Print this Article


දබ්බ මල්ලපුත්තතිස්ස මහරහතන් වහන්සේ

දබ්බ මල්ලපුත්තතිස්ස මහරහතන් වහන්සේ

එසේනම් ස්වාමිනි, ඔබ වහන්සේ පෙර පින් බලයෙන් ඉක්මනට රහත් ඵලයට පත්වුණා. අපි ද කෙසේ හෝ උත්සාහ කර සසර දුකෙන් මිදෙන්නෙමු. ඔබ වහන්සේට දැන් අප අතහැර යෑමට අවසර තිබෙනවා

කාශප්‍ය බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන බොහෝ කාලයක් දෙව් මිනිසුන්ට අසිරිමත් යුගයක් වුණා. කාශ්‍යප බුදුරදුන් පිරිනිවී ගොස් ඒ බුදු සසුන පිරිහී යාමට ආසන්න කාලයක දී එක් කුල පුත්‍රයෙක් සසුනේ පැවිදි වුණා. ඔහුත් සමඟ තවත් හය දෙනෙක් එකම සිතින් ඔහු හා පැවිදි වුණා.

ඒ බුද්ධ ශාසනයේ පැවිදි වී සිටි තවත් භික්ෂූන් පිරිසක්, සසුනට අවැඩදායක ලෙස සමහර කටයුතු කරනවා දුටු ඒ සත් තෙරුන් වහන්සේ “තවත් මෙහි වැඩ සිටින්නේ කුමට ද? අපි ඒකාන්තයෙන් ම මේ මහණදම් පූර්ණ කොට දුක කෙළවර කරමුයි” කතිකා කරගෙන හිණිමඟක් බඳවා ඉතා උස් වූ පර්වතයක් මුදුනට නැංගා.

“ජීවත්වීමට කැමැති අය බසිත්වා! පසු නො තැවී අප්‍රමාදි වන්නෝ සිටිත්වා!”

තෙරුන් වහන්සේ නමක් වදාළා. ඉන්පසු සියලුදෙනා ම කතිකා කොට පර්වතයට නැඟ හිණිමඟ පර්වතෙයන් බිමට තල්ලු කළා. පසුව ඒ භික්ෂූන් වහන්සේ තමන්ට කැමැති කැමැති තැන්හි අසුන් ගෙන මහණකම පරිපූර්ණ කර ගැනීමට පටන් ගත්තා. ඒ සත් භික්ෂූන් වහන්සේගෙන් එක් නමක් දින පහකින් රහත් භාවයට පත්වුණා.

උන්වහන්සේ වදාළේ “මාගේ කාර්ය ඉටුවුණා. මම දැන් සෘද්ධියෙන් උතුරුකුරු දිවයිනට ගොස් ඔබ වහන්සේලාට පිණ්ඩපාතය රැගෙන එන්නම්” කියා. එවිට අනෙක් තෙරුන් වහන්සේලා වදාළේ “ පින්වත් ඇවැත්නි, අප හිණිමඟ පහතට දමනවිට කතාකර ගත්තේ නැහැ නේද යමෙක් පළමුව ධර්මය ශාක්ෂාත් කර ගනියි ද, උන්වහන්සේ අනෙක් පිරිසට පිණ්ඩපාතය රැගෙන ආ යුතුයි කියලා”

එවිට රහත් වූ තෙරුන් වහන්සේ වදාළේ “ස්වාමිනි, අප එවැනි එකඟතාවයකට පැමිණියේ නැහැ” කියලයි.

එසේනම් ස්වාමිනි, ඔබ වහන්සේ පෙර පින් බලයෙන් ඉක්මනට රහත්ඵලයට පත්වුණා. අපි ද කෙසේ හෝ උත්සාහ කර සසර දුකෙන් මිදෙන්නමු. ඔබ වහන්සේට දැන් අප අතහැර යෑමට අවසර තිබෙනවා” කියා අනෙක් සය නම වදාළා. රහතන් වහන්සේ පර්වතයෙන් එපිටට වැඩම කළා.

සත්වන දිනයේ දී තවත් එක් නමක් අනාගාමි ඵලයට පත් ව මිනිස් ලොවින් චුත ව, බඹලොව ඉපදුණා. ඉතිරි තෙරුන් වහන්සේ පස් නම කිසිදු මාර්ගඵලයක් නො ලබා මරණයට පත් ව දෙවි, මිනිස් සුගති ලෝකවල ඉපිද පින්දහම් කළා.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන බබළවන කාලයේ මේ පස්දෙනා නැවත මිනිස් ලොව ඉපදුණා. එක් අයෙක් ගන්ධාර රටේ තක්සිලා නුවර රජතුමාට දාව ද, තව අයෙක් බාහිය රටේ සිටු පවුලක ද, තව අයෙක් රජගහනුවර සිටු පවුලක ද , උපන්නා. හතරවැන්නා මජ්ඣන්තික රටේ පරිබ්‍රාජිකාවකගේ කුසේ උපන්නා. පස්වැන්න අනුපිය නුවර එක් මල්ල රජ කෙනෙකුගේ බිසවගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ මව දරු ප්‍රසූතිය ළං වූ අවස්ථාවේ දී කළුරිය කළා. මළ සිරුර සොහොනට ගෙනගොස් දර සෑයට දමා ගිනි තැබුවා. කුස තුළ සිටි දරුවාගේ පුණ්‍ය බලයෙන් උඩට විසි වී තණ පඳුරක් මතට වැටුණා. සොහොනේ සිටි පිරිස ඒ බව දැක දරුවා ගෙන ගොස් දරුවාගේ මිත්තනියට හදාවඩා ගැනීමට දුන්නා. තණ පඳුරට වැටී දිවි බේරුණ බැවින් දරුවාට ”දබ්බ“ යන නම තැබුවා.

දබ්බ කුමරුට සත් අවුරුදු කාලයේ දී අපගේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන මල්ල රටේ චාරිකාවේ හැසිරෙමින් වැඩ අනුපිය අඹ වනයේ විසූ සේක. දබ්බ කුමරු බුදුරජාණන් වහන්සේ දුටු පමණින් පැහැදී පැවිදිවනු කැමැති “මම දසබලයන් වහන්සේගේ ශාසනයේ පැවිදි වන්න ද?” කියා මිත්තනියගෙන් විමසුවා. ඊට කැමැති වූ මිත්තනිය කුමරු ශාස්තෘන් වහන්සේ අසලට රැගෙන ගොස් “ස්වාමිනි, මේ මගේ මුණුපුරා පැවිදි කළ මැනව යි“ කීවා. ශාස්තෘන් වහන්සේ එක් භික්ෂූන් වහන්සේ නමක් අමතා “ පින්වත් භික්ෂුව, මේ දරුවා පැවිදි කරන්න” යැයි වදාළා. ඒ තෙරුන් වහන්සේ ශාස්තෘන් වහන්සේගේ වචනයට අනුව කුමරු පැවිදි කිරීමට පළමු කෙස් වැටිය කපද්දී ම පෙර පින් ඇති, කරන ලද ප්‍රාර්ථනා ඇති, තච පංචක කමටහන වැඩූ ඒ කුමරු සෝවාන් ඵලයට පත්වුණා. දෙවැනි කෙස් වැටිය කපද්දී සකෘදාගාමි ඵලයෙහි ද, තෙවැනි කෙස් වැටිය කපද්දී අනාගාමි ඵලයෙහි ද පිහිටි ඒ කුමරුට සියලු කෙස් ගා දමද්දී රහත් බවට පත්වීම පෙර පසු නොවී එකට ම සිදුවුණා.

ශාස්තෘන් වහන්සේ මල්ල රටේ වැඩ සිට නැවත රජගහ නුවරට වැඩමවා වේළුවනාරාමයේ වැඩ සිටි සේක. එක් දිනක් ආයුෂ්මත් දබ්බ මල්ලපුත්‍ර තෙරුණුවෝ “මට විවේක තිබෙන අවස්ථාවක මම සංඝයා උදෙසා වතාවත් කිරීමට කැමැත්තෙමි. සංඝයා වහන්සේට සෙනසුන් පැනවීම කරන්නෙමි” සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ඒ බව දන්වා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ සාධුකර දී එය අනුමත කොට “මේ දබ්බ ළදරු වයසේ සිටිය ද මහත් වූ ඥාණවන්තයෙක්” යි සිතා එදින ම උපසම්පදාව ද සිදු කළා. උන්වහන්සේ රජගහනුවර වසන සියලු භික්ෂූන් වහන්සේලාට සේනාසන පනවන සේක! සඟ බත නියම කරන සේක! සේනාසන පනවන සේක! කියා සෑම දිසාවක ම ප්‍රකට වුණා. දබ්බ මල්ලපුත්ත තෙරණුවෝ සමාන අදහස් ඇති භික්ෂූන් වහන්සේට එකතැන අසුන් පනවනවා. සමීපව ද, දුරින් ද සෙනසුන් පනවනවා. ඇවිදීමට අපහසු භික්ෂූන් වහන්සේ සෘද්ධියෙන් රැගෙන යනවා. කල්යත්ම භික්ෂූන් වහන්සේලා “ඇවැත්නි අපට ජීවක අඹ වනයේ අසුන් පනවන්න. අපට මද්දකුච්ඡි නම් වූ මිගදායේ අසුන් පනවන්න’ ආදී වශයෙන් සෙනසුන් නියම කරවාගෙන උන්වහන්සේගේ සෘද්ධිය දකින්නට කැමැති වෙනවා.

උන්වහන්සේ සෘද්ධියෙන් මනෝමය කයක් මවා එක් එක් තෙරුන් වහන්සේට තමා සමාන වූ ම භික්ෂුව බැගින් දී ඇඟිල්ල දැල්වෙන එළියෙන් ඔවුනට පෙරටුව ගොස් “මේ ඇඳකි. මේ පුටුවකි” ආදී වශයෙන් පවසා සෙනසුන් පනවා දී නැවත තමන් වහන්සේ වැඩ වසන ස්ථානයට පැමිණෙයි. පසුකලෙක මේ තෙරුන් වහන්සේගේ අසහාය හැකියාව දුටු භාග්‍යවතුන් වහන්සේ ආර්යන් වහන්සේලා මැද සිටි දබ්බ මල්ල තෙරුන් සෙනසුන් පනවන භික්ෂූන් අතර අගතනතුරෙහි තැබූ සේක. “ මහණෙනි, මගේ ශ්‍රාවක වූ සෙනසුන් පනවන භික්ෂූන් අතරින් මේ දබ්බමල්ල පුත්‍ර තෙරණුවෝ ම අග්‍ර වෙති” වදාළා.

”දබ්බ තෙරුන් වහන්සේ තමන්ගේ සසර ගැන මෙසේ වදාළා. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මම පැවිදි වී සිටියා.

එක් දිනක් ඒ බුදුරජාණන් වහන්සේ පිනිරිනිවන් පා වදාළා. දහම් ඇස නිවුණා. පිළිවෙත් පුරන ශ්‍රාවකයන් අඩුවුණා. සසුන පිරිහෙන කරුණු දැක සංවේගයට පත් වූ භික්ෂූන් සත් නමක් වූ අප මෙසේ සිතුවා.

සසුනෙන් තොර වූ අපගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද? අපි මහ වනයට පිවිස බුදු සසුනෙහි යෙදෙන්නෙමු. කතිකාකොට මහ වනයේ උස් වූ පර්වතයකට හිණිමගක් බැඳ නැංගා. අසුව ඒ හිණිමඟ බිමට තල්ලු කළා. බුද්ධෝත්පාදය ඉතා දුර්ලභයි. දුර්ලභ වූ ශ්‍රද්ධාව ලබන ලද අපට බුදු සසුන ද මඳ වශයෙන් හෝ ඉතිරි කාලයේ මුණ ගැසුණා. මේ උතුම් මොහොත ඉක්මවා ගියත් අනන්ත වූ දුක් සයුරෙහි ගිලීමට සිදුවේ. එනිසා බුදු සසුන පවතින මොහොතෙහි ඉන් ප්‍රයෝජන ගත යුතුයි කියා අප අපට ම අවවාද කර ගත්තා. ඒ තෙරුණුවෝ නො පමාව රහත් වුණා.

ඒ අනුව ගිය දෙවැන්නා අනාගාමි වූ අතර, ඔවුන් හා එක්ව සිටි සිල්වත් වූ අප දෙව්ලොව ඉපදුණා. අනාගාමි වූ භික්ෂුව සුද්ධාවාසයේ දී ම හුදකලාව පිරිනිවී ගියා. මම ද, පුක්කුසාති ද, සභිය ද, බාහිය ද, කුමාරකස්සප ද මේ සසුනේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ලබා සසර බැඳුමෙන් මිදුණා.