Print this Article


මෙලොවට පමණක් නොව පරලොවට ද ගෙන යන සිතේ රෝග

මෙලොවට පමණක් නොව පරලොවට ද ගෙන යන සිතේ රෝග

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නහි වේරෙන වේරානී සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ

මෙලොව කිසි දිනෙක වෛරයෝ වෛර කිරීමෙන් නොසන්සිඳෙත්. වෛරයෝ වෛර නොකිරීමෙන් සංසිඳෙත්. මෙය සැම කල්හි ම ලොව නොවෙනස් ව පවතින ධර්මතාවක්.

ධනයට හා සැප සම්පත්වලට ඇති ගිජුකම නිසා සමහරු තමාගේ මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය ද විනාශ කර ගන්නවා. කයට රෝගයක් ඇතිවූ විට එය ටික කලෙකින් සුවපත් කර ගන්නට හැකි වෙනවා. නැත්තම් එය මරණයත් සමඟ අවසන් වනවා. එහෙත් හිතේ හටගන්නා රෝග මෙලොවට පමණක් නොව පරලොවට ද ගෙන යන බව ධර්මානුකූල ව සඳහන් කරන්න පුළුවන්.

මේ පිළිබඳ ව හැමදෙනාම ඉතාම බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕන. එහෙම නොවුව හොත් සසර පුරාවට ම දුක් දෙමින් තමා පසුපස එන, තමාට විනාශය ගෙන දෙන දෙයක් වශයෙන් වෛරය හඳුන්වන්න පුළුවන්.

මේ සම්බන්ධව උදාහරණ ධර්මයට අනුකූල ව ඕනෑ තරම් සොයා ගන්නට පුළුවන්. තම දරුවනුත් මරා තමනුත් මැරීමට ක්‍රියා කළ කාන්තාවක් කෙරෙහි බැඳගත් වෛරය තුළින් දරුවන් සමඟින් උනුනුන් මරා ගනිමින් සසර පුරාවට පැමිණි දිගු ගමන බුදුරජාණන් වහන්සේ හමුවේ දී නිරාකරණය වූ අයුරු කාලි යක්ෂණී කතාවෙන් පැහැදිලි වෙනවා.

මෙලොව කිසි දිනෙක නව ආඝාත වස්තූන් නිසා කෙනෙකුගේ සිතේ හටගන්නා වෛරය, වෛර කිරීමෙන් නොසන්සිඳෙන බවත්, වෛරය වෛර නොකිරීමෙන් සංසිඳෙන බවත් මෙම කරුණ අරභයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

විශාල ධනයක් ඇති ව ජීවත් වූ සිටු පවුලක් කාලයක් යන විට දුප්පත් වුණා. එදිනෙදා කටයුතු කර ගැනීමට පවා නොහැකි තත්ත්වයකට පත් වුණා. එහි තම මිත්තණිය සමඟ ජීවත් වූ කුඩා දැරියක් පාරේ වළලු විකුණමින් යන වෙළෙන්ඳෙක් දැක මිත්තණියට කියා වළලු ගැනීමට සැරසුණා. මුදල් නැතැයි පැවසූ විට ගෙදර තිබූ පැරණි තලියක් දී වළලු කීපයක් ගන්නා ලෙස දැරිය ඉල්ලා සිටියා. වෙළෙන්දා කැඳවා තලිය දී වළලු ඉල්ලූ විට එය නො වටිනා එකක් නිසා කිසිවක් දීමට නොහැකි බව පවසා ඔහු යන්නට ගියා.

මෙය රන් තලියක් බව දැනගෙන පසුව සුළු දෙයක් දී රැගෙන යාමටයි මේ කපටි වෙළෙන්දා හිතුවේ. තව ටික වේලාවක් යන විට තවත් වෙළෙන්දෙක් ඒ පාරේ යනවා දුටු දැරිය නැවතත් මිත්තණියට කියා එම වෙළෙන්දාට තලිය පෙන්වා වළලු දෙන ලෙස ඉල්ලා සිටියා. තලිය හොඳීන් පරික්ෂා කළ වෙළෙන්දා මේ රන් තලියක් බවත්, මීට දීමට තරම් ප්‍රමාණවත් බඩු තමා ළඟ නැතැයි පැවසුවා.

ඒත් ඒ අය ඉල්ලා සිටියේ තලිය රැගෙන පුළුවන් දෙයක් දී යන ලෙසයි. වෙළෙන්දා තමන් විකිණීමට ගෙනා සියලු දේත්, ගමන් ගාස්තු පමණක් තබාගෙන ඉතිරි මුදලුත් දී තලිය රැගෙන ගියා. ටික වෙලාවකින් කලින් ආ කපටි වෙළෙන්දා නැවත පැමිණ යමක් දීමට තලිය ගෙන එන ලෙස ඉල්ලුවා. පසුව පැමිණි තවත් වෙළෙන්දෙක් තලිය පරීක්ෂා කර බලා එය රන් තලියක් බව කියා තමා විකිණීමට ගෙනා සියලුම දේත්, ගමන් ගාස්තු පමණක් තබාගෙන ඉතිරි මුදලුත් දී තලිය රැගෙන ගිය බව පැවසුවා .

මේ පුවත අසනවාත් සමඟ වෙළෙන්දාට ඇතිවුණේ විශාල කම්පනයක්. අතට ලැබුණු ලාබය නැති වීම නිසා ඇතිවුණු කම්පනයෙන් ඒ වෙළෙන්දා ගිය දිශාව අසාගෙන දිවගෙන ගියා තලිය ගන්න. ඒ වන විට වෙළෙන්දා රැගත් පාරුව එගොඩට යන්න ගඟ මැද යනවා. කෑගහල කිව්වා පාරුව ආපහු හරවා ගෙන එන්න වියදම් මම දෙන්නම් කියලා. එය ගණන් නොගෙන පාරුව ඉදිරියට ම ගියා.

ඒ කම්පනය හමුවේ තලිය ගත් කෙනා කෙරෙහි තදබල වෛරයෙන් යුක්ත ව ඒ පුද්ගලයා මිය ගියා. ඒ ඇති වූ වෛරය සසර යන ගමනේ දී බෝසතාණන් වහන්සේට නොයෙක් ආකාරයේ හිරිහැර කරමින් පැමිණ බුදු වු අවස්ථාවේ දේවදත්ත නමින් ප්‍රසිද්ධ ව බුදුරජාණන් වහන්සේට හිංසා කළ ආකාරය බෝසත් සිරිත, බුද්ධ චරිතය පරීක්ෂා කර බලන විට පෙනී යනවා. බුදුරජාණන් වහන්සේ මරණයට පත් කිරීමට ඇතෙකු යොදවා කටයුතු කිරීම, දුනුවායන් යොදා ඝාතනය කරන්නට සැලැස්වීම, ඒ සියල්ල ම සාර්ථක නොවූ තැන තමන් ම ගලක් පෙරළා ඝාතනය කරන්නට උත්සාහ කිරීම එහි විස්තර වනවා. අනුන් සතු රන් තලියක් නිසා ඇති වූ අධික ලෝභය වෛර වේගයක් ව සසර පුරාවට ම තමා පසුපස පැමිණ, තමාට දුක් දුන් අයුරුත්, අවසානයේ දී බහුලව දුක් ගෙන දෙන අපායේ උපත ලබා තවමත් එහි දුක් විඳීනා ආකාරයත් විමසා බලන විට මෙහි ඇති බියකරු බව පැහැදිලි වනවා.

දරුණු ගණයේ අපරාධකරුවෙකුට තවත් එවැනි අපරාධකරුවෙක් කරනවාට වඩා විනාශයක් නොමඟට බර ව කටයුතු කරන සිත සිදු කරන බව ධර්මයේ සඳහන් වනවා.

තමන් ඇලුම් කරන දෙය තමන්ට අහිමි වන විට ඇතිවෙන වේදනාව බියකරු අයුරින් සිත තුළින් මතු වූ විට සිදුවන විනාශය කෙතරම් දැයි සිතීමට පවා අපහසු වනවා. තමන් ඉතා ළගින් ඇලුම් කරමින් ආශ්‍රය කරපු කෙනෙක් වෙනස් වූ විට දරුණු අයුරින් වෛරයෙන් යුතුව පළි ගැනීමට කටයුතු කරන ආකාරය සමාජය තුළ සිදුවන ඇතැම් සිදුවීම් තුළින් ඉතාම පැහැදිලි ව පෙනී යනවා.

ජීවිතයක් හෝ ජීවිත කිහිපයක් විනාශ වීමට තරම් ඒ බලවේගය ඇතැම්විට සමත් වනවා.

අසීමිත ආශාවෙන් උපයා සපයා ගත් සියලු දෙයත්, තමන් ඇසුරු කළ සියලු දෙයත් අත්හැර යම් දවසක යාමට සිදුවන බව බුද්ධිමත් ව තේරුම් ගන්නේ නම්, අපේ සිත් සතන් තුළ ඇතිවෙන බොහෝ වැරදි අදහස් නිවැරදි කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා . ඉතාමත් කෙටි කාලයක් තුළදී කොරෝනා වෛරසයට එක්කෝටි පනස් ලක්ෂයක පමණ ජනතාවක් ගොදුරු වීමෙනුත්, ලක්ෂ හයක පමණ ජනතාවක් මරණයට පත් වීමෙනුත් මෙහි නිමාව කවදා කොයි ආකාරයකින් සිදුවේ දැයි සිතා ගැනීමට නොහැකිව මුළු ලෝකය ම අවිනිශ්චිත ව, අසරණ ව බලා සිටින මොහොතක ඒ ගැන සිතීමෙනුත් සසර පවතින බියකරු බව වටහා ගැනීමට අපට අවස්ථාව දැන් උදාවෙලා තියෙන්නේ. මේ නිසා සසර දුක් ගිනි නිවීමේ වගකීම් තමන් සතු බව සිතා කටයුතු කිරීමෙන් සැනසීමක් උදාකර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ශක්තිය ධෛර්යය වාසනාව ඔබට හිමි වේවා.