Print this Article


බෝධීන් වහන්සේගේ පුරාණය

බෝධීන් වහන්සේගේ පුරාණය

බුද්ධවංශයෙහි බුදුරජාණන් වහන්සේලා විසිපස් නමක් පිළිබඳව සඳහන් වේ. එනම්,

දීපංකර බුදුරජාණන් වහන්සේ

කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ

මංගල බුදුරජාණන් වහන්සේ

සුමන බුදුරජාණන් වහන්සේ

රේවත බුදුරජාණන් වහන්සේ

සෝභිත බුදුරජාණන් වහන්සේ

අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ

පදුම බුදුරජාණන් වහන්සේ

නාරද බුදුරජාණන් වහන්සේ

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ

සුමේධ බුදුරජාණන් වහන්සේ

සුජාත බුදුරජාණන් වහන්සේ

පියදස්සී බුදුරජාණන්වහන්සේ

සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ

අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ

ධම්මදස්සී බුදුරජාණන් වහන්සේ

තිස්ස බුදුරජාණන් වහන්සේ

ඵුස්ස බුදුරජාණන් වහන්සේ

විපස්සී බුදුරජාණන් වහන්සේ

සිඛී බුදුරජාණන් වහන්සේ

වෙස්සභූ බුදුරජාණන් වහන්සේ

කකුසඳ බුදුරජාණන් වහන්සේ

කෝණාගමන බුදුරජාණන් වහන්සේ

කස්සප බුදුරජාණන් වහන්සේ

ගෝතම බුදුරාජණන් වහන්සේ

යනුවෙන් බුදුරජාණන් වහන්සේලා පිළිබඳව සඳහන් වන අතර, අටවිසි බුදුරජාණන් වහන්සේලා සම්පූර්ණ වීමට තවත් බුදුරජාණන් වහන්සේලා තුන්නමක් පිළිබඳව තොරතුරු ඌනතාවයක් දක්නට ලැබේ. එම බුදුරජාණන් වහන්සේලා පිළිබඳ තොරතුරු මූලාශ්‍රයන් සහිතව මෙම ලිපි මාලාවේ දී සඳහන් කෙරේ. මෙම ලිපි මාලාවේ තවත් මූලාශ්‍ර සාධකයක් වශයෙන් අටුවාව පරිහරණය කෙරේ.. දීඝ නිකාය අට්ඨ කථාව පිළිබඳ දීර්ඝ විස්තර විවිධ ග්‍රන්ථාවලීන්හි සඳහන් වේ. බුද්ධවංශයට ලියන ලද අටුවාව බුද්ධවංශ මධුරස්ස විලාසිනීනාම බුද්ධවංශට්ඨ කථා නැතහොත් බුද්ධවංශ අටුවාව බුද්ධදත්ත තෙරුන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අට්ඨ කථාවක් වේ. බුද්ධදත්ත තෙරුන් වහන්සේ සුප්‍රකට අටුවාචාරී බුද්ධගෝෂ ස්වාමීන් වහන්සේ ගේ සමකාලීනයකු වශයෙන් සඳහන්ව ඇත. 1922 වර්ෂයේ දී යගිරල පඤ්ඤාණන්ද ස්වාමීන් වහන්සේ විසින් බුද්ධවංශ අටුවාවෙහි සංශෝධනයක් සිදු කර ඇත. එම අටුවා සිංහලට ද පරිවර්තනය කර ඇත. අටුවා යනුවෙන් සඳහන් වන්නේ ති‍්‍රපිටකයෙහි විවිධ තැන් විස්තර කරන ලද ග්‍රන්ථාවලියයි. අටුවාවන් සිහළට්ඨ කථා වශයෙන් ද පැවතිණ. එම සීහළට්ඨ කථා බුද්ධගෝෂ ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කොට මහා විහාරීය භික්ෂූන් වහන්සේලා ගේ අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර භාෂාවක් වූ පාලි භාෂාවට පරිවර්තනය කර ඇත. බුදුදහම පැවැති සියලු රටවල පාලි භාෂාව භාවිත වූ බැවින් එම අවධිය වන විට පාලි භාෂාව ජාත්‍යන්තර භාෂාවක් ලෙස සලකා ඇත. ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, සියම් දේශය, කාම්භෝජය, වියට්නාමය, බුරුමය මේ ආදී වශයෙන් සියලු ම බෞද්ධ රටවල ජාත්‍යාන්තර භාෂාවක් වශයෙන් පාලි භාෂාව භාවිත වේ. සීහළට්ඨ කථා ජාත්‍යන්තර භාෂාවකට පරිවර්ථනය කරන බව මෙහි සඳහන් වේ. පස්වන සියවසේ බුද්ධගෝෂ ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමඟ එය පරිවර්ථනය කර ඇත.

බෝධි පුරාණය විවරණයට අයත් වන තවත් මූලාශ්‍රයක් වශයෙන් දීප වංශය හා මහා වංශය භාවිත කළ හැකි ය. ලංකා ඉතිහාසය අධ්‍යයනයේ දී ඉතාමත්ම වැදගත් දීර්ඝ අඛණ්ඩ ඉතිහාසයක තොරතුරු එහි සඳහන් ව පවතී. එය වංශ ග්‍රන්ථ වශයෙන් පාලි සාහිත්‍යයෙහි සඳහන් වේ. සිංහල බෝධි වංශය, ජාතක අටුවාව බෝධි පුරාණය පිළිබඳව තොරතුරු ලබාගත හැකි ය. ජාතක පාලිය සුත්‍ර පිටකයේ ඛුද්දක නිකායෙහි ග්‍රන්ථයකි.

ජාතක අටුවාව ග්‍රන්ථය ආශ්‍රයෙන් පශ්චාත්කාලීන ව ජාතක පොත් වහන්සේ නමින් සිංහලට පරිවර්තනය විය. ජාතක අටුවාව, අටුවා ග්‍රන්ථයන්හි විශාලම ග්‍රන්ථය වශයෙන් හැඳීන් වේ. එම ජාතක අටුවාව ද බෝධිපුරාණය සඳහා මූලාශ්‍රයක් වශයෙන් භාවිත කෙරේ. ති‍්‍රපිටක අටුවා ග්‍රන්ථ, ධර්ම ප්‍රදීපිකාව, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය ආදී ග්‍රන්ථ පරිශීලනය කෙරේ. ප්‍රාථමික හා ද්වීතීක ග්‍රන්ථ ද පාලි සහ ඉපැරැණි සම්භාව්‍ය සිංහල ග්‍රන්ථයන් අධ්‍යයනය කිරීමේදී මතුවන ගැටලු නිරාකරණය සඳහා ඉහත සඳහන් ග්‍රන්ථ පහසුවක් සලසලනු ඇත.

මීට ඉහත ලිපියෙහි සඳහන් වූ ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ පිළිබඳව ඉතාම ප්‍රාමාණික කෘතියක් වශයෙන් වැලිමිටියාවේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ විසින් රචිත ශී‍්‍ර මහාබෝධීන් වහන්සේගේ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය නමැති විශිෂ්ට ග්‍රන්ථය ද මෙම ලිපි මාලාවේ දී අත් පොතක් වශයෙන් භාවිත කෙරේ. අලුත්වැව සොරත හිමියන්ගේ ලංකාවේ බෝධි සංස්කෘතිය ග්‍රන්ථය මෙහිදී මූලාශ ග්‍රන්ථයක් වශයෙන් භාවිත කෙරේ. සංස්කෘත සාහිත්‍යයෙහි ඉතා ප්‍රකට සාහිත්‍යධරයා වශයෙන් හඳුන්වන කාලිදාස පඬිවරයා රඝුවංශ මහාකාව්‍යය රචනා කිරී‍මේ දී ඉදිරිපත් කළ අපූර්ව ශ්ලෝක පාඨයක කෙටි අදහසක් මෙසේ සඳහන් වේ. සූර්යය වංශය වර්ණනා කිරීම සඳහා රඝු වංශය රචනා කර ඇත. එය ඉතා අපහසු කාර්යයකි. “සූර්යය වංශය වර්ණනා කිරීමට උත්සාහ කරන මම පහුරකින් සාගරය තරණය කිරීමට උත්සාහ දරන්නෙකු වැන්නෙක්මි.” යනුවෙන් තමාගේ ඇති අපහසුතාවය සම්බන්ධ ව ප්‍රකාශ කොට ඇත. ඒ නයින් කල්පනා කිරීමේදී අපද අටවිසි බෝධින්වහන්සේලා ගේ පුරාණය සඳහා ඉහත සඳහන් වූ ප්‍රාමාණික කෘති උපයෝගී කරගනිමින් මෙම ලිපි මාලාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

මෙම ලිපියෙහි ඉතිරි කොටස නිකිණි පුර පසළොස්වක පෝදා පළවේ.