[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෙලෙස් නිවීමෙන් නිවී සැනසුණ සෝණා රහත් තෙරණිය

කෙලෙස් නිවීමෙන් නිවී සැනසුණ සෝණා රහත් තෙරණිය

සෝණා තෙරණිය ගෞතම බුදු සසුනේ අත් නොහළ වීර්යය ඇති භික්ෂුණීන් වහන්සේ අතරින් අග තනතුරු ලැබුවා.

එතුමිය මීට බොහෝ කාලයකට පෙර ලොව පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුදු සසුනේ එක් භික්ෂුණියකට අත් නොහළ වීර්ය ඇති භික්ෂුණීන් වහන්සේ ලෙස අග තනතුරු පිරිනමනවා දැක, මම ද මතු දවසක වීර්යය ඇති භික්ෂුණීන් අතරින් අග තනතුරු ලබම්වා! යි ප්‍රාර්ථනා ඇතිව බොහෝ පින්දහම් කළා.

දෙව් මිනිස් දෙගතියේ උපන් ඇය මේ බුදු සසුනේ සැවැත් නුවර නිවසක ඉපදුණා. ඇගේ නම සෝණා යි. තරුණියක් වූ කල ඇය විවාහ වුණා. ඇයට පුතුන් දස දෙනෙක් ලැබුණා. එ නිසා ම බහු පුත්‍රිකා යන නමින් ඇය හැඳින්වූවා. රන් කඳක් වගේ පුතුන් දස දෙනෙකු සිටි නිසා සෝණා ජීවත් වුණේ ඉතා තේජස්ව යි. තමන් වයසට ගියාම එක දරුවෙක් හෝ බලයි කියන බලාපොරොත්තුව ඒ අම්මාගේ සිතේ තිබුණා.

සෝණාගේ ස්වාමියා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. දැන් මේ අම්මා ස්වාමියාත් නො මැතිව දරුවන් දස දෙනෙක් හදාවඩා ගන්න මහන්සි වෙනවා. ඒක ඇයට ලෙහෙසි වැඩක් වුණේ නැහැ. ඉතාම අමාරු වුණා. ඒ දරුවන්ට අධ්‍යාපනය දෙන්න, ගේ් දොර හදා දෙන්න, රැකියා සොයා දෙන්න, විවාහ කර දෙන්න ආදී ලෙස ඇය මත විශාල වගකීමක් පැවරී තිබුණා. කෙසේ හෝ බොහෝ කරදර මැද දරුවන් ලොකු මහත් කළා. මානසික පීඩාවලට මුහුණ දෙමින් සිත ශක්තිමත් කරගෙන හිටියා. ස්වාමියාට බණින්නේත් නැතිව, හිතේ හයියෙන් ජීවිතයට මුහුණ දුන්නා. දරුවන්ගේ කල වයස ආ විට ඔවුන් විවාහ කර දී දරුවන්ට දේපළ සමසේ බෙදා දුන්නා. ඒ අම්මා තමන් වෙනුවෙන් කිසිවක් ඉතිරිකර ගත්තේ නැහැ.

කාලයක් ගතවුණා. බාල පුතාත්, ඒ ලේලියත් කියනවා “අම්මා ඇයි අප ළඟම ඉන්නේ? තවත් දරුවෝ නව දෙනෙක් ඉන්නවානේ. ඒ ගෙවල්වලටත් යන්න” කියලා.

ඒ අම්මා එළියට බැහැල තව දරුවෙක් ළඟට ගියා. ටික කලක් යද්දී ඒ පුතත් කිනවා “ඇයි අම්මා අපට වැඩිපුර දේපළක් දුන්නේ නැහැනේ. තවත් පුතාලා ඉන්නේ. ඒ අය ළඟටත් යන්න” කිව්වා. ඇය ඒ නිවසෙනුත් එළියට බැස්සා.

තමන්ට නැගිටින්න අත දීපු අම්මා නේද මේ කියා ඒ දරුවෝ අමතක කළා. දරුවෝ කුඩා කාලයේ උකුලට රැගෙන නළවපු අම්මාට අද රැයක් ගත කරන්න ඒ දරුවන්ගේ නිවසේවල ඉඩ මදිවෙලා. ඇය නිවසින් නිවසට යනවිට ඒ හැම නිවසක ම දොරවල් වැහුණා. ඇයට දැන් හරි වෙහෙස යි. එහෙත් ඇය දරුවන්ට දොස් කිව්වේ නැහැ. වෛර කළෙත් නැහැ. එක දරුවෙකුගේ වැරැදි අනෙක් දරුවාට කිව්වෙත් නැහැ. ඇයට සිදු වූ අසාධාරණය කාටවත් කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ සාධාරණ අසාධාරණකම් සොයන්න එපා කියල යි. තමන්ගේ ජීවිතයට අසාධාරණකම් දිගට ම එනවිට ඒ අසාධාරණ සංසාරයෙන් නිදහස් වීමම යි හොඳ දුක් කරදර එක දිගට එනකොට ඒ කරදර සංසාරයෙන් නිදහස්වීමම යි හොඳ. වෙන කෙනෙකුට ඇඟිල්ල දිගු කරනවාට වඩා හොඳයි කෙළවරක් නැති මේ සසරෙන් එතෙර වන එක. විසඳුම ඒකයි. ඒ කාලයේ දරුවෝ මගේ වටේ දැවටී දැවටී හිටියා. ඥාතින්, යාළුවෝ මට හිටියා. අද කවුරුත් නැහැ. මට යසස තිබූ කාලයේ උදම් වුණෙත් නැහැ. අයස තිබෙන කාලයේ කම්පා වෙන්නෙත් නැහැ” සෝණා අම්මා සිතුවා.

ඇය දැන් වයස නිසා අතපය වාරු නැහැ. දුර්වල යි. කායික දුකත,් මානසික දුකත් මැද සියලු දෙයට කම්පා නො වී ඇය විසඳුමකට ආවා. ඒ තම ස්වාමියා පැවිදි වූවා සේ ඇයත් භික්ෂුණී ආරාමයකට ගියා. නමුත් එතැනත් ඇයට ලෙහෙසි වුණේ නැහැ. එතැන සිටි භික්ෂුණීන්ගේ බොහෝ වැඩ කරන්න සිදුවුණා. දර පැලුවා, වතුර උණු කළා. පැන් පහසු වෙන්නට වතුර පිරවූවා. අතුපතු ගෑවා. දවස පුරාම ඇයට වැඩ තිබුණා. ඒ සියල්ල ම ඇය ඉවසුවා. පසු කලෙක ඇය පැවිදි වුණා. දැන් ඇය සෝණා භික්ෂුණිය යි. නමුත් ඒ භික්ෂුණියට ආරාමයේ වැඩවල අඩුවක් තිබුණේ ම නැහැ. දරුවෝ මට මෙහෙම කළ නිසයි මට මෙහෙම වුණේ කියා ඇය සිතුවේ නැහැ. සිනාමුසු මුහුණෙන් වැඩ කළා. පින ගැන සිහි කරමින් වැඩ කළා.

මේ භික්ෂුණිය සිතුවා “මම මේ බුද්ධ ශසානයේ පැවිදි වුණේ මේ ධර්ම මාර්ගය පුරුදු කර ගන්නයි. ඒ නිසා මම ඒ මාර්ගයත් පුරුදු කරන්න ඕනෑ” සිතා රාත්‍රියට උඩු මහලෙන් පහතට බැහැලා එතැන තිබෙන කණුවක් අල්ලාගෙන තමන්ගේ ශරීරයේ තිබෙන්නා වූ දෙතිස් කුණුපයන් සිහි කරමින් සක්මන් භාවනාව කරනවා. ඇයට මළුවක සක්මන් කරන්න වාරු නැති නිසා ඇය කණුව වටේ සක්මන් කළා. "මේ මහ පොළොවට පස්වෙලා යන කයක්. කුණුප කොටස්වලින් යුතු කයක් දරාගත් නිසානේ මට මේ දුක යැයි" සිතමින් සක්මන් කරනවා. ඇය කායානුපස්සනා භාවනාව රිසි සේ මෙනෙහි කරනවා. ඇය තමන්ට වූ අසාධාරණය සිතමින් නොවේ නිදි වරන්නේ. අසාධාරණය තිබෙන මේ සංසාරයෙන් මිදෙන ආකාරය සිතමින් නිදි වරා භාවනා කරනවා.

දිනක් ඇයගේ සිත ධර්ම අවබෝධයට මෝරා තිබුණා. අපගේ භාග්‍යවතුන් වහන්සේ එදා මහා කරුණා සමාපත්ති ඥානයට සමවැදී ලෝකය දෙස බැලුවා. මඩ ගොඩේ මැණිකක් සැඟ වී තිබුණත් මඩ සෝදන විට මැණික මතු වෙන්නො සේ උන්වහන්සේ මේ තෙරණිය දුටුවා. එතුමිය දුර ඈත රටක සිටියත් මේ බියකරු සසරින් මිදෙන්නට ගන්නා වීර්යය දුටු භාග්‍යවතුන් වහන්සේ රශ්මි දහරාවක් එවා ගාථාවක් වදාළා.

”පින්වත් භික්ෂුණිය, යමෙක් උතුම් දහම නො දකිමින් අවුරුදු සියයක් ජීවත්වේද, ඉන් ඵලක් නැත. නමුත් දහම දකිමින් එක දිනක් හෝ ජීවත්වෙන තැනැත්තා ගේ ජීවිතය අවුරුදු සියයක් ජීවත්වන තැනැත්තාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ය”. ඒ ගාථාව ශ්‍රවණය කළ ඒ භික්ෂුණිය සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වුණා.

දිනක් එතුමිය තමාගේ ජීවිතය පිළිබඳ උදානයක් වදාළා

* සුරූපි සිරුරකින් යුතු මම දරුවන් දස දෙනෙක් බිහි කළෙමි. පසුව මගේ ශරීරය දුර්වල ව දිරාගිය දරකඩක් මෙන් විය. මම භික්ෂුණි ආරාමයට ගියෙමි.

* මෙහෙණින් වහන්සේලා මට ස්කන්ධ ධාතු, ආයතන ගැන වදාළා. ඒ දේශනාව අසා මම හිස මුඬු කර පැවිදි වුණා.

* මම සික්ඛාමානාවක් (ත්‍රිවිධ ශික්ෂාවේ හික්මෙන්නී) ලෙස සිටිද්දී ම දිවැස පිරිසුදු කර ගත්තේ. මම කලින් විසූ ආත්ම භාවයන් දකිමි.

* එකඟ වූ සිතින් භාවනා වඩමි. කෙලෙස් නිවීමෙන් නිවුනෙමි. මේ පංචස්කන්ධය මම දුටුවා. ඒවා තිබෙන්නේ මුල් රහිතව යි. ජරා උපතට නින්දා වේවා. දැන් නැවත උපතක් මට නැත.

   නිකිණි පුර පසළොස්වක පෝය 

  අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්

මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]