Print this Article


දළදා වහන්සේ වැඩසිටි රාජධානි සහ පුදබිම්

දළදා වහන්සේ වැඩසිටි රාජධානි සහ පුදබිම්

මෙම ලිපිය් මුල් කොටස නිකිණි පුර පසළොස්වක (04) පත්‍රයේ පළවිය.

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර දළදා මාළිගය පිළිබඳ සැළලිහිණි සන්දේශය පමණක් නොව හංස, ගිරා හා පරෙවි යන සන්දේශ කාව්‍යවල ද සඳහන් වේ. අද කෝට්ටේ එම නටබුන් විනාශයට පත්වී ඇත්තේ ඒ කාලයේ පෘතුගීසින්ගේ ආක්‍රමණ නිසා ය.

දඹදෙණියේ රජ කළ දෙවැනි පරාක්‍රමබාහු රජු තම පුත් බුවනෙකබාහුට යාපහුව භාරදුන් අතර ඔහු එය ඉතා ශක්තිමත් බලකොටුවක් බවට පත් කළේ ය. රාජධානිය වටා බැඳි තාප්ප දිය අගල් ආදියෙහි නටබුන් අදත් දක්නට ලැබේ. දළදා මාළිගයට පිවිසෙන පඩිපෙළ හා දොරටු අලංකාර නිර්මාණයකි. එහි දොරටු උළුවහු, ගල්කණු විශාල කේශර සිංහරූප , ගජසිංහ රුප, හස්තිරූප හා මකර තොරණ ද ඒ මැද නෙලා ඇති හිඳි බුදු පිළිමය ද මේ යුගයේ කැටයම් කලාවේ ස්වරූපය පෙන්වයි.දළදා මාළිගාවේ මකර තොරණ යට ගලින් නෙළා ඇති බුදු පිළිමය ගැන සඳහන් කරන මහාචාර්ය එච්.ටී.බස්නායක මහතා බුදුපිළිමයේ නිර්මාණාත්මක භාවය ගැන සඳහන් කරයි. යාපහුවේ දළදා මාළිගයට නැගෙන පඩිපෙළ දෙපස දැක්වෙන කැටයම් විශේෂ අවධානයට යොමුවිය යුතු ය.

කුරුණෑගල රාජධානිය

කුරුණෑගල රාජධානි කාලයේ කලා ශිල්ප නිර්මාණ හතරවන පරාක්‍රමබාහු රජ කාලයේදී සංස්කෘතික දියුණුවක් පැවැති බව එකල රචිත ග්‍රන්ථවල සඳහන් වේ. මේ රජුගේ අනුග්‍රහයෙන් ආගමික ගොඩනැගිලි ගණනාවක් ඉදිවිය. කුරුණෑගල නගරය වටා සාදන ලද පවුරෙහි නටබුන් තැනින් තැන හමුවෙයි. මෙකල ලියන ලද දළදා සිරිතෙහි සඳහන් වන පරිදි රාජමාළිගය හා දළදා මාළිගය උසස් ගණයට අයත් කලාත්මක වටිනාකමින් යුතු ගොඩනැගිලි විය. ඉන් මෙකල දක්නට ලැබෙන්නේ අඩිතාලමක් හා ටැම් කීපයක් ඇති ගොඩනැගිල්ල පමණි.

ජයවර්ධනපුර කෝට්ටේ රාජධානි සමය

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රජ මාළිගය අසලම දළදා මාර්ගය ද තිබුණු බව සැළලිහිණි සන්දේශය ලියූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ මෙසේ සඳහන් කරති.

ලොව විහිදා සුදු පැහැසඳ රැසෙව් සැදී
දෙන නොමදා සිරිසග මොක් සැප නිසැදී
ලද මුනිදා දම් කඳ පහස මන බැදී
වඳු දළදා හිමි තෙමහල් පහය රැදී

(සැලළිහිණි සන්දේශය)

කෝට්ටේ රජ මාළිගය පිහිටියේ දළදා මාළිගයේ අසල ම ය. මේ කාලයේ දී කෝට්ටේ මාළිගාවත්ත නමින් හැඳින්වෙන ස්ථානයේ පිහිටි බැව් පුරාවිද්‍යා චක්‍රවර්ති රණසිංහ මහතා සඳහන් කරයි. තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ හිමියන්ගේ ආරාමය තිබුණේ ද මේ අසල ම ය. එයින් අද ඉතිරිවී ඇත්තේ ගල්කණු දෙකක් පමණි.

එය අද පැරකුම්බා පිරිවෙනෙහි දොරටුව දෙපස පිහිටුවා ඇත. ඒ කාලයේදී මෙහි දියවඩන නිලමේ ලෙසින් සිටියේ හිරිපිටියේ රාළ ය. ඔහු දුටු සිහිනයක් පිළිබඳ (දළදා වහන්සේ ගැන) මෙසේ ය. නිල්පාට ඇඳුමකින් සැරසුණු පුරුෂයෙකු ඔහුගේ දකුණු අතේ තිබුණු කඩුව නැඟෙනහිර පැත්තට දිගුකර “කෝට්ටේ කලාලේ කිසිල්ලේ දත මැදගන් රාළේ” කියා නොපෙනී ගියේ ය. සුනේත්‍රාදේවි පිරිවෙනෙහි වැඩ සිටි නාගසේන හිමියන්ට මේ බව පැවසූ හිරිපිටියේ රාළට එම සිහිනය තෝරා දුන්නේ මෙසේය. “කිසිල්ලේ කසළට ගියේ දත මැදගන් රාළේ. දන්ත ධාතුව රට මැදට ගන්න රාළේ යනුවෙනි. මෙය තෝරාදුන් අවස්ථාවේ දී හිරිපිටියේ රාළ සිනාසී එසේ නම් මා සිහිනය තෝරාගත් සැටි නිවැරැදියි කියා තම බඩතුරේ සඟවා ගෙන සිටි කුඩා කරඬුව අතට ගෙන විවෘත කොට එහි මද්‍යයෙහි ස්වර්ණමය නෙළුම් මල මත සවිකර තිබූ ධවලකාන්ති විහිඳුවන සිරි දළදා වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට පෙන්වා ඇත. එදිනම රහසිගත ව ශ්‍රී දළදා වහන්සේ සීතාවක රජු වන මායාදුන්නේ රජුගේ ආරක්ෂාවට පත්විණි. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර දළදා මාළිගය පිළිබඳ සැළලිහිණි සන්දේශය පමණක් නොව හංස, ගිරා හා පරෙවි යන සන්දේශ කාව්‍යවල ද සඳහන් වේ. අද කෝට්ටේ එම නටබුන් විනාශයට පත්වී ඇත්තේ ඒ කාලයේ පෘතුගීසින්ගේ ආක්‍රමණ නිසා ය. ඉහතින් සඳහන් කළ සීතාවක මායාදුන්නේ රජු දළදා වහන්සේ සුරක්ෂිත ව දෙල්ගමුවේ රජ මහා විහාරයේ කුරහන් ගලක් යට සඟවා ආරක්ෂා කළ බව සඳහන් වේ. (DALADA MALIGAWA THE TEMPLE OF THE SECRED TOOTH RELIC IN KANDY -SRI LANKA prof-ANURADHA SENEVIRATNA p 23-24-1990)

සෙංකඩගල රාජධානියේ දළදා මාළිගය

පෘතුගීසින්ගේ ආධාර ඇතිව මහනුවර දේශපාලන බලය යමසිංහ බණ්ඩාර දොන් පිලිප් නමින් බලයට පත් වූයේ ය. දන්තුරේ සිදු වූ සටනින් පෘතුගීසින් පරාජය කර යමසිංහ බණ්ඩාර පරාද කර කොණප්පු බණ්ඩාර බලයට පත්වූයේ ය. ඔහු පළමුවන විමලධර්ම නමින් 1593 දී සෙංකඩගල රජ වූයේ ය. ඔහු මෙතෙක් දෙල්ගමුව රජමහ විහාරයේ ආරක්ෂාව සහිතව වැඩසිටි දළදා වහන්සේ සෙංකඩගල පුරයට වැඩම කළේ දැනට ඇති දෙමහල් දළදා මාළිගාව නිර්මාණය කිරීමෙනි. මේ අසලම රජ මාළිගය ද පිහිටියේ ය. දළදා මාළිගාව ඉදිරිපිට පිහිටි පත්තිරිප්පුව නිර්මාණය කරන ලද්දේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අනුග්‍රහයෙනි. විමලධර්මසූරිය රජුගේ රජකම තහවුරු කර ගැනීමට ද දළදා වහන්සේ වැඩමවා දළදා මාළිගයක් සෑදීම බලපෑවේ ය. කන්ද උඩරට පැවැත්වූ ප්‍රථම දළදා පෙරහර ද ඒ රජුගේ අනුග්‍රහයෙන් පැවැත්වුණි. මේ රජු ආරක්ෂක දෙවිදේවතාවුන් ලෙසින් පිළිගැනුණු නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දෙවිවරුන් උදෙසා ද ඇසළ පෙරහර ආරම්භ කරන ලදී. එදා සෙංකඩගල රාජධානියෙහි පැවැති ඇසළ පෙරහර දළදා වහන්සේට පූජෝපහාර සඳහා ම විශේෂ දළදා පෙරහරක් ලෙස පැවැත්වීමට වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජහිමියෝ අනුශාසනා කළහ.