Print this Article


ළදරුවාණනි නමදිමි ඔබ ඔහු තමා...

සිරිමත් එඩ්වින් ආනල්ඩ් ගේ THE LIGHT OF THE ASIA (ආසියාවේ ආලෝකය) ඉංගී‍්‍රසි බසින් ලියැවුණු පළමු බෞද්ධ සාහිත්‍ය නිර්මාණය ඇසුරෙනි 03

ළදරුවාණනි නමදිමි ඔබ ඔහු තමා...

පිළිසිඳ ගැනීමෙන් අනතුරුව නිසි මාස සම්පූර්ණවීමෙන් ලුම්බිණි සල් උයනේ දී සිදුහත් උපත සිදුවූ බව බොහෝ දෙනා දන්නා සිදුවීමකි. විශේෂයෙන් බෞද්ධ දුවා දරුවන් ඉතාම බාල කාලයේ දී මේ අවබෝධය ලැබූවන් වේ.

මෙම සිදුවීම ඉහත කවිය තුළ දී පුඤ්ඤ ශක්තිය පිළිබිඹු වන අයුරින් මෙන් ම අවබෝධය පුළුල් වන ලෙස පැහැදිලි කෙරේ. මාහා මායා දේවියට දරු ප්‍රසූතියේ දී කිසියම් ම හෝ වේදනාවක් දැනෙන්නේ නැත. උපතින්ම කුමරා ගෙනෙන ලද අනුහස්, නායකත්ව ලක්ෂණ කවියා ඉතා අපූරුවට වඩන බවට පත් කිරීම ආස්වාද ජනකය.

“නොකැළැල් සපිරි සිරුරින්නත් පින වන්නේ”

දකින කෙනෙකුට ආදරයක් ගෞරවයක් උපදින ආකාරයේ සිරුරක් සිදුහත් කුමරුට තිබූ බව කවියා පැහැදිලි කරයි. දකින හැමෝට ම නෙතට පි‍්‍රය උපදවන සුළු ය. බුදු දහමේ උගන්වනු ලබන ‘රූපපසන්න’ ගුණය එතුමා ඉතා හොඳින් හැඳින සිටි බවට මෙය හොඳ අවස්ථාවකි.

ලක්ඛණ සූත්‍රයේ දී අප ඉගෙන ගෙන ඇති 32 ක් වූ මහා පුරිෂ ලක්ෂණ කවියා උපතේ දී දිස් වූ අයුරු විස්තර කෙරේ. එය පින්වත් කුමරුවෙකුට ලැබෙන ලාභයකි. ‘පින්වත් දෙතිස් සලකුණු එහි දැක්වෙන්නේ’

උපතේදීම බුද්ධත්වයට අවශ්‍ය දෙතිස් මහා පුරිස ලක්ෂණ මෙන්ම අසූවක් අනූ ව්‍යාඤ්ජන පින්වත් කුමාරයා සතු වූ බව මෙයින් අබෞද්ධ ලෝකයට පවා අවබෝධය සකසා ගත හැකි වේ.

සිදුහත් කුමරුගේ උපත නිසා රජතුමා පමණක් නොව මුළු රාජ්‍යයම පී‍්‍රති ප්‍රමෝදයට පත්විය. එම සිදුවීම් මාලාව කවියා ඉතා සිත් ගන්නා ආකාරයට වර්ණනයට ලක්කිරීම මෙහි ඇති ඉතා සුවිශේෂී අවස්ථාවයි.

දෙව්ලොව බුදු කෙනෙකුන් ගේ - දැන උපතෙහි ඉහළ අගේ

මහ සොම්නස් මනු ලොව ගැන ඇති කරගත්තා. බුදු කෙනෙකුගේ පහළවීම පිළිබඳ මිනිස් ලෝකය මහත් සේ සතුටට පත්වීම මෙහිදී පැහැදිලි කෙරේ. එපමණක් නොව පෙරදිග අධිපති දෙවියන්, කුම්භාණ්ඩ සේනාව සමඟ දකුණෙන් පැමිණි දෙවියන්, නාග පිරිස් සමඟ පෑල දිගින් පැමිණි දෙවියන්, යක් පිරිස සමඟ උතුරු දෙසින් පැමිණි දෙවියන් මේ සියලු සේනා සිදුහත් උපත නිසාම පැමිණි අය වූහ. ඒ බව“රිදී සළු ද, මුතු සැට්ට ද හැඳගත් පිරිවර සමඟින් පෙරදිග අධිපති දෙවියෝ” කවියෙන් පැහැදිලි කෙරේ. කුමරුගේ ආශ්චර්යවත් බව කෙතරම්ද යන්න බලවත් වූ සතරවරම් දෙවියන් කුමරු සහ දේවිය වඩම්මන දෝලාවේ සිව් කොණ දෝලා පොලු ගත් බව සඳහන් වේ.

අයගේ හැඩ රුවින් පැමිණ ඒ දෝලා පොලු ගත්තෝ”

සේවක වෙසින් පැමිණ කුමරුට ගෞරවයක් ලෙස දෝලාව කරට ගැනීමට සතර වරම් දෙවිවරු කටයුතු කළ බව පෙනේ. ඒ තුළම කුමරුගේ ශ්‍රේෂ්ඨත්වය පැහැදිලි ය. මේ සියලු සිදුවීම් එකින් එක කණවැකීම නිසාම තම පුතු පින්වත් දරුවෙකු බවට සුද්ධෝදන රජු කිසිම සැකයකින් තොරව අවබෝධ කරගත්බව කවිය තම කෘතියේදී ඍජුව ප්‍රකාශයට පත්කර ඇත.

“ ඒ මහිමවත් කුමරෙකු බව සැකක් නැත”

කුමරාගේ දුර්ලභ උපත ලෝකයාට ඒත්තු ගැන්වීමට බෞද්ධ ශබ්ද කෝෂයේ ඇති ඉතා වටින වචන කිහිපයක් ආනල්ඩ් මහතා භාවිත කොට ඇත. දෙව්සක් = දිව්‍යචක්‍රය යන්න ඊට කදිම නිදසුනකි. කුමරාගේ උපත නිසාවෙන් ඔද වැඩී ගිය. ශාක්‍ය ජනපදය ඒ වෙනුවෙන් එක්සිත් ව පෙළ ගැසුණි.

මං මාවත් පිස දැමුණේ
මල්හි සුවඳ එහි ඉසුණේ
තුරු මත දැල්වුණු එළි සිළු
අතරේ දද වැලි සැලුණේ

පරිසරය ඊට සූදානම් වූ අයුරු ඉතාම සොඳුරු ලෙස කවියා දැක ඇති බව මෙයින් පෙනේ. පරිසරය පවා මේ උපත මහත් ආශ්චර්යක් කොට සිතන බව මීට වඩා උපමා රූපක අවශ්‍ය නොවේ. එසේම සමාජයේ සෑම තරා තිරමක කෙනෙක්ම මෙම උපතේදී සතුටු වූහ.

“කුමර උපතෙහි පුවත ලද නන් දෙසින් නැව් පෙළ පැමිණියේ”

එසේම විවිධ කලා ශිල්ප මත වීථි අලංකරණයට මග පෑදුණි. විවිධ සැරසිලි ඇඳුම් ආයිත්තම් වලින් බොහෝ දෙන අලංකාර වූහ. මේ සියල්ලටම ප්‍රධානතම හේතුව පින්වත් බෝසත් උපතයි. මේ සියල්ල සමඟින් ම රාජ්‍ය චාරිත්‍ර ධර්ම අනුව කුමරුට සුදුසු නමක් බමුණන් 108කගේ සහභාගිත්වයෙන් තැබීමට තීරණය කළහ. සාමාන්‍ය ලෝකය දන්නා මෙම සිදුවීම ඉතා අරුත්බර සහ සෞන්දර්යෙන් යුතුව කවියට නැඟීම තුළම මෙම ග්‍රන්ථයට මහත් වටිනාකමක් එකතුවූවා යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. ස්වාර්ථි සිÿයි එ කුමරාණන් “සිÿ අත්ථියි නම් තැබූ ඉන්

යහපතක් අර්ථයක් සිදුකරන යන අරුතින් කුමරුට සිද්ධාර්ථ යන නම තැබීය. දෙවියන්, බඹුන් පවා ඉන් පී‍්‍රති ප්‍රමෝදයට පත්ව සාධු කාර දුන්හ. තම ශිෂ්‍යයාගේ කුළුඳුල් පුතු පී‍්‍රතියට අසිත තවුසා

පැමිණෙන්නේ මේ අතර ය. ගුරු භක්තිය මත රජු තම තවුස් ගුරුවරයාට වැන්දවීමට කටයුතු කිරීමේ මහත් අසිරිමත් දෙයක් සිදුවේ. එනම් කුමරුගේ පාදය තවුසා ගේ ජටාවේ වැදීමයි. අනාගතය දකින තවුසා වහා නැඟිට කුමරුට වන්දනා කළහ.

“හා ළදරුවාණනි” නමදිමි ඔබ ඔහු තමා

තවුසා බලාපොරොත්තු වන අනාගත ලෝකය දුකින් මුදාලන උත්තමයා මේ කුමරු බව සැකහැර දැනගනී. තවුසා පළමුව සිනාසී පසුව හඬන්නේ එතෙක් තම ජීවිතය නොපවතින බැවින් පියරජු ගේ පළමු වැඳීම සිදුවන්නේ ද මේ මොහොතේ දී ය. පින්වත් දරුවාගේ උපත පිළිබඳ එහිදී තවුසා ගේ ප්‍රකාශය කවියා ඉතා අලංකාරවත්ව වර්ණනා කිරීම මෙතනදී සුවිශේෂී ය.

සුවහස් ගණන් වසරින් එක් වරක් දුල
මිනිස් වග රුකෙහි සුපිපෙන අනගිමල
මේ වෙයි නුවණ සුවඳත් මෙත් පැණින් සල
එ මලින් ලොවම පුරවා ලයි නුදුරු කල

මහා කල්ප ගණනකට වරක මිනිස් නැමති ගසේ පිපෙන අනර්ඝ මලක් හෙවත් පුෂ්පයකි. මලෙහි තවත් සුවිශේෂී බවක් ඇත. එනම් නුවණ නැමති සුවඳක් , මෛත්‍රිය නමැති මල් පැණිත් ය. අනාගතයේදී මේ මල ලොවම සෞභාග්‍ය කරා ගෙන යන බව ඉතා අව්‍යාජව කවියා අභීත සිතුවිල්ල වචන බවට පෙරළා ඇත.