[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය

බෞද්ධ සංස්කෘතික උරුමය හා පූජා චාරිත්‍ර ලොවට ප්‍රදර්ශනය කෙරෙන

සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය

දළදා පූජෝපහාරය, සිවුමහා දේවාලයන්හි දෙවියන්ට භක්ති ප්‍රණාමය දැක්වීම හා කලට වැසි ලබා සශ්‍රීකත්වය හා සෞභාග්‍යය ඇති කර ගැනීම අරමුණු කොට ගෙන මෙම උතුම් පෙරහර මංගල්ලය වාර්ෂික ව පැවැත්වේ.

සෙංකඩගලපුර දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය පරම පූජනීය ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි සිදු කෙරෙන වාර්ෂික සතර මංගල්ලයන් අතුරෙන් සුවිශේෂී පූජා මංගල්ලයකි.

දළදා පූජෝපහාරය, සිවුමහා දේවාලයන්හි දෙවියන්ට භක්ති ප්‍රණාමය දැක්වීම හා කලට වැසි ලබා සශ්‍රීකත්වය හා සෞභාග්‍යය ඇති කර ගැනීම අරමුණු කොට ගෙන මෙම උතුම් පෙරහර මංගල්ලය වාර්ෂික ව පැවැත්වේ. ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ කිත්සිරි මෙවන් රජු දවස පටන් වසර එක්වා දහස් සත්සිය දස වසරක් සපුරන ජාතියේ ප්‍රෞඩත්වය හා බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාවය විදහා දක්වන හෙළ මහා කලා මංගල්ලය සේ දෙස් විදෙස් ජනී ජනයාගේ සිත්සතන් සැදැහැයෙන් පුරවන මෙම මංගල්ලය චිරාගත සම්ප්‍රදායික පුදසිරිත්වලට අනුගත ව සුභ නැකැත් මුහුර්තීන්ට අනුව පැවැත්වේ. මෙවර පෙරහරේ විශේෂත්වය වන්නේ මහජනතාවගේ එක්රැස්වීමෙන් හා සහභාගිත්වයෙන් තොරව කොවිඩ් - 19 හෙවත් කොරෝනා වසංගත තත්ත්වය මඟහරවා ගැනීම් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්තුමා ඇතුලු සෞඛ්‍ය අංශයන්ගෙන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු හා වැඩබලන පොලිස්පති ඇතුලු ආරක්ෂක අංශයන්ගෙන් ද ලැබුණු මෙම වසංගත තත්ත්වය මඟහරවා ගැනීමේ නිරෝධායන නීති රීති හා උපදෙස්වලට එකඟව හුදෙක් පෞරාණික දළදා පූජෝපහාර චාරිත්‍ර විධි ආරක්ෂා කර ගැනීමේ අභිලාෂයෙන් සෞඛ්‍යාරක්ෂිත නීති රීති සුරක්ෂිත කර ගනිමින් පැවැත්වෙන පෙරහර මංගල්ලයක් වීම ය.

මෙම විසිතුරු ඇසළ පෙරහර මංගල්ලයේ මූලික කටයුත්ත වනුයේ පෞරාණික සිරිත් ප්‍රකාර පණස වර්ගයේ කිරි වෑහෙන ගසක ඵල නොදරන කොස් පැළයක් තෝරාගෙන එය වටා පිරිසුදු කොට වටතිර අඳවා වියන් බඳවා සඳුන් දියර ඉස දුම්මල අල්වා පහන් දල්වා පේකර අලුත්නුවර පොරෝකරුවා දෙහි ඇඹුල් ගා ස්නානය කොට ස්තෝත්‍ර ගායනා මැද්දේ ගස කපා හෙළීමයි. කැපූ ගසින් රියන් තුනක හෝ හතරක පමණ ප්‍රමාණයක් පිරිසුදු කොට සුදු රෙද්දකින් ඔතා පෙරහරින් ඇතෙකු පිටින් මහනුවර මහදේවාලය හෙවත් විෂ්ණු දේවාලයට රැගෙන ඒම සිරිතයි. එහිදී නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවුමහා දේවාලයන්ට කොටස් කර සතර දේවාලවල බස්නායක නිලමේවරුන් හමුවේ බෙදා දෙන අතර, ඒ ඒ දේවාලයන්හි කපුවන් විසින් කප රැගෙන සුදු රෙද්දකින් ඔතාගෙන ඇතෙකු පිට නැඟී පෙරහරින් වැඩමවීම සිදුකෙරේ. කප සිටුවීමට දේවාලයේ නියමිත ස්ථානය පිරිසිදු කොට වට තිර වියන් බැඳ, ගොක් කොළ මලින් සරසා වැස්සට අධිපති ඉන්‍ද්‍ර දෙවියන් සංකේත්වත් කොට දෙපස පොල්ගෙඩි දෙකක් මත තැබූ පහන් දල්වා ස්තෝත්‍ර ගායනා මැද්දේ කප සිටුවීම සුභමුහුර්තියෙන් සිදුකෙරේ. මෙවර එම කප් සිටුවීමේ මංගල්ලය වර්ෂ 2020 ජූලි මස 21 වන කුජ දින අලුයම 2 පසුවී විනාඩි 26 ට උතුරු දිශාභිමුඛ ව සිරිත් පරිදි පේකොට තබන ලද පණස වෘක්‍ෂයේ ශාඛාව ගෙන මහනුවර සිවු දේවාල ප්‍රධාන කොට ඇති සියලු දේවාලයන්හි කප සිටුවීම සිදු කිරීමෙන් පෙරහරේ කටයුතු ඇරඹේ. එසේ කප සිටුවීමෙන් අනතුරුව ඒ ඒ දේවාලයේ දුන්න ඊතලය සහිත දේවාභරණ කෙටි පෙරහරකින් වඩමවා කප වටා ප්‍රදක්‍ෂිණා කිරීම සිදුවේ. දේවාල අභ්‍යන්තර පෙරහර ඇතුළේ පෙරහර වශයෙන් ද භාවිත වේ. එය ඉතා කෙටි පෙරහරකි. පන්දම් විලක්කු ගෙන ප්‍රධාන කපුවා විසින් දේවාභරණ කප වටා වැඩමවීම එහි සිරිතයි. මෙහි අරමුණ වන්නේ පෙරහර මංගල්ලය කිසිම උපද්‍රවයකින් තොරව සාර්ථකව පැවැත්වීමට හා සහභාගි වන කලාකරුවන් ඇතුළු සියලු දෙනාගේ ආයුරාරෝග්‍ය සම්පත්තිය හා සුභශාන්තිය වඩා වර්ධනය කරගැනීමත්, කලට වැසි ලැබ අස්වැන්න සරු වී රටේ සමෘද්ධිය සෞභාග්‍යය ඇති කර ගැනීමයි.

ඉන් අනතුරුව ජූලි මස 25 වන ශනි දිනෙන් ආරම්භ ව වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක් ද, ජූලි මස 30 වන ගුරු දිනෙන් ආරම්භ වන රන්දෝලි පෙරහර පහක් ද, අගෝස්තු මස 03 වන සඳු දින අවසන් රන්දෝලි මහපෙරහර අවසානයේ මධ්‍යම රාත්‍රියෙහි ගෙඩිගේ විහාරයට පෙරහර කරඬුව වැඩමවන පෙරහරක් ද, පසු දින දහවල් පෙරහරක් ද පැවැත්වීමෙන් පසු පෙරහර ගෙවැදී, ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය සමාප්ත වේ. අනතුරුව රටේ පාලක ප්‍රධානයා වන අතිගරු ජනාධිපතිතුමා වෙත පෙරහර සංදේශය පිළිගැන්වීම ද, පසු දා ශ්‍රී විෂ්ණු දේවාලයේ පැවැත්වෙන වළියක් නැටුම ද යන සුවිශේෂී කරුණු වලින් පෙරහරේ කටයුතු සපුරා අවසන් වේ.

ඇසළ පෙරහරේ පළමුව ගමන් කරනුයේ ශ්‍රී දළදා මාළිගාවේ පෙරහරයි. වර්තමානයේ මෙම පෙරහරේ වැඩමවනුයේ දළදා වහන්සේ නොව සධාතුක ධාතූන් වහන්සේලා තැන්පත් කළ පෙරහර කරඬුවයි. දෙවනුව නාථ, විෂ්ණු, කතරගම හා ශ්‍රී පත්තිනි දේවාල පෙරහර අනුපිළිවෙළින් ගමන් කරනු ලැබේ.

මෙකී පෙරහර ආරම්භ වූයේ කිත්සිරිමෙවන් මහරජු (ක්‍රි.ව 301-328) දවස දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟ ය. මහාවංශයේ සඳහන් වන අයුරු “රජ තෙමේ නව ලක්ෂයක් ධන විසඳා දළදා මහ පෙරහර කළේයි. “අවුරුදු පතා අභයගිරි විහාරයට වඩා ගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි. “නියෝග කළේය යන සඳහනෙන් එය සනාථ වෙයි.

පාහියංගේ දේශාටන වාර්තාවෙහි රජතෙමේ තුන් වන මස මැද දී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු ලැබේ. මෙයට දින දහයකට පෙරාතුව කීමෙහි බිනීමෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම්, හඳවා පළඳවා, මොනවට සැරසූ ඇතක්හු පිට නඟවා, නුවර හැවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි. “බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා, පෙරුම් පිරූ සේක. සිය සැප පහසු නොතකා සිය රජය ද, සිය බිසව ද, දරුවන් ද, දන් දුන් සේක. තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක. අද සිට දස දිනකින් ඒ බුදු රදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමැති සියල්ලෝ මග සම කෙරෙත්වා. කොවේ, මහවේ සරසත්වා. පුද පිණිස මල් හා සුවඳ පිළියෙළ කෙරෙත්වා යනුවෙන් කෙරෙන විස්තරයෙන් එදවස ඇසළ පෙරහර සංවිධානය වු ආකාරය කියැවෙයි. අනුරපුර රාජධානියෙන් අනතුරුව පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගඟසිරිපුර, කෝට්ටේ, සීතාවක යන රාජධානියන්හි ද නොකඩ කොට ඉපැරැණි චාරිත්‍රානුකූලව පෙරහර මංගල්ලයන් පැවැත්වූ අයුරු මූලාශ්‍රයන්ගෙන් හෙළිවේ.

ඇතැම් සතුරු උපද්‍රව සමයන්හි පෙරහර වීදි සංචාරය නොකළ ද මේ පෙරහර චාරිත්‍රයන් අඛණ්ඩ ව පවත්වාගෙන ඒමට අපේ මහතෙරවරුන් හා රජවරු, දියවඩන නිලමේවරු සමත්වූහ.

1592 වර්ෂයේ දී පළමු වන විමලධර්මසුරිය රජු දවස ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමෙන් අනතුරුව වර්තමානය දක්වා අඛණ්ඩ ව පවත්වාගෙන ආ බවක් දක්නා ලැබේ. මහනුවර රාජාවලියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව 1747 - 1781) දවස ක්‍රි.ව 1753 දී දළදා පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහා දේවාලය අනුපිළිවෙළට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහර මංගල්ලය පැවැත්වීම ආරම්භ කොට ඇත. එතැන් සිට වර්තමානයේ පවත්නා ආකාරයට දළදා මාළිගාව පෙරටුකොට සතර දේවාල ගමන් කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත්වීම සිරිතයි. මෙම මංගල්ලය අපේ රජවරුන් හා ඔවුන්ගෙන් අනතුරුව අද දක්වාම දියවඩන නිලමේවරුන් විසින් ද නො කඩ කොට පවත්වාගෙන විත් අද දක්වාම, වර්තමානයට දායාද කොට ඇත.

දියවඩන නිලමේවරයෙකු සතු ප්‍රධානතම නිල කාර්යභාරයක් වන්නේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්ලය චිරාගත සම්ප්‍රදායානුගත පුදසිරිත් වලට අනුගතවම පැවැත්වීමයි. වර්තමාන දියවඩන නිලමේතුමන්ගේ පසළොස් වසරක නිලකාලය තුළ චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත්වලට අනුගතව මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනාවන්ට අනුකූලව මුළු හෙළයම අසිරිමත් කරවන මෙම පෙරහර මංගල්ලය වඩාත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට තම දායකත්වය හා ඇපකැප වීම මැනවින් ලබා දීම ජාතියේ වාසනාවකි. ඇසළ පෙරහර මංගල්ලයේ චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත් ආරක්‍ෂා කරගැනීම වනාහි දියවඩන නිලමේතුමෙකුගෙන් අපේක්‍ෂිත මූලික වගකීමකි.

එම වගකීම් සම්භාරය මැනවින් දැන හඳුනාගෙන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලයේ ඓතිහාසිකත්වයට, අභිමානත්වයට, අලංකාරයට හා උත්කර්ෂවත්භාවයට කිසිදු හානියක් නො වන අයුරින් වසරින් වසර මෙම දළදා පූජෝත්සව පෙරහර මංගල්ලය අත්‍යන්තයෙන්ම පූජෝපහාර මංගල්ලයක් වශයෙන් පැවැත්වීමට වර්තමාන දියවඩන නිලමේතුමන් සමත් වී තිබීම අගය කළ යුතුය. ඒ සඳහා එතුමන්ට මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහානිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ, තේවාභාර නාහිමිපාණන් වහන්සේලාගේ මාර්ගෝපදේශනය හා ආශිර්වාදය නොමඳව ලැබිණ. ගෙවීගිය පහළොස් වසරක නිලකාලය තුළ වසරින් වසර විදේශිකයන් දහස් ගණනින් මෙම පෙරහර මංගල්ලය නැරඹීමට පැමිණියේ එහි පවත්නා චිරාගත සම්ප්‍රදායික චාරිත්‍රයන් මැනවින් දැක බලා අධ්‍යයනය කොට ගවේෂණය කරන අතර, රසවින්දනය සඳහා ය. එබැවින් මෙම පෙරහර මංගල්ලයේ දර්ශනීයත්වය හා ආකර්ෂණීයත්වය මැනවින් ආරක්‍ෂා කරගත යුතුව පවතී.

මෙම වර්ෂයේ කොරෝනා වංසගත තත්ත්වය හේතු කොට ගෙන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මැනවින් පිළිපදිමින් මහජනතාවගේ එක්රැස්වීමෙන් හා සහභාගිත්වයෙන් තොරව පෙරහර පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය ආකර්ෂණීය හා දර්ශනීය මංගල්ලයක් කර ගැනීමෙහිලා වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටුකරනුයේ නර්තන හා වාදන කලා ශිල්පීහු ය. එහෙත් ඔවුනට සමාජයේ ලැබෙන සමාජ තත්ත්වය හා පිළිගැනීම නිසි අයුරින් නොලැබීම හේතු කොට ගෙන අනාගතයට සිදුවිය හැකි බලවත් පාඩුව දැන හඳුනාගෙන, පාරම්පරික කලාශිල්පීන්ගේ ජීවන තත්ත්වය හා කලා කුසලතාවය ඉහළ නංවා ගැනීමේ පියවර රාශියක් වත්මන් දියවඩන නිලමේතුමාගේ නිල කාලය තුළ ගෙන ඇත. කලාශිල්පීන්ගේ ජීවනෝපාය නංවා ලීමට අවශ්‍ය පියවර ගන්නා අතර, ඔවුන්ගේ කලා කුසලතාවන් අගයමින් මූල්‍ය තිළිණ ප්‍රදානය, ඇඳුම් ආයිත්තම් සපයා දීම, වාද්‍ය භාණ්ඩ සපයා දීම මැනවින් ඉටු කරමින් මෙම කලාවන්හි නියැළී සිටීමට අවශ්‍ය අභිප්‍රේරණය ලබා දී ඇත්තේ ය. ඒ සමඟම පාරම්පරික නැටුම් කලාවේ තිරපැවැත්ම අරභයා පාසල් සිසුන්ගෙන් තෝරාගත් නර්තන කණ්ඩායම් කිහිපයක් පාරම්පරික ප්‍රවීණ කලාකරුවන්ගේ අධීක්‍ෂණය හා මඟපෙන්වීම මත පුහුණු කරවා පෙරහරට සහභාගි කරවා ගැනීමට පියවර ගැනීම එම උතුම් මංගල්ලයේ අනාගතය නිසි සේ සුරක්‍ෂිත කර ප්‍රවර්ධනය කිරීමට ගත් මාහැඟි පියවරකි. එසේම මාළිගාව විසින් පුහුණු කළ දක්‍ෂ තරුණ නැටුම් කණ්ඩායම් කිහිපයක් පෙරහරට එක්කර ගැනීම තුළින් එහි විචිත්‍රත්වය වඩාත් ඔප්නංවා ගෙන ඇත.

හීලෑ අලි ඇතුන්ගේ හිඟය වසරින් වසර ඉහළ යාම නිසා පෙරහර මංගල්ලයට අලිඇතුන් සහභාගි කරවා ගැනීමේ දුෂ්කරතාවය ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර මංගල්ලයන්ට පමණක් නොව සෙසු පූජනීය පෙරහර මංගල්ලයන්ට ද ඇතිවෙමින් පවත්නා බලවත් දුෂ්කරතාවයකි. එම දුෂ්කරතාව සමනය කර ගනු වස් එතුමා විසින් රජයේ අවධානය යොමු කරවා බුරුමය වැනි රාජ්‍යයන්ගේ අනුග්‍රහයෙන් මාළිගාවේ ඇත් පන්තිය වැඩිකර ගැනීමට පියවර ගත්තේ ය. ඇත්ගොව්වන්ගේ ජීවන තත්ත්වය නගාලමින් අලිඇතුන් මනාව රැකබලාගැනීමට පියවර ගෙන ඇත.

වර්තමාන දියවඩන නිලමේතුමා සෙංකඩගලපුර ඇසළ පෙරහරේ අසිරිමත්බව වඩා වර්ධනය කර ගැනීමට ඉටුකළ සේවාව අතිශයින් ම ප්‍රශංසා කටයුතුව පවතී. මෙම පෙරහර මංගල්ලය දළදා පූජෝපහාර මංගල්ලයක් වශයෙන් අසිරිමත් ලෙස පැවැත්වීමට දළදා සමිඳුන්ගේ සුභාශිර්වාදයෙන්, සිවුමහා දේවාලයන්හි දෙවිවරුන්ගේ පිහිටෙන් සෑම සියලු දෙනාගේම සහයානුග්‍රහය නොමඳ ව ලැබේවායි ආශිංසනය කරමු.

   නිකිණි පුර පසළොස්වක පෝය 

  අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්

මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]