[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කාමයන්හි ආදීනව

කාමයන්හි ආදීනව

උපන් මිනිසා ඇලුම් කරන, සොයා යන අඹු සැමියන්, දූ දරුවන්, වස්ත්‍රාභරණ, ආහාරපාන, ගේ දොර, වතු කුඹුරු, නෑ හිත මිතුරන්, යාන වාහන, නැටුම් ගැයුම් වැයුම්, අනේකවිධ පරිභෝග භාණ්ඩ, මිල මුදල්, රන් රිදී, මැණික් මුතු, කෙළි සෙල්ලම් ආදියට ‘කාමය‘යැයි කියනු ලැබේ.

ඒවායින් ලැබෙන සැප වේදනාව කාමයෙහි ආස්වාදය යි. ඒවා හේතු කරගෙන උපදින දුක් වේදනාව කාමයෙහි ආදීනවය යි. කාම වස්තූන් පිළිබඳ වූ ඡන්දරාගය දුරු කර දැමීම කාමයෙන් වෙන් වීම හෙවත් නිස්සරණය යි. ඉහත කී සියල්ල ‘වස්තු කාමය‘ වන අතර එමඟින් සිතේ ඇති වන රාගාදී ක්ලේශයන් ‘කිලෙස කාමය‘නම් වේ. ඒ දෙකින් ප්‍රහාණය කිරීමට අසීරු වන්නේ කිලේස කාමය යි. එකී කාමයන් රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ යන පස් ආකාරයෙන් ජීවිතය හා සම්බන්ධ වීමේ දී ‘පංචකාමය‘ ලෙස හඳුන්වනු ලැබේ.

කාමයන්ගේ ආස්වාදය බෙලි ගෙඩියක් පමණ වේ නම් එහි ආදීනව මහ පොළොව හා සමාන වේ. හැම අතින්ම කාමයන් දුරු කර දමා, තපෝ වනයට වැඩමකොට,කාම විරාගී විදසුන් භාවනාවෙන් ලොව්තුරා බුද්ධ රාජ්‍යයට වැඩම කළ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ කාමයන් පිළිබඳ වීතරාගී වන සේක. වීතදෝසී- වීතමෝහී වන සේක. ඒ බුදුරදුන් කාමයෙහි ඇති නපුර උපමා ගණනාවකින් උගන්වා වදාරන ලදී. ගිහි-පැවිදි උදවිය විවිධ දුෂ්ප්‍රතිපත්තීන් හි නියැළෙන්නේ කාමයන්ට වසඟ වීමෙන් බව දැක වදාළ බුදුරජාණන් වහන්සේ, පැවිද්දෙකු විසින් කාමයන් සොයා යෑම කිසි සේත් අනුමත නො කළහ.

අට්ඨිකංකලූපමා කාමා - කාමයෝ ලේ මස් නැති ඇට කැබැල්ලක් බඳු වෙති.

කුසගින්නේ දැවෙන සුනඛයෙකුට මස් ලේ නැති ඇට කැබැල්ලක් හමු වූ විට එය සපන්නට පටන් ගනියි. එය කොතෙක් සැපුව ද උගේ කුස නො පිරේ. තවත් වෙහෙසට පත් වී කුසගින්න උත්සන්න වේ. එලෙසින් කාම පිපාසයෙන් යුතුව කාම වස්තූන් සොයා යන පුද්ගලයාට කො‍තෙකුත් වස්තු, ආභරණ කෑම බීම ආදිය ලැබුණත් සෑහීමක් ඇති නොවේ. කාමයන් විඳින විට තව තවත් එකී ආශාව වැඩි වන අතර පිපාසයට ලුණු දිය බීමක් හා සම වේ. සුනඛයාට ඇට කැබැල්ලෙන් ලැබෙන ප්‍රයෝජනයක් නැතත් එහි ඇති කුණු රසයට වසඟ වී මහත් වෙහෙසකට පත්වන බව ඌ නොදන්නාක් මෙන් මදි ය, තවත් ඕනෑ ය, මගේ ය යන හැඟීමෙන් යුතුව කාමයන් සොයන පුද්ගලයා කිසිදාක තෘප්තියක් නො ලැබම මරු මුවට පත්වන නිසා, බුදුරජාණන් වහන්සේ කාමයන් ලේ මස් නැති ඇට කැබැල්ලකට උපමා කළහ.

මංසපේසුපමා කාමා - කාමයෝ මස් වැදැල්ලක් බඳු වෙති.

මාංශ භක්ෂක පක්ෂියෙකු විසින් තම තුඩගින් මස් වැදැල්ලක් ගෙන පියඹා යන විට එය දක්නා අන් පක්ෂීන් එය අතහරින තුරු ඌට ලුහුබඳිමින් කොටනු ලැබේ. ඌ එය අත්හළ විට අන් පක්ෂියෙකු එය ඩැහැ ගනියි නම් ඌට ද එසේම කොටනු ලැබේ. එකී මස් වැදැල්ල ඔවුන් සියලු දෙනාම බලාපොරොත්තු වීම ඊට හේතුව යි. එලෙසින්ම මිනිස් ලොව වෙසෙන්නන් රැස්කොට ගෙන ඇති කාමයන් අවස්ථාවක් ලද විට පැහැර ගැනීමේ බලාපොරොත්තුවෙන් වෙසෙන්නෝ බොහෝ වෙති. එබැවින් වස්තු හිමියාට ඒවා රැක ගැනීම හේතුවෙන් අධික පීඩාවකට පත් වන්නට සිදු වේ. ඊර්ෂ්‍යාකාරයන් බහුල වේ. සොර සතුරන් ඇති වේ. ඇතැම්විට ධනය නිසා අකාලයේ මැරුම් කන්නට ද සිදු වන බව ප්‍රසිද්ධ කරුණකි. සියල්ල දත් බුදුරදුන්, කාමයන් මාංශ පේශියකට උපමා කොට වදාළේ ඒ නිසාවෙනි.

තිණුක්කූපමා කාමා - කාමයෝ තණසුලක් බඳු වෙති.

ගිනි ඇවිලෙන තණ කරලක් අතින් ගත්තහුට එය අත් නො හළොත් අත දැවී යනු ඇත. එසේම වස්තුව රැස් කරගෙන සිටින්නාට ඒවා අත් නො හැරීම තුළ අධිකතර කායික මානසික වෙහෙසක් ඇති වේ. කෙතරම් ආරක්ෂා කරන්නට උත්සහ කළත් වස්තු විනාශයෙන් හෝ තම මරණයෙන් හෝ අහිමි වන කාමයන් අවබෝධයෙන් අත් නො හළ හොත් ඔහුගේ හදවත දැවී යනු ඇත. තණසුල අත් නො හළ පුද්ගලයාගේ අත දැවෙන්නාක් බඳුව එකී කාමයන් අල්ලා ගැනීමෙන් වන දාහය නිසා වස්තු හිමියා අධික ව පෙළෙන බව දුටු බුදුරජාණන් වහන්සේ, කාමයෝ අතින් ගත් තණ කරලක් මෙනැ යි වදාළහ.

අංගාරකාසූපමා කාමා - කාමයෝ ගිනි අඟුරු වලක් බඳු වෙති.

දුම්-ගිනිදලු නැති ගිනි අඟුරු වලකට වැටුණ පුද්ගලයෙකුට වන්නා වූ දාහය අමුතුවෙන් කිව යුතු නොවේ. එමඟින් ඔහු දැවී කරවී යනු ඇත. මේ කාමයන් හේතුවෙන් ඇතිවන දැඩි ආශාවත් එබඳු වූ ම උෂ්ණයකි. තමා සොයන කාමය නො ලැබෙන විට ඇතැමුන් තම දිවි නසා මියැදෙන්නේ ද එකී කාම රශ්මිය හේතුවෙනි. එය දත් බුදුරජාණන් වහන්සේ, කාමයන් ගිනි වළකට උපමා කළහ.

සුපිනකූපමා කාමා - කාමයෝ සිහිනයක් බඳු වෙති.

සිහිනයෙන් විඳින දකින කිසි දෙයක් අවදි වූ පසු නොමැත. සිහිනයේ පසුවන මොහොතේ පමණක් සුවයක් ලැබේ. එසේම මෙකී කාමයන්ගෙන් ලැබෙන සුවය මොහොතකට සීමා වේ. බොහෝ වෙහෙසී කාම වස්තූන් ළං කොට ගත් පුද්ගලයා එමඟින් මොහොතක් සුව ලබයි. අතීතයේ ද අනාගතයේ ද එපරිදි ම අල්ප සුවයක් ඒ මොහොතට පමණක් ලැබේ. පෙර භවයන් හි විදි, කම්සුව දැන් නොමැත. රැස් කළ ධනය රැකගත් අඹුවන්, දූ දරුවන්, තනතුරු අතුරුදන් වී ඇත. දැන් රක්නා දේ ද සිහිනයක් බදුව අහිමි වී යන නිසා කාම සුවය තාවකාලික බව බුදුහු වදාළහ.

යාචිතකූපමා කාමා - කාමයෝ තාවකාලික ව ඉල්ලාගත් දෑ බඳු වෙති.

තාවකාලික පදනමක පිහිටා වාහන, ගේ දොර, ඇදුම්, ආභරණ ඉල්ලා ගත් පුද්ගලයා ඒවා පරිහරණය කරන මොහොතේ වස්තු හිමියෙකු සේ පෙනේ. එහෙත් අයිතිකරු ඉල්ලූ විට දිය යුතු ය. අප භුක්ති විඳින කාමයන් ද එසේම තාවකාලික වන නිසා, දින ගණනින් අත් හළ යුතු වන නිසා ඉල්ලා ගත් දේවල් හා සම වේ යැයි වදාළහ.

රුක්ඛඵලූපමා කාමා - කාමයෝ ගෙඩි ඇති ගසක් බඳු වෙති.

ඉදුණු ගෙඩි ඇති ගසකට නැගි පුද්ගලයා ඵල රස විඳිමින් සිටින විට ගස් නැඟීමට නො දත් අන් අයෙකු පැමිණ ගෙඩි කෑමේ ආශාවෙන් ගස සිඳියි නම් ගසේ සිටින්නා වහාම බැසිය යුතු ය. නො බටහොත් වැටී මැරී යනු ඇත. අත් පා හෝ සිඳී යනු ඇත. එපරිදි ම කාම වස්තූන් බදා සිටින්නා ඒවා අත් නො හැර සිටී නම් මරණය හෝ මරණය සමාන දුක් විපත් වලට පත්වන බව දත් බුදුරජාණන් වහන්සේ, කාමයන් පල දරන ගසක් මෙනැ යි වදාළහ.

අසිසිනූපමා කාමා - කාමයෝ මස් කපන කඩුව හා කොටය බඳු වෙති.

කොටයේ තබා කඩුවෙන් ගැසීමෙන් මස් වැදලි කැපී ඉරී යන්නේ ය. එසේම කාමයන් හේතුවෙන් ඇනකොටා ගන්නා උදවිය ඇනීම්, කෙටීම්, සිඳීම්, තැලීම්, මැරීම් වලට පත්වන බව ප්‍රකට කරුණකි. ලොව ඇති වන තාක් යුද ගැටුම් අරගල ඇති වන්නේ කාමයන් හේතුවෙනි. ඒ බව මනාව දත් බුදුරජාණන් වහන්සේ,කාමයෝ මස් කපන කඩුවට හා කොටයට උපමා කොට පෙන්වා වදාළහ.

සත්තිසූලූපමා කාමා - කාමයෝ පිහි උලක් බඳු වෙති.

පිහියක හෝ කිනිස්සක උලකින් හිස හෝ ශරීරය සිදුරු කරන විට ඇතිවන වේදනාව නිසා මළ මූ පිටවී යන්නේ ය. එය ඒ තරම් බිහිසුණු ය. මේ කාමයෝ ද එලෙසින්ම සත්වයන්ගේ සිත් සිදුරු කොට පීඩාව ඇති කරයි. අවුරුදු ගණන් පවතින රිදීම් ඇති කරයි. එම පීඩාවෙන් ගැළවීමට කොතෙක් උත්සහ කළත් නො හැකි වන අවස්ථා බහුල වේ. කාම වස්තුව බැඳී ගිය සිතකට කිසිම නිදහසක් නොමැත. යටත් පිරිසයින් සුවදායක නින්දක් හෝ නො ලැබේ. කල්පනාවට වැටී ගත පවා වියළවන ස්වභාවයක් කාමයන් හි පවතින බව දත් තථාගතයන් වහන්සේ, පිහි උලක් බදු කාමයන් ගැන ඇති බැඳීම සිඳ දැමූහ. කාමයන්ගෙන් මිදී යාම පිණිස ලොවට දම් දෙසූහ.

මෙම ලිපියේ ඉතිරි කොටස නිකිණි අව අටවක (11) පෝ දා පත්‍රයේ පළ වේ.

   නිකිණි පුර පසළොස්වක පෝය 

  අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්

මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]