Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 10 කොටස : බොරු අන්ධයා අසුවෙයි

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 10 කොටස :

බොරු අන්ධයා අසුවෙයි

ඒ නායක හිමියන් පදුමකිත්ති හිමියන්ට පහර දුන් අවසන් දිනයයි. එහෙත් පදුමකිත්ති හිමියන් නා හිමියන් සමඟ උරණ වූයේවත් නාහිමියන් පදුමකිත්ති හිමියන් සමඟ උරණ වූයේවත් නැත.

නාගදීපයේදී පැවිදි වූ නවදගල පදුමකිත්ති හිමියෝ විහාරස්ථානයේ දී දිනපතාම විහාරාධිපති නා හිමියන්ගෙන් දඬුවම් වින්දහ. එහෙත් උන් වහන්සේගේ දඟකාරකම් අඩු වූයේ නැත. විහාරස්ථානයේ ඇතැම් නීති රීති ඉතා තදබල ඒවායැයි උන් වහන්සේට සිතුණි.

නායක හාමුදුරුවන්ගේ නියෝගය මත සියලුම ස්වාමීන් වහන්සේ අලුයම 4ට අවදි විය යුතුය. අලුයම 4න් පසු සැතපී සිටියහොත් කන් දෙකට වතුර වත් කරන්නැයි නායක හිමියන් විහාරයේ නැවතී සිටි ගෝලබාලයන්ට අණ දී තිබුණි. අලුයම අවදි වීමෙන් පසුව මුහුණ කට සෝදා පිරිසිදු වී පොත්පාඩම් කිරීම ආරම්භ කළ යුතු ය. සියලුම භික්ෂූන් වහන්සේ පිළිවෙළින් අසුන් ගෙන බණ පොත් ශබ්ද නඟා කියවිය යුතු වේ. ඒ විහාරස්ථානයේ ප්‍රධාන ආවාසයේ සාලයේ දැල්වෙන චිමිනි ලාම්පුව අසලය. නා හිමියෝද අඩ අඳුරේ එළි මහනේ සිට ඒ බණ පොත් කියවීම අසා සිටිති.

එළිය වැටුණු පසු විහාරස්ථානයේ මිදුල ඇමදීම් කළ යුතුය. ඒ සඳහා හෙක්ටර් ඇතුළු විහාරස්ථානයේ ආවතේව කරන සෙසු පිරිස ද එක් වේ. මිදුල ඇමදීම් කරද්දී කිසිවකු හා කතා නොකළ යුතුය. එකිනෙකාගේ මුහුණ බැලීම පවා තහනම්ය. හිස පහතට යොමා ගෙන ඉතා සංවරව රටාවකින් යුක්තව ඇමදීම් කළ යුතු ය. පදුමකිත්ති හිමියන්ට අලුයම අවදිවීම නම් තරමක කරදරයක් විය. කනට වතුර හැලුණු වාර ද විය. විහාරස්ථානයේ සිටි ආවතේවකරුවන්ටද එය අකුරටම ක්‍රියාත්මක කිරීමට සිදුවුණේ නායක හිමියන්ද ඒ ගැන සොයා බැලූ නිසා ය.

දිනක් උදෑසන මිදුල අමදින අවස්ථාවේදී පදුමකිත්ති හිමියන් අසලින්ම ඉදලක් අතුගෑවෙනු දැක හොරහින් බලා ඔහු හෙක්ටර් බව හඳුනා ගන්නා ලදී.

‘‘මොකක්ද මේ කරදරේ, අදවත් මොකක් හරි ඇගට දැනෙන දෙයක් කරමුකො‘‘ පදුමකිත්ති හිමියෝ හෙක්ටර්ට හෙමිහිට මිමිණූහ.

‘‘අපි යමු ද මුහුදෙ නාන්න‘‘ ඒ හෙක්ටර් ය.

‘‘නාන්න යන්නෙ දානෙට ඉස්සරවෙලා ද ? නායක හාමුදුරුවො සැතපුණාට පස්සෙ ද?

එයට පිළිතුරු ලැබීමට පෙර පදුමකිත්ති හිමිගේ පිට හරහා හොඳ ඉදල් පහරක් වැදුණි. එයින් පදුමකිත්ති හිමියෝ කැරකැවී ගියහ. හෙක්ටර් පෙනෙන මානයකවත් නැත. නායක හාමුදුරුවෝ ඉදලකින් පහර දී ඉදල අතේ ඇතිව සිටියහ. ඊළඟ ඉදල් පහර දෙනු පිණිස නායක හාමුදුරුවෝ ඉදල එසවූහ. පදුමකිත්ති හිමිට මහා තරහක් ඇති වුණි.

‘‘ආයෙත් ගැහුවොත් බලාගෙනයි‘‘ අත තිබූ ඉදල නායක හිමි දෙසට විසි කළ පදුමකිත්ති හිමියෝ නා හිමියන් දෙස කෝපයෙන් බලා පැන දුවන්නට වූහ.

‘‘අල්ලපල්ල ඕකා.....‘‘ නායක හිමියෝ කෑ ගැසූහ. ඒ සමඟම විහාරස්ථානයෙ සිටි හෙක්ටර් ඇතුළු පිරිස දිව ආහ. පදුමකිත්ති හිමියන්ද දිවිල්ල නතර කර නායක හිමියන් සිටි දෙසට වැඩම කෙළේ ඉදල් පහර කිහිපයක් බලාපොරොත්තුවෙනි.

ඉදලෙන් පාදයට වැරෙන් ගැසූ නා හිමියෝ ඉදල විසි කර දැමූහ. පදුමකිත්ති හිමියන්ට ඒ ඉදල් පාරට දණ ගැස්වුණි. කිසිවක් කතා නොකළ නාහිමියෝ වේගයෙන් ආවාසය දෙසට වැඩම කළහ.

ඒ නායක හිමියන් පදුමකිත්ති හිමියන්ට පහර දුන් අවසන් දිනයයි. එහෙත් පදුමකිත්ති හිමියන් නා හිමියන් සමඟ උරණ වූයේවත් නාහිමියන් පදුමකිත්ති හිමියන් සමඟ උරණ වූයේවත් නැත. සිදුවීම එතැනින් අවසන් විය.

පදුමකිත්ති හිමියන් දහම් පතපොත පිළිබඳ උගත්තේ ඇල්පිටියල පිටිගල ඉඳීපල්ගොඩ විහාරාධිපති නාගදීප නාහිමිගේ සොහොයුරු පාරුතොට ධම්මාරාම හිමියන්ගෙනි.

ධම්මාරාම හිමියෝ කිසිවිටෙක අත්වැරදිවලට තරහ ගත්තේ නැත. වීදුරුවක් පිඟානක් බිඳුණ ද, උන් වහන්සේ ඒ ගැන තරහ ගත්තේ නැත. එහෙත් දැන දැන කරන වැරැදිවලට නම් උන් වහන්සේ දඬුවම් කළහ. සතෙකුට පවා උන් වහන්සේ දැඩි සේ කරුණාව දැක්වූහ.

නාගදීපයේ මෙන්ම ඉඳීපල්ගොඩ විහාරයේදී ද අලුයම විහාරස්ථානය ඇමදීම කළ යුතුව තිබුණි. ඒ සඳහා ධම්මාරාම නාහිමියෝද සහභාගි වූහ.

විහාරස්ථානයේ ඇමදීම් අවසන් වූ පසුව ආවාස ගෙය ද ඇමදිය යුතු වේ. එහිදී පදුමකිත්ති හිමියන්ට තිබුණු ලොකුම වධය වූයේ පඩික්කම් අස් කිරීමයි. ධම්මාරාම හිමි බැහැ දකින්නට වැඩම කරන නා හිමිවරුන් පඩික්කම් පුරවති. ඒවා ඉවත් කර පඩික්කම් සෝදා උදෑසන දානය ගන්නට ගිය විට දානය පිළිකුල් වන තරමට එපා වීමක් ඇති වේ. කෙසේ හෝ උදෑසන දානය වළඳන්නට වන්නේ පෙරවරු 9.00ද පසුවීමෙනි.

ඉන් පසුව බණ පොත් කියවන්නට සිදු වේ. කෙසේ වුවත් ලැබෙන හොඳම වෙලාවන් සෙල්ලමටම යොදවන්නට පදුමකිත්ති හිමියෝ කටයුතු කළහ.

විහාරස්ථානය අසලම පිහිටි නිවසේ සිටියේ විදුහල්පති යුවළකි. ඔවුන්ගේ එකම පුතා තිලක්ය. තිලක් හා පදුමකිත්ති හිමියන් මිතුරුවීමට වැඩිකලක් ගත වූයේ නැත. එහෙත් ගිහියන් සමඟ ඇසුරට නාහිමියන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.

‘‘ගිහි - පැවිදි වෙනස තේරුම් ගන්න ඕන. ඕනවට වඩා ගිහියොත් එක්ක භජනෙ හොඳ නෑ. නා හිමියෝ එම වදන් පෙළ පවසනවා හැරෙන්නනට වෙනත් බැණ වැදීම් කෙළේ නැත.

එහෙත් පදුමකිත්ති හිමියෝ තිලක්ගේ නිවෙස පිහිටි පන්සල් මායිමට ගොස් එදෙස බලා සිටි විට තිලක් පදුමකිත්ති හිමියන්ට නිවසට කතා කරයි. තිලක්ගේ මවද පදුමකිත්ති හිමියන්ට දැඩි සෙනෙහසක් දැක්වූවා ය. පොඩි හාමුදුරුවන්ට රසවත් ගිලන්පස ලබා දුන්නා ය. ඒ අවස්ථාවේදී තිලක් තේ බොන විට මව ලබා දෙන රසකැවිලි පදුමකිත්ති හිමියන්ට ලබා දෙන්නට තිලක් කටයුතු කෙළේ ය. ක්‍රමයෙන් හවස්වරුවේ තිලක්ගේ නිවසට ගොස් ගිලන්පස වළඳා, රසකැවිලි ආහාරයට ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් විය. තිලක් සිටියත් නැතත් විදුහල්පතිනිය වන තිලක්ගේ මව පදුමකිත්ති හිමියන්ට සංග්‍රහ කළා ය. තිලක්ගේ පියා ද ඒ ගැන විශේෂයක් දුටුවේ නැත.

(මතු සම්බන්ධයි)