Print this Article


ලංකාවේ බෞද්ධ ස්තූප 03 : ස්තූප වර්ග හඳුනාගනිමු

ලංකාවේ බෞද්ධ ස්තූප 03 :

ස්තූප වර්ග හඳුනාගනිමු

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳ දීර්ඝ වශයෙන් විස්තර වන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ය. බුදු , පසේ බුදු, මහරහත්, සක්විති රජ යන පිරිස මහා පුරුෂයන් සේ සැලකෙන බව එම සූත්‍රයේ සඳහන් වේ. මේ මහා පුරුෂයන්ගේ ජීවිතාවසානයෙන් පසු ශාරීරික ධාතු තැන්පත් කොට ස්තූප කරවීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරා තිබේ.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධාතුන් වහන්සේ තැන්පත් කොට ස්තූප අටක් තැනූ බව සඳහන් වේ. ධාතුන් වහන්සේ බෙදූ ද්‍රෝණ නම් බමුණා ධාතු බෙදූ බඳුන තැන්පත් කරමින් ද, පිප්ඵලී වනයේ මෞර්යයෝ ශ්‍රී ශරීරය දැල් වූ සෑයේ අළු කොටස් තැන්පත් කරමින් ද ස්තූප ගොඩනැඟූ බව සඳහන් වේ.

ප්‍රධාන වශයෙන් ම ස්තූප වර්ග සය ආකාරයක් වන බව සලකන අතර ඉන් ඝණ්ඨාකාර, ඝටාකාර, බුබ්බුලාකාර ස්තූපයන් පිළිබඳ ව පසුගිය පෝය දින විස්තර කෙරිණි. හතරවන ආකාරය ධාන්‍යාකාර ස්තූපයයි. එනම්, ධාන්‍ය ගොඩක ස්වභාවයෙන් යුතු වීමයි. ථූපාරාම ස්තූපය මුල් අවධියේ තිබී ඇත්තේ මෙම හැඩයට බව ෙඓතිහාසික සාධක වේ. කැලණි ස්තූපය දැනට මෙම හැඩයෙන් යුත් එකම ස්තූපයයි. මහින්ද හිමියන් විසින් ශ්‍රී ලංකාවට මෙම හැඩයේ ස්තූප හඳුන්වා දෙන ලද බව ද පැවසේ. ඊට අමතරව උතුරු මැද පළාතේ ඔත්තප්පුවෙන් මෙවැනි දාගැබක නටබුන් සොයාගෙන ඇත. කැබැල්ලෑලෙන, පණික්කන්කුළම යන ස්ථානවල ද මෙම හැඩයේ ස්තූප ඇතැයි සඳහන් වේ.

පද්මාකාර – ධාතු ගර්භය පද්මයක හැඩයෙන් යුතු ස්තූප මේ නමින් හඳුන්වයි. ශ්‍රී ලංකාවේ දැනට මෙවැනි හැඩයේ ස්තූප විරල ය. දැදිගම කොට වෙහෙර කැණීමේ දී මේ හැඩයේ කුඩා ස්තූපයක් ධාතුගර්භයෙන් හමු වී ඇත. පොළොන්නරුවේ දෙමළ මහා සෑය, බුත්තල යුදඟනාව ද මෙම හැඩයට සමීප වේ.

ආමලාකාර – ආමලක හෙවත් ආමලකී යනුවෙන් හැඳින්වෙන්නේ නෙල්ලි ගෙඩියයි. එනම් නෙල්ලි ගෙඩියක හැඩයෙන් යුත් ස්තූපයයි. කුඩා වූව ද බොහෝ ගුණ ඇති සුවිශේෂී ඵලයක් නිසා ද, නැතිනම් වෙනත් විශ්වාසයක් නිසා මෙම හැඩය ආදේශකොට ගත්තේ ද යන්න අපැහැදිලියි. කෙසේ නමුත් මේ හැඩයේ ස්තූපයකට ලංකාවේ නිදසුන් නැත. දෙවැනි අග්බෝ රජු ආමලක චේතිය නම් ස්තූපයක ඡත්‍රය කරවූ බව ථූප වංශයේ සඳහන් වේ.

මෙම ප්‍රධාන හය ආකාර වූ හැඩයන්ට අමතර ව පලාණ්ඩවාකාර – එනම්, ළූණු ගෙඩියක හැඩයෙන් යුත් ස්තූපයයි. නැදිගම්පල ස්තූපය මේ හැඩයේ යැයි සැලකේ.

අණ්ඩාකාර – අණ්ඩ නම් බිත්තරයයි. එනම් බිත්තරයක හැඩයෙන් යුත් ස්තූපකි. මෙම හැඩයේ ස්තූප විරල නමුත් ප්‍රකට ස්තූපයක් ඇත. ඒ මිරිස වැටිය ස්තූපයයි. රුවන්මැලි සෑයෙන් ලැබුණු කරඬුවක මෙවැනි හැඩයේ ධාතු කරඬුවක් හමුවී ඇත. ඉඳිකටු සෑයේ හැඩය ද මේ හැඩයට ආසන්න වේ.

චතුරශ්‍රාකාර – මහායානික ආභාසය ඇතිව නිර්මාණය වූ ස්තූප අතරින් එක් වර්ගයකි. මහායාන රටවල ඇති පැගෝඩා මීට උදාහරණ වේ. ශ්‍රී ලංකාවෙන් හමුවෙන මෙවැනි ස්ථූපයකට හොඳම නිදසුන වන්නේ පොළොන්නරු සමයේ දී මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවූයේ යැයි සැලකෙන සත්මහල් ප්‍රාසාදයයි. එක මත එක පිහිටන්නා වූ ද, එකිනෙකට කුඩා වෙමින් නැඟෙන්නා වූ ද චතුරාස්‍රාකාර මහල් මඟින් මෙම ථූප විශේෂය ගොඩනැඟේ.

අෂ්ටාශ්‍රා කාර – අටපට්ටම් හැඩයේ ස්තූප විශේෂයකි. ශ්‍රී ලංකාවේ මේ ආකාරයේ ථූප පිළිබඳව පැහැදිලි සාධක නැතත් සිදු කර ඇති පර්යේෂණ අනුව අනුරාධපුර ප්‍රාචීනපබ්බත විහාරයේ මේ හැඩයේ ස්තූප නටබුන් සොයාගෙන ඇතැයි සැලැකේ.

සිලිණ්ඩරාකාර - සුලභ ලෙසින් දක්නට නොමැති හැඩයකි. දඹදිව කුසිනාරා නුවර පරිනිර්වාණ ස්තූපය මෙයට නිදසුනකි.