Print this Article


සම්බුදු සසුන එකලු කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

සම්බුදු සසුන එකලු කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

සියවස් ගණනාවක් පුරාම ලක්වැසියන්ට ගත කිරීමට සිදු වූයේ පෘතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි ජාතිකයන්ට යටත් ව ඔවුනගේ සැහැසිකම්වලින් බොහෝ සෙයින් ම පීඩිත දුර්භාග්‍ය සම්පන්න වටපිටාවක් තුළ ය. නිදහසේ අරුණලු උදාවන සේයාවක් පෙනෙනතෙක් මානයකවත් නොතිබුණි.

වසර දෙදහසක් ස්වාධිපත්‍යයෙන් පැවති රටක් ඉක්බිතිව පරාධීන හස්තයකට යටත්ව ජීවත්වීමට ලැබීම ලක්වැසියෝ කිසිසේත් ම නො ඉවසූහ. ඔවුහු මෙකී මහා ව්‍යසනයෙන් රට, ජාතිය, ආගම බේරා ගැනීමේ මහ සටන් ඇරඹූ හ. එහෙත් ඒවා අඛණ්ඩ ව පවත්වාගෙන යා නොහැකි විය. මෙම තත්ත්වයෙන් රට මුදවා ගැනීමට සමත් පුත් රුවනක් ලක් පොළොවේ ජනිත වේවා යි, ශාසන පාලක දෙවියන් යැදීම හැර කළ හැකි අන් දෙයක් ඔවුනට නොතිබුණි. එහි ප්‍රතිඵලයක් නිසාදෝ රටේ වාසනාවකට මෙන් වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ උඩරට වැදගත් පරපුරක ජන්ම ලාභය ලැබූ හ. ඉතා දුක සේ ධර්ම විනයත්, භාෂා ශාස්ත්‍රයත් මැනවින් හදාළ උන් වහන්සේ චිරරාත්‍රඥ බහුශ්‍රැත මහා පඬිවරයෙකු බවට ද පත්ව ශාසනයත්, ජාතියත්, භාෂාවත්, පුනර්ජීවනයෙහිලා ස්වකීය කාර්යභාරය ඉතා මැනවින් සම්පූර්ණ කළ හ. එහෙත් සඟරජ මා හිමියන් ගේ අභාවයෙන් පසු එම ආලෝකය ටික කලෙකින් පහව ගොස් අන්ධකාරයේ සෙවණැලි පහළ වන්නට විය.

එම හිඩැස පිරවීමට දෝ 19 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ සිරිලක දකුණු පළාතේ ගාලු නගරයට නුදුරු හික්කඩුව නම් රමණීය ගම් පියසේ දී 1827 වසරේ ජනවාරි මස 20 වැනිදා තවත් ශ්‍රේෂ්ඨ කුල කුමරුවෙකු ගේ ජන්ම ලාභය සිදු විය. උපතින් තෙළෙස් වන වියේ දී එනම් වර්ෂ 1840 දී “හික්කඩුවේ සුමංගල සාමණේර” නමින් උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විය. හික්කඩුවේ තිලකාරාමයේ වැඩවිසූ අරුග්ගමුවේ රේවත හිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රව්‍රජ්‍යාභාවයට පත් මෙම සාමණේර හිමියෝ එවකට පළාතේ වැඩ සිටි විද්වත් යතිවරයෙක් වූ පන්නම්ගොඩ ජෙතුත්තර මහ තෙරුන් වහන්සේ වෙත ගොස් සිංහල, පාලි ඉගෙනීම ආරම්භ කළහ. පුරාකෘත පූණ්‍ය මහිමයේ බලය මේ යැයි ප්‍රකට කරමින් ගුරුන් එක්වරක් කී දෙයක් සිය ගුණයෙන් තේරුම් ගැනීමට මේ ශිෂ්‍යයා සමර්ථ විය.

කාලයාගේ ඇවෑමෙන් සුමංගල සාමණේරයන් උසස් පඬිවරයෙකු වෙත භාර දී ධර්ම ශාස්ත්‍ර විෂයෙහි පරිණත වියතෙකු කිරීමට පළාත්වාසී ප්‍රභූ බෞද්ධයෝ සූදානම් වූ හ. ගුරු හිමියන් ද සමග සාකච්ඡා කොට එවකට ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ පඬිවරයෙකු වූ රත්මලානේ පරමධම්මචේතිය විහාරාධිපති වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත සාමණේර නම භාර කෙරිණි. වර්ෂ කිහිපයක් උන් වහන්සේ වෙතින් සිප්සතර ද හොඳීන් ප්‍රගුණ කළ සුමංගල හිමියෝ පසුව කාසිනාථ නම් බමුණු පඬිවරයෙකුගෙන් සංස්කෘත තර්ක න්‍යාය, නක්ෂත්‍රය ආදී විෂයයන් ද උගත්හ. මහනුවර මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූ සුමංගල හිමියෝ එහි ධර්මඤාණය පරීක්ෂා කිරීමේ දී පරිවාර පාලිය සම්පූර්ණයෙන් කටපාඩම් දී වෙනත් ප්‍රශ්නවලට ද නිසි පිළිතුරු දී සංඝ සභාව ප්‍රබෝධවත් කළ හ. එසේම කලින් පිළියෙල කරගෙන ආ පාලියෙන් රචිත දළදා වන්දනාවට සුදුසු අෂ්ටකයන් ද සංඝ සභාව මධ්‍යයෙහි කියවූ හ. මෙම සෑම සමත්කමක් කෙරෙහි ම සංඝ සභාවේ බලවත් ප්‍රසාදය පළ වූ අතර මහ නාහිමියෝ ස්වකීය සොම්නස පළකරනු වස් හෙරණ නමට අටපිරිකරක් පරිත්‍යාග කොට මංගල සූත්‍රයෙන් පිරිත් සජ්ඣායනා කොට සෙත් පැතීම ද කළහ.

කල් ගතවෙත් ම හික්කඩුවේ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩිත්‍යය ලංකාවේ ලොකු කුඩා සැම අතර බලවත් සේ ප්‍රකට විය. ඉන් වඩාත් පිළිගැනීම වූයේ කාලයට අනුරූප ව නිසි නායකත්වය දැරීමට පරිපූර්ණ සුදුසුකම්වලින් අනූන ශ්‍රේෂ්ඨ යතිවරයෙකු ලෙසයි. මෙකල කොළඹ නගරයේ විසූ බෞද්ධ ප්‍රභූහු බුදු දහමත්, සිංහල ජාතියත්, භාෂා ශාස්ත්‍රයත් නගා සිටුවීමට අවශ්‍ය කරුණු ගැන සාකච්ඡා කරමින් සිටිය හ. බෞද්ධයන්ගේ අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමත්, මිෂනාරී ව්‍යාපාරවලින් රට බේරා ගැනීමත් ඔවුන්ගේ මූලික පරමාර්ථයක් විය. සුමංගල හිමි පිළිබඳ කරුණු දත් ඔවුහු හික්කඩුවේ තිලකාරාමය වෙත ගොස් උන් වහන්සේ බැහැදැක ධර්ම ශාස්ත්‍ර ඉගැන්වීමට සුදුසු ආයතනයක් කොළඹ පිහිටුවන ලෙස ඉල්ලීමක් කළහ. උන්වහන්සේ ආරාධනය පිළිගෙන කොළඹ කොටහේනේ පරමානන්ද විහාරස්ථානයට වැඩම කර එහි කලක් නේවාසික ව සිටිමින් කටයුතු ආරම්භ කළහ. මේ වෙනුවෙන් දොන් පිලිප්පු සිල්වා ඈපා අප්පුහාමි, දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා ඇතුළු 13 දෙනෙකු ගෙන් යුත් සභාවක් මගින් මරදාන ප්‍රදේශයේ අප්‍රසිද්ධ ව පැවති භූමි භාගයක් මිලයට ගත්තේ ය. එහි ශ්‍රී සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් විද්‍යෝදය පිරිවෙන ආරම්භ වුණි.

ශ්‍රී සුමංගල හිමියන් සතුව පැවති ප්‍රාමාණික ප්‍රඥා ශක්තිය තුළින් සමස්ත ලෝකයේම පාලි භාෂාවත්, ථෙරවාදී බුද්ධ ධර්මයත් පැතිරවීමට මෙය ඉතා හොඳම තෝතැන්නක් විය. මේ කාලය වන විට ශ්‍රී සුමංගල යන නාමය යුරෝපයේ පවා පැතිර පැවතියේ ය. විද්‍යෝදය පිරිවෙන ඇරඹීමත් සමගම පෙර අපර දෙදිසාවෙන් ම ධර්ම ශාස්ත්‍ර හැදෑරීමටත්, පාලි භාෂාව ඉගෙනීමටත් බොහෝ ශාස්ත්‍රවන්තයින් මෙරටට පැමිණියේ එබැවිනි. ලංකාවේ ද සියම්, අමරපුර හා රාමඤ්ඤ නිකායත්‍රයේ ම භික්‍ෂූන් වහන්සේ ශ්‍රී සුමංගල නාහිමි වෙත පැමිණ ධර්ම ශාස්ත්‍ර පිපාසය දුරුකර ගත් හ. ගිහි සාධු ජනයා වෛද්‍ය, නක්ෂත්‍ර ඇතුළු විෂයයන් ද, භාෂාවන් ද ඉගෙන පරිහානිය කරා ගමන් කරමින් තිබූ අපේ පැරණි ශාස්ත්‍රවලට නව ආලෝකයක් ගෙනදුන් හ.