Print this Article


ජීවිතයක වටිනාකම

ජීවිතයක වටිනාකම

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව අතිශයින් ම දුර්ලභ සම්පත්තීන් හතරක් ඒකරපත්ත නා රජුට දක්වාලූ සේක. පින්වත් ඒකරපත්තය, මනුෂ්‍ය ජීවිතය දුර්ලභ ය. ලබාගත් ජීවිතය යහපත් ව පවත්වාගෙන යෑම ද දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය ද දුර්ලභ ය. බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ද දුර්ලභ ය.

අපාය, ප්‍රේත, දිව්‍ය හා මිනිස් තල අතුරින් ධර්මය පුහුණු කොට නිවනින් නිවෙන්නට අඩිතාලම දැමිය හැක්කේ මනුෂ්‍ය ලොවෙහි ඉපදීමෙන් පමණි. මනුෂ්‍ය ලොව ජනගහනය තිරිසන් ජීවීන්ගේ ගණනින් පමණක් සංසන්දනය කළ ද, මනුෂ්‍ය ජීවීන් බිලියන හය ගණනන් ගන්නටවත් නොහැකි ඉතා කුඩා අංශු මාත්‍රයකි. ඇතැම් එක් කඩිගුලක පමණක් බිලියන ගණනාවක කඩියන් පමණක් ඇතැම්විට අපි දකිමු. ඉතුරු සියලු ලෝකවල ජීවීන් හා ගතහොත් මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභ බව හිතාගත නොහෙන තරම් ය. අපේ බුදුරජාණන් වහන්සේ එය කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීමට සමාන කර තිබේ.

“පින්වත් මහණෙනි, විය දණ්ඩක් මුහුදෙහි උතුරට, දකුණට, නැගෙනහිරට, බස්නාහිරට සුළඟින් ගසාගෙන යමින් ඒ මේ අත පාවෙයි. මුහුදේ ජීවත්වන එකැස් කණ කැස්බෑවෙක් අවුරුදු සියයකට වරක් උඩට එයි. ඒ එන වරෙක ඌ විය සිදුරෙන් අහස දකියි.

මහණෙනි, මෙය සිදුවිය හැකි දෙයක් ද?

භික්ෂූන් වහන්සේලා ඉමහත් ගෞරවයෙන් මෙසේ පිළිතුරු දුන්හ. “ස්වාමීනි, එය ඉතා දුර්ලභව විය හැකි දෙයකි. විය දණ්ඩ ඇළක, දොළක, ගඟක, තොටක නොරැඳී මුහුදට ආ යුතු ය. කණ කැස්බෑවා ද එය ඇති තැනින් මතුව, විය සිදුරටම, කණ නොවූ ඇහැ තබා, ඇස් නොපියා අහස බැලිය යුතු ය. මෙය සිදුවෙතොත් ඉතා කලාතුරකිනි. ‘ම නි බාලපණ්ඩිත සූත්‍රය)

අප බුදුරජාණන් වහන්සේ මද සිනා පහළකොට කරුණාවෙන් මෙසේ වදාළහ. “පින්වත් මහණෙනි, නරක, තිරිසන්, ප්‍රේත, අසුර නිරයවලට වැටුණ මිනිසා ද මෙබඳු ය. එබන්ඳෙකු යළිත් මිනිසෙකු වීම ද, එතරම්ම දුර්ලභව විය හැක්කකි”

අප ලැබූ මනුෂ්‍ය ජීවිතය කෙතරම් දුර්ලභදැයි ඔබට වැටහුණි ද? ඇතැම් හු මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය අකාලයේ අහිමි කර ගන්නේ සිය දිවි නසා ගැනීමෙනි.

බොහෝ දෙන දිවි නසා ගන්නේ මානසික ආතතිය නිසා ය. දූෂණය, ශාරීරික හිංසනය, යුද්ධයේ අමිහිරි අත්දැකීම්, ආදර සබඳතා බිඳවැටීම්, විරැකියාව, මුදල් හිඟකම, සමාජ තත්ත්ව නැතිවීම, දේපළ අහිමිවීම, අධ්‍යාපනික අසමත්වීම්, පවුලෙන් කොන්කිරීම්, සමාජ අසාධාරණ, සිරගතවීම්, වැනි කරුණු ගණනක් නිසා මිනිසුන් සියදිවි නසා ගනිති. එහෙත් මේ සියලු අහිමිවීම් මැද එක ඉතා දුර්ලභ කල්පයකට තියා ඇතැම්විට කල්ප සිය ගණනකටත් මෙහායින් නොලැබුණ, මිල කළ නොහැකි මනුෂ්‍ය ජීවිතය තවමත් තමන් සතු බව ඔවුහු නොසිතති. සැබෑ අවාසනාවන්ත තත්ත්වය එයයි.

බාහිර තාවකාලික දේ අල්ලා ගන්නා අපි එයින් ඇතිවීමක් ගැන නොසිතමු. එය බොහෝ දෙනෙකුට පොදු සාධකයකි. කෙතරම් ධනය, බලය, යසස, කීර්තිය, ප්‍රශංසාව තිබුණ ද ඒවා තාවකාලික බව ද, තමාගේ සාමාන්‍ය මිනිසත් බව බාහිර ලැබීම් නිසා වෙනස් නොවන බව ද අප දැන සිටිය යුතු ය. කුමක් ඇතත්, නැතත් අපේ සිතත්, ගතත්, මොහොතක් පාසා ඉපදෙයි. මැරෙයි. බාහිර ලැබීම් තණ්හාවෙන් ‘මම මගේ’ යැයි අල්ලාගෙන දුක් විඳින්නට එය තේරුම් ගත් තැනැත්තා තුළ කෙනෙකු ඉතුරු නොවේ.

සිය දිවි නසා ගැනීමට සිත් පහළවන තැනැත්තා මුලින් ම ඒ සිතිවිලි එන විටම සිහියෙන් සිට වෙනත් දෙයක් කල්පනා කළ යුතු ය. එයට ද අසමත් වේ නම් සියදිවි නසා ගැනීමේ ආදීනව පිළිබඳ සිතිය යුතු ය. මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම සිතිය යුතු ය. ධර්මය පිළිබඳ සිතිවිලි අපහසුවෙන් වුව ද ගොඩනඟා ගත යුතු ය.

එම සිතිවිලි බුර බුරා එන්නේ නම් දත්මිටි කමින් ඉවසා මම බුදුරජාණන් වහන්සේට ද, ධර්මයට ද, මහා සංඝයා වහන්සේට ද, මව්පියන්ට ද දිවි කැප කරමි යි සිතිය යුතු ය. සංසාරේ කොහිත් ඇත්තේ මීටත් වඩා අනන්ත දුක් බවත් මේ නම්, ඒ හා ගත්විට ඉතා කුඩා දුකක් බවත් සිතිය යුතු ය. ධර්මය පුහුණු කිරීමට ජීවිතය පුදමියි සිතමින් උතුම් අධිෂ්ඨානයක් කරන විට දුක තුනී වී එබඳු සිතිවිලි ටික ටික පහවී සිත ශාන්ත වනු ඇත.

එසේම, එබඳු සිතිවිලි ඇති තැනැත්තා තම සන්තකයේ ඇති වස විෂ, ආයුධ ආදී දෑ නිවසින් බැහැරලා, වෛද්‍ය ප්‍රතිකාර නිසි සේ භාවිත කරමින් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළ යුතු ය. මත් ද්‍රව්‍ය භාවිත නොකොට සිටීම ද යහපති. තම ගැටලු විහාරස්ථ මහ සඟරුවන හා කතාබහ කරන අතර ම ජීවිතයේ සුබවාදී බව සිතිය යුතු ය. එබඳු සිතිවිලි එන කල තම සමීපම ඤාතියෙකු හෝ යහළුවෙකු සමඟ ඒ ගැන කතාබහ කළ යුතුම වේ.

සියදිවි නසා ගැනීමේ අවසන් මොහොත තුළ ඇතිවන්නේ බොහෝදුරට ද්වේෂ සිතකි. ද්වේෂ සිතින් මිය යන්නෝ උපදින්නේ ම නිරයෙහි ය. මෙකී කර්මය හා විපාක ස්වභාවය නිතර සිතින් මෙනෙහි කළ යුතු ය. මෙසේ සිතිවිලි පැමිණීම ද, තමන්ගේ පැරණි කර්මයක දුර්විපාකයක් බව ද, දැඩි චිත්ත ශක්තියෙන් එය දුරුකළ හැකි බව ද දැනගත යුතු ය.

මිනිසත් බව ලැබීම සේ ම පවත්වාගෙන යාම ද දුෂ්කර ය. අතීත කුසලයක් නිසා ලැබූ මේ මිනිස් දිවියට සරිලන ධාර්මික ස්ථාන පැවැත්මක් නිවැරදි ධර්මානුකූල ජීවිත දැක්මක් ඔස්සේ ගොඩනඟා ගත යුතු ය. ඒ සඳහා උපකාරී වන කල්‍යාණ මිත්‍රයන් නිතර ආශ්‍රය කළ යුතු ය.

මේ අපේ සංසාරික මනුෂ්‍ය ජීවිතවල වටිනාම දිවියයි. ධර්මය යළිත් මුණ ගැසේ ද, නොවේද? යන්න සැක සහිත ය. එහෙයින් අඥාණ, ළඟ පමණක් දකින තීරණ නොගෙන, මේ ධර්මය පවතින යුගයක අප ලැබූ මිනිස් දිවියේ අග්‍ර ඵලය වූ නිවන් සුව සාක්ෂාත් කරගන්නට ඔබ මොහොතින් මොහොත නොපමා ව කටයුතු කළ යුතු සේ ම අන් සැම ද එහිලා උත්සුක කළ යුතු ය.