Print this Article


සුගතියට මඟ කියන සත්පුරුෂ ඇසුර

සුගතියට මඟ කියන සත්පුරුෂ ඇසුර

සමාජය ගොඩනැඟී ඇත්තේ මිනිසුන්ගෙනි. මිනිසුන් නැති තැන සමාජයක් ද නැත. ඔවුහු විවිධ අදහස් උදහස් ඇති අය වෙති. හඳුනා ගැනීම අපහසු ය.

කලක් ඇසුරු කළත් හඳුනා ගැනීම ඉතා ම අපහසු ය. සතා සිව්පාවා හඳුනා ගැනීම පහසුවුවත් මිනිසා හඳුනා ගැනීම ඉතාම අපහසු කරුණකි. බුදු දහමෙන් පෝෂණය ලැබූ සැදැහැවතාට මොහු මෙබඳු යැයි හඳුනා ගැනීම එ තරම් අසීරු කරුණක් නො වේ. හේතුව ඔහු දහම් අසන, දහම් සාකච්ඡා කරන, දහම් පොතපත කියවන, තුණුරුවන් නිබඳ ඇසුරු කරන කෙනෙකු වන බැවිනි.

බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ හා අසත්පුරුෂ වශයෙන් මිනිසුන් ඇති බව පෙන්වා දී ඇත. අංගුත්තර නිකායේ ‘සත්පුරුෂ සූත්‍රයේ” බුදු හිමියෝ සත්පුරුෂයා හා අසත්පුරුෂයා කවරෙක්දැයි පෙන්වා දී ඇත. අසත්පුරුෂයාට, අසත්පුරුෂයකු දැක මොහු අසත්පුරුෂයෙකු යැයි කියා හඳුනාගත නො හැකි ය. සත්පුරුෂයෙකු දැක මොහු සත්පුරුෂයෙකු යැයි කියා ද හඳුනාගත නො හැකි ය. නමුත් සත්පුරුෂයාට අසත්පුරුෂයා හා සත්පුරුෂයා හඳුනාගත හැකි ය. හේතුව ඔහු සත්පුරුෂ හැම ගුණයකින් ම යුක්ත වූවකු වීම නිසයි.

යම් පුද්ගලයෙකු සත්පුරුෂ භාවයට පැමිණ ඇත්නම්, ඔහු පැමිණ ඇත්තේ අහම්බෙකින් නොව, ඔහු හැදුණ වැඩුණ යහපත් සමාජ පසුබිම මතයි. දැහැමි දෙමව්පියන්, දැහැමි ගුරුවරු, දැහැමි වැඩිහිටියන්, භික්ෂූන් වහන්සේලාගෙන් ලැබුණ පූර්වාදර්ශ, අවවදා අනුශාසනා නිසයි. ඔවුහු නිසි පන්සිල්, දස සිල්, දස කුසල් සිදු කරමින් තුනුරුවන් හැර අන් පිහිටක්, අන් සරණක් නැත. ජීවිතාන්තය දක්වා තුනුරුවන් සරණ යමි. යන පසුබිම මත පිහිටා කටයුතු කරන බැවින්, තමා අනුගාමිකයන් ද පවෙන් වැළකී පිනට නැඹුරු වී කටයුතු කිරීමට පුරුදු වෙති. එනිසා මේ දෙ පිරිස ම සත්පුරුෂයාට සුදුසුකම් ලැබුවෝ වෙති. කල්‍යාණ මිත්‍රයෝ ද වෙති.

කළගුණ දැක්වීම සත්පුරුෂ ලක්ෂණයකි. බෝසතාණන් වහන්සේ බුදු පදවි ලබා ඇසතු වෘක්ෂයට අනිමිස ලෝචන පූජාව පැවැත්වීම සත්පුරුෂ ගුණය ඉස්මතු කර පෙන්වන අවස්ථාවකි. සත්පුුරුෂයා ආත්මාර්ථකාමිත්වයෙන් මිදී පරාර්ථය සඳහා කටයුතු කරන කෙනෙකි. ඇළ, දොළ, ගංගා ජලයත්, ඵලින් බර වෘක්ෂලතාවෝත් අන්‍යයන්ට පිහිටවන්නේ යම් සේ ද, සත්පුරුෂයාත් එසේ පිහිට වෙති.

වරක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා කරුණු හතක් පෙන්වා දෙමින්, මහණෙනි, මේ කරුණු හත යමෙක් පිළිපදියි නම්, තව්තිසා දෙව්ලොව දෙවියන් ඔහු සත්පුරුෂයා වශයෙන් හඳුන්වන බවත්, එය හරියට පිළිපැදීමෙන් ශක්‍ර බවට ද පත්විය හැකි බවත් වදාළහ. ඒ කරුණු හත මෙසේ ය.

ජීවිතාන්තය දක්වා මව්පියන් පෝෂණය කිරීම, කුල දෙටුවන් පිදීම, මුදු මොළොක් වදනින් කතා කිරීම, කේළම් නො කීම, මසුරුකම දුරලා පරිත්‍යාගශීලීව දන්දීමේ නිරත වීම, හැම විටම සත්‍ය වචන කීම, ක්‍රෝධ නො කර සිටීම වශයෙනි.

තවත් දිනක දේවතාවෝ හය දෙනෙක් බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණිහ. මේ හය දෙනා සත්පුරුෂයා ඇසුරු කිරීමේ තමන් වෙන ම දරන කරුණු හයක් බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කළහ. මේ කරුණු හයෙන් කාගේ කියමන ද වඩා හොඳ කියා විසීය. එම කරුණු හය නම් දියුණුවක් මිස පිරිහීමක් නොවේ, නුවණ ලැබේ, ශෝකයට හේතුවන කාරණා මැද ශෝක නො කෙරේ, ඥාති මැද බැබළේ, බොහෝ කල් සුවසේ වෙසේ, සුගතියට යයි.

බුදුරජාණන් වහන්සේ ඒ කරුණු හයම හොඳ බවත්, සත්පුරුෂයින් ඇසුරු කිරීමෙන් සියලු දුකෙන් මිදීමට හේතු වන බවත්, වදාළහ. ධනයෙන්, බලයෙන්, තරුණකමෙන්, ශක්තියෙන් සත්පුරුෂයා මත් වී කිසිදා කටයුතු නො කරයි. එය සමාජ යහ පැවැත්ම සඳහා යොදවමින් කටයුතු කරයි. සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන් රඳා පවතින්නේ සත්පුරුෂයින් නිසා යැයි වරක් බුදුහිමි දේශනා කළහ. සත්පුරුෂයා ඒ තරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බව උන්වහන්සේගේ ගෞරවයටත්, පැසසුමටත් පාත්‍ර වී ඇත.

සමාජයේ සත්පුරුෂයින් මෙන් අසත්පුරුෂයන් ද සිටිති. ඔහු ජීවිත් වන සමාජය වටපිටාව අයහපත් බැවින්, ඔවුන්ගේ ජීවිත ද අයහපත් ය. අභාග්‍ය සම්පන්න ය. ඔවුහු මිථ්‍යා දෘෂ්ටික වේ. පින් පව් විශ්වාස නො කරති. කර්මය, කර්ම ඵලය විශ්වාස නො කරති. තුණුරුවන් විශ්වාස නො කරති. එනිසා ඔහු අශ්‍රද්ධාවන්ත පුද්ගලයෙකි. පස් පව්, දස අකුසල් කරති. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ඡ කුකුච්ඡ, විචිකිච්ඡා පංචනීවරණ ධර්මයන්ගේ කිලිටි වී ඇත. ගුරු දෙගුරු, වැඩිහිටියන් නො සලකමින් ජීවත් වෙති. ඔහු ඇසුරු කරන්නෝ ද එබන්දෝ බැවින්, ඔවුහු ද අසත්පුරුෂයෝ ම ය.

මෙබදු පුද්ගලයින්ට කොතෙක් උපකාර කළත් ගුණ නො හඳුනයි. උපකාර කළ පුද්ගලයා දෝෂ දර්ශනයට ලක් කරයි. කන්න දුන් අත සපා කන්නේ, සෙවණ ලබාදුන්නු ගස්වල අතු, ඉති කපා දමන්නේ මෙබඳු අසත්පුරුෂ ලක්ෂණ ඇත්තෝ ම ය.

නයි, පොළඟුන්ගේ විෂ දළ අගත්, මැසි මදුරුවන්ගේ විෂ තුඩ ගත්, ගෝනුසුන්ගේ විෂ වලිගයෙත් ඇත. නපුරු දුදනන්ගේ විෂ සිරුර පුරාම ඇත. දෂ්ඨ කළොත් බෙහෙත් හේත් හොයා ගැනීම අපහසු ය. එනිසා අසත්පුරුෂ ඇසුරෙන් වැළකී සිටීමට හැම විට උත්සහ ගත යුතුව ඇත. බුදු, පසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලා ඔබෙත්, අපෙත් උතුම් සත්පුරුෂයින් වහන්සේලා ම ය. මේ ලෝකය “දුක මත” පිහිටා ඇති බවත්, ඒ දුකෙන් අත මිදීමට නම්, සියලු පාපයන්ගෙන් අත මිදී පින් දහම් කරගත යුතු බවත්, ශීල, සමාධි, භාවනාවන්ගෙන් සිත පිරිසුදු කරගෙන නිවන පසක් කරගත යුතු බව පෙන්වා වදාළ බැවින්, මේ උතුමන් ඔබෙත්, අපෙත් උතුම් සත්පුරුෂයින් වහන්සේලා ම ය.

තුණුරුවන් අදහන වඳින පුදන අප හැමගේ එකම ප්‍රාර්ථනාව මේ පුණ්‍ය මහිමයෙන් නිවන් දක්නා තුරු අසත්පුරුෂ බාලයන් ඇසුරු කරන්න නො ලැබේවා. සත්පුරුෂ, පණ්ඩිතයින් ඇසුරු කරන්න ලැබේවා. නිවන් පිණිස ද හේතු වාසනා වේවා යනුයි.