Print this Article


යහපත් කුල ස්ත්‍රියක් වීමට...

යහපත් කුල ස්ත්‍රියක් වීමට...

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සංයුක්ත නිකායේ හතරවන කොටසේ මාතුගාම සංයුක්තයට අයත් මාතුගාම වර්ගයේ සූත්‍ර දේශනා මුල් කරගෙනයි අද මේ දේශනාව සිදු කරන්නේ. එය හයවෙනි සූත්‍රය, කෝදන සූත්‍රයයි.

මේ සූත්‍රයෙන් කියැවෙන්නේ ක්‍රෝධ කරන ස්ත්‍රිය පිළිබඳවයි. කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳිල මැරුණු පසුව අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාතය නම් වූ නිරයේ උපදින්න සිදුවන බව මෙහිදී දේශනා කරනවා. ඒ කරුණු පහ තමයි, ශ්‍රද්ධාවකින් තොරවීම, පවට ලජ්ජාවක් නැතිවීම, විපාකයට බයක් නැතිවීම, ක්‍රෝධ කිරීම, ප්‍රඥාවෙන් තොරව සිටීම,

ඊළඟට එහි හත්වැනි සූත්‍රයේ දී උන්වහන්සේ දේශනා කරනවා බද්ධ වෛරය බඳින ස්ත්‍රිය

පිළිබඳව. ඒ සූත්‍රයේ නම උපනාහි සූත්‍රයයි. කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රියට නිරයේ උපදින්න සිදුවෙනවා. ශ්‍රද්ධාවකින් තොරව සිටීම, පවට ලජ්ජාවක් නැතිවීම, විපාකයට බයක් නැතිවීම, වෛර බැඳීම හා ප්‍රඥාවකින් තොරව සිටීමයි.

ඉන්පසුව එහි අටවන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉස්සුකී සූත්‍රයයි. ඊර්ෂ්‍යාකාරී ස්ත්‍රිය ගැනයි මෙහිදී කියැවෙන්නේ. නිරයේ ඉපදීමට හේතුවන කරුණු පහක් මෙහිදී ද දේශනා කරනවා. ශ්‍රද්ධාවකින් තොරව සිටීම, පවට ලජ්ජාවක් නැතිවීම, විපාකයට බයක් නැතිවීම, ඊර්ෂ්‍යාවෙන් පසුවීම හා ප්‍රඥාවෙන් තොර වීමයි.

එහි 9 වන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මසුරුකමින් සිටින ස්ත්‍රිය පිළිබඳවයි. එම සූත්‍රයේ නම මච්ඡරී සූත්‍රයයි. මුල් සූත්‍රවල ආකාරයටම කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රියට නිරයේ උපදින්න සිදුවෙනවා.

ශ්‍රද්ධාවකින් තොරව සිටීම, පවට ලජ්ජාවක් නැතිවීම, විපාකයට බයක් නැතිවීම, මසුරුකමින් සිටීම, හා ප්‍රඥාවකින් තොරව සිටීම.

එහි දසවැනි සූත්‍රයේ දී උන්වහන්සේ දේශනා කරන්නේ සැමියා ඉක්මවා හොර සැමියන් කරා යන ස්ත්‍රිය පිළිබඳවයි. ඒ සූත්‍රයේ නම අපිචාරී සූත්‍රයයි. මුල් සූත්‍රවල ආකාරයටම කරුණු පහකින් සමන්විත මේ ස්ත්‍රියට නිරයේ උපදින්න සිදුවෙනවා.

ශ්‍රද්ධාවකින් තොරව සිටීම, පවට ලජ්ජාවක් නැතිවීම, විපාකයට බයක් නැතිවීම, සැමියා ඉක්මවා හොර සැමියන් කරා යාම හා ප්‍රඥාවකින් තොරව සිටීමයි.

ඊළඟට එහි 11 වන සූත්‍රයේ දී දුස්සීල ස්ත්‍රිය පිළිබඳව දේශනා කරනවා. ඒ සූත්‍රයේ නම දුස්සීල සූත්‍රය. මුල් කරුණු වගේම 1, 2, 3 කරුණු එක සමානයි. හතර වැනි කරුණ දුස්සීලව වාසය කිරීම, 5 වන කරුණ ප්‍රඥාවකින් තොරවීම, මේ කරුණු පහෙන් සමන්විත ස්ත්‍රිය කය බිඳිල මැරුණු පසුව අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.

එහි 12 වන සූත්‍රයේ දී උන්වහන්සේ දේශනා කරනවා දහම් දැනුමින් තොර ස්ත්‍රිය පිළිබඳව. ඒ දේශනාවේ නම අප්පස්සුත සූත්‍රයයි. එහිදීත් පෙර පරිදි කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රියට නිරයේ ඉපදීමට සිදුවෙනවා. එහි 1, 2, 3 සහ 5 වන කරුණු මුල් සූත්‍රවල කරුණු සමඟ ගැළපෙනවා. 4 වන කාරණාව ලෙස අලුතින් එකතුවන්නේ දහම් දැනුමින් තොරවීමයි.

ඊළඟට 13 වන සූත්‍රයේ දී උන්වහන්සේ කම්මැලිකම ගැන දේශනා කරනවා. එහි නම කුසීත සූත්‍රයයි. එහිදීත් කරුණු පහකින් සමන්විත ස්ත්‍රියට නිරයේ ඉපදීමට සිදුවෙනවා. 1, 2, 3 සහ 5 වන කරුණු මුල් සූත්‍රවල කරුණු සමඟ ගැළපෙනවා. හතරවැනි කාරණාව ලෙස අලුතින් එකතු වෙන්නේ කම්මැලිකමෙන් සිටීමයි. ඉන්පසුව එහි 14 වැනි සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සිහිමුලාවී සිටින ස්ත්‍රීය පිළිබඳවයි. එහි නම මොට්ටස්සති සූත්‍රයයි. එහිදීත් පෙර පරිදිම කරුණු හතරකින් සමානව සම්බන්ධ වන අතර අලුතින් එකතුවන කාරණාව වන්නේ සිහිමුලාවෙන් සිටීමයි. ඊළඟට එහි 15 වන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වෛරය ඇති කරවන කරුණු පහකින් සමන්විත ස්ත්‍රිය පිළිබඳවයි. එහි නම පංචවේර සූත්‍රයයි. ඒ කරුණු නම්

සතුන් මැරීමෙන් යුක්ත වීම, සොරකම් කරන්නියක් වීම, වැරැදි කාමසේවනයේ හැසිරෙන්නියක් වීම, බොරු කියන්නියක් වීම හා මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නියක් වීමයි.

විශේෂයෙන්ම මෙම සූත්‍ර දේශනාවලින් කියැවෙන පරිදි පවුලේ ප්‍රධානම චරිතය සිදුකරන මෑණියන්, දියණියන් ආදර්ශමත් අයුරින් නිවැරැදි දිවි පෙවෙතක් ගත කළ යුතු බව පෙන්වා දෙනවා. ස්ත්‍රිය වැරැදි ආකාරයෙන් හැසිරෙන්නේ නම් එය සමාජයටම බලපාන නිසා බුදුරජාණන් වහන්සේ මේ මාතුගාම වර්ගයේ දේශනාවලදී මේ කරුණු අවධාරණය කරනවා.

ඒ නිසා විශේෂයෙන් කාන්තා පාර්ශ්වය මේ දේශනාවලින් කියැවෙන කරුණු හොඳින් ධාරණය කරගෙන තමන්ගේ ජීවිතවල මේ අඩුපාඩු තිබෙනවා නම් ඒවා නැතිකරගෙන යහපත් කුල ස්ත්‍රියක් බවට පත් වීමට අධිෂ්ඨාන කරගන්න.