[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිළිඳු පුණ්ණ ධනවතකු වූ හැටි

දිළිඳු පුණ්ණ ධනවතකු වූ හැටි

රජගහ නුවර පුණ්ණ නම් දුගී පුද්ගලයෙක් ජීවත්වුණා. ඔහුගේ බිරියටත්, දියණියටත් තිබුණේ එකම නමක් ඒ උත්තරා.

ඒ කාලයේ රජගහ නුවර වැසියන් නැකැත් සැණකෙළියට සූදානම් වුණා. ඉතාමත් උත්සවශ්‍රීයෙන් ඔවුන් එය සතියක් පුරා පවත්වනවා.

මේ දුගී පුණ්ණ ගොවිතැන් කළේ සුමන නම් සිටුවරයාට අයත් ඉඩමක යි. එදින පුණ්ණ සිටුතුමාගේ නිවසට ගොස් ගොවිතැන් කරන්න කුඹුරට යන බව කීවා. එවිට සුමන සිටුතුමා අසනවා

”පුණ්ණ, අද නැකැත් සැණකෙළියට මුළු ගම ම සූදානම් වෙනවා. අද ඔබ කැමැතිනම් නිවාඩු ගන්න. කැමැති නම් වැඩ කරන්න”’

”අනේ සිටුතුමනි, නැකැත් සැණකෙළිය උරුම පොහොසත් අයට යි. අපේ ගෙදර කැඳටවත් සහල් ටිකක් නැහැ. මට මේ නැකැත් සැණකෙළියෙන් වැඩක් නැහැ. ඔබතුමාගේ ගොනුන් දුන්නොත් මට පුළුවනි කුඹුර හාන්න”’

සිටුතුමාගේ අවසරයෙන් පුණ්ණ ගවයන් දක්කාගෙන කුඹුරට යන අතර දී තම බිරියට කිව්වා,

”සොඳුර, අද මුළු නගරයේ ම අය නැකැත් සැණකෙළියට යනවා. ඒත් අපි දුප්පත් නිසා මම සිටුතුමාගේ කුඹුර සාන්නට යනවා. අද මට වෙනදාට වඩා රසවත් ව කෑම පිළියෙල කරගෙන එන්න” කියා.

අපගේ සැරියුත් මහ රහතන් වහන්සේ සත් දිනක් නිරෝධ සමාපත්තියට සමවැදී එදා උදෑසන සමාපත්තියෙන් නැගිට “අද කවරෙකු සඳහාද මම උදව් කළ යුත්තේ ද?” කියා දිවැසින් බලන විට, පුණ්ණ නම් දුගියා දුටුවා. ඔහුට උදව් කරමියි සිතා ඔහු සීසාන තැනට වැඩම කර දිය වලක් සමීපයේ ඇති එක් පඳුරක් දෙස බලාගෙන සිටියා. පුණ්ණ, තෙරුන් වහන්සේ දැක සී සෑම නවතා උන්වහන්සේ වෙත ගොස් වන්දනා කර තෙරුන් වහන්සේට දැහැටි වුවමනා වී ඇතැයි සිතා පඳුරකින් කෝටුවක් කපා පිරිසුදු කර සැරියුත් මහරහතන් වහන්සේට පූජා කළා. එවිට තෙරුන් වහන්සේ පාත්‍රයත්, පෙරහන් කඩයත් ඔහුට දුන්නා. ඔහු පැන් පෙරා පාත්‍රය පුරවා තෙරුන් වහන්සේට පූජා කළා.

පුණ්ණගේ බිරිය ස්වාමියාට කෑම පිළියෙල කරගෙන එන බව දුටු උන්වහන්සේ ඇයට ද උපකාර කරමියි සිතා ඇය එන මාවතට වැඩම කළා. සැරියුත් තෙරුන් වහන්සේ මාවතේ වඩිනවා උත්තරා දුටුවා. ඇය සිතනවා,

”මට සමහර අවස්ථාවල තෙරුන් වහන්සේලා මුණ ගැසෙනවා. නමුත් මගේ ළඟ දෙන්න දෙයක් නැහැ. දෙන්න දෙයක් තිබෙන විට තෙරුන් වහන්සේලා මුණ ගැසෙන්නේ නැහැ. අද තෙරුන් වහන්සේ වැඩ සිටිනවා. දීමට දෙයකුත් මා අත තිබෙනවා. මේ අවස්ථාව මඟ හරවා ගන්න හොඳ නැහැ. සිතා හිස තිබූ බඳුන බිම තබා තෙරුන් වහන්සේට වන්දනා කර,

”ස්වාමීනි, හොඳ නරක නො බලා මට පින් උපදවා ගැනීමට මේ දානය පිළිගනු මැනයි” කියා සිටියා. තෙරුන් වහන්සේ පාත්‍රය ඇයට දුන්නා. ඇය එක අතකින් පාත්‍රය අල්ලාගෙන අනෙක් අතින් දානය බෙදුවා. පාත්‍රයෙන් බාගයක් බෙදන විට තෙරුන් වහන්සේ අතින් පාත්‍රය වැහුවා. එවිට උත්තරා කියන්නේ “ස්වාමීනි, මේ එක් අයෙකුට පිළියෙල කළ ආහාරයි. මෙය දෙකට බෙදන්න දෙයක් නැහැ. ස්වාමිනි, දුප්පත් මට මෙලොවටත්, පරලොවටත් පින් පිණිස මේ දානය පිළිගනු මැනවයි” කියා සම්පූර්ණයෙන් පාත්‍රය පිරෙන්නට දානය බෙදුවා. පාත්‍රය තෙරුන් වහන්සේට පිළිගන්වා “ස්වාමිනි, ඔබ වහන්සේ දන්නා ලද යම් ධර්මයක් වේ ද එය මට ද හිමිවේවා” යි ප්‍රාර්ථනයක් කළා. තෙරුන් වහන්සේ “එසේම වේවා” යි අනුමෝදනා කොට පහසු ස්ථානයකට සිට දානය වැළඳු සේක.

පුණ්ණගේ බිරිය නැවත නිවසට ගොස් නැවතත් බත් පිස වහා වහා කුඹුරට ගෙන ආවා. පුණ්ණට මහත් වූ කුසගින්නක් ඇතිවුණා. වෙනදාට මේ වෙලාවට බත රැගෙන එන තම බිරිය තවම ප්‍රමාද ඇයි” යැයි සිතමින් පුණ්ණ ගවයන් මුදා හැර ගසක් මුල වාඩි වී ගිමන් හරිමින් සිටියා.

”මෙතරම් වෙලා තී කුමක් කළාද”? කියා කිපී ස්වාමියා දොස් නැඟුවොත් තමන් අද කළ මහා පිනෙන් වැඩක් වන්නේ නැහැ. එනිසා මා ඉක්මණින් ඒ පින ස්වාමියාට කිව යුතුයි සිතා උත්තරා ඈත තියාම

”හිමියනි, ඔබ සිත පහදවා ගන්න. මම උදෑසනම බත ගෙන ආවා. නමුත් අතර මඟදී දම් සෙනෙවි සාරිපුත්තයන් වහන්සේ හමු වු නිසා ඔබට ගෙන ආ බත මම උන්වහන්සේට පිදුවා.නැවත බතක් පිසගෙන ආවේ. ඔබ ඒ ගැන හිත පහදවා ගන්න.

”සොඳුරිය ඔබ කළ පින ඉතා වටී. මම ද අද උදෑසන උන්වහන්සේට දැහැටි පැන් පූජාකර ගත්තා. ඔබද ඒ පින අනුමෝදන් වන්න” පුණ්ණ කිව්වා.

දවල් ආහාරය ගෙන පුණ්ණ ටික වේලාවක් ගිමන් හැරියා. ඔහු අවදි වී කුඹුර දෙස බලන විට මුළු කුඹුර රන්වන් පාටට පෙනුණා. ඔහු බිරිඳට කිව්වා

”සොඳුරිය මගේ දෑස අමුතුවෙලා වගේ. මුළු කුඹුරේ ම මැටි රත්‍රං වගේ පෙනෙනවා”

”හිමියනි, මට පෙනෙන්නේත් එසේම යි” ඔවුන් කුඹුරට ගොස් එක මැටි කැටියක් කඩා ගත්විට ඒවා රන් බවට පත් වී තිබුණා. “අහෝ ආර්යයන් වහන්සේට දුන් දානයේ විපාකය අදම අපට ලැබිලා” යැයි මහත් සතුටට පත්ව, මෙ තරම් ධනයක් අපට පරිහරණය කරන්න බැහැ. අපි මෙය බිම්බිසාර රජුට කියමු” දෙදෙනා කතිකා කොට රජ මාළිගයට ගොස්,

”දේවයන් වහන්ස, මගේ කුඹුරේ පස් සියල්ලත් රන් බවට පත් වී තිබෙනවා. ඒවා රජ මාළිගයට ගෙන්වා ගනු මැන” පින ගැන දන්නා රජු අසනවා ‘ පුණ්ණ, මේ වගේ ධනයක් ලැබෙන්න ඔබ අද මොනවගේ පිනක් ද කළේ”

” දේවයන් වහන්ස, මම අද උදෑසන සාරිපුත්තයන් වහන්සේට දැහැටි හා පැන් පිදුවා. මගේ බිරිය මට ගෙන ආ ආහාරය උන්වහන්සේට පූජා කළා”

” පුණ්ණ ඔබලා කළ පිනට ලැබුණ ත්‍යාගයක් මේ. එයට දැන් මම කුමක්ද කළ යුත්තේ?”

”රජතුමනි, බොහෝ ගැල් යවා ඒ රන් මාළිගයට ගෙන එනු මැන”

”රාජ පුරුෂයෝ ඒ කුඹුරට ගොස් “මේ රජතුමාට අයත් රන් ” යැයි කිව්වා. එසැණින් ඒවා මැටි වුණා. රාජ පුරුෂයෝ ඒ බව රජතුමාට කිව්වා. රජතුමා ඔවුන්ට කිව්වා “මේ පුණ්ණට අයත් රත්‍රං” යැයි කියන්න කියා එසේ කී විට රත්තරන් එසේම තිබුණා. රාජ පුරුෂයෝ ඒ සියල්ල ගෙනවිත් රජ මිදුලේ් ගොඩ ගැසුවා. අසූ රියනක් උසට රන් ගොඩවුණා.

රජතුමා නුවර වැසියන් සියල්ලම කැඳවා

”මේ නුවර මේ ප්‍රමාණයට වඩා වැඩි රත්තරන් කාට හෝ තිබෙනවා ද?” ඇසුවා.

”දේවයන් වහන්ස” කාටවත් නැහැ” නුවර වැසියන් කිව්වා.

”දැන් අප මේ පුණ්ණට කුමක් ද කළයුත්තේ.”

” දේවයන් වහන්ස, ඔහුට සිටු තනතුරක් දෙන්න” වැසියන් කිව්වා. රජතුමා “පුණ්ණ අද සිට “බහු ධන සිටු තනතුර ඔබට පිරිනමනවා” කියා සිටු තනතුරක් පිරිනැමුවා.

ඔහු නිවසක් තනවා එයට ගෙවදීමේ දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සඟ රුවන වඩමවා සතියක් පුරා දන් පිළිගැන්වූවා. අවසානයේ බුදුරජාණන් වහන්සේ වදාළ දහම් අසා පුණ්ණ , උත්තරා සෝවාන් ඵලයට පත්වුණා.

   නිකිණි අව අටවක පෝය 

   අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්

මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]