසිම විට
ලක්ෂ ගණන් ජීවිත මහ පොළොව යට
වැළලෙන සැටි දකින විට බුදු බණ එයි සිතට

ලෝකෙට රෝග දුක එක ලෙස පවතිද්දී
තව ලොකු දුකක් ඇත වයසට පත් වෙද්දී
දඹදිව් තලය සුවපත් වී පෙර පරිදි
කවදා වේ ද? පැනයකි නෙත් තෙත් වෙද්දී

****

සිත් නිවේවා

කිසිම සතෙකුගෙ පණ නසන්නට නොවන ලෙස සිත නිවේවා
තමන් සතු නැති දේ ගැනීමට සිතේ ආශා ඇති නොවේවා
පෙම පුදා පර අඹු සැමියන් කරන පව්කම් නිසරු වේවා
මේ ලෙසින් පින් කරන අය හට නිවන් මැඳුරේ දොර ඇරේවා

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

   නිකිණි අව අටවක පෝය 

   අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්

මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]