Print this Article


ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා

ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා

මෙම ලිපියේ මුල් කොටස ඇසළ පුර පසළොස්වක පෝදා පුවත්පතේ පළවිය.

ඡත්ත මානවකගේ ආදාහන කටයුතු කරන මොහොතේ දී ධනවත් සිටු පවුල්වලින්, අවට ප්‍රදේශවාසීන්ගෙනුත් ආදාහන භූමිය පිරී තිබුණා. මහා කරුණා ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ මහා පිරිස අතරට වැඩම කොට වදාළා.

ඒ අවස්ථාවේ දී එක වරම අහසින් මහත් වූ ආලෝකයක් මතුවුණා. විශාල දිව්‍යමය ප්‍රාසාදයක් ඉදිරියේ දිව්‍ය පිරිවර පෙරටුව ආනුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයෙක් පෙනී සිටියා. ඔහු පොළොවට බැස සම්බුදු සිරිපා වන්දනා කළා. ඒ ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා.

රැස්ව සිටි පිරිස කෙරෙහි අනුකම්පා කළ අපගේ බුදුරජාණන් වහන්සේ ඡත්ත දිව්‍ය පුත්‍රයාගෙන් මෙසේ විමසා සිටියා.

මේ දිව්‍ය විමානය අහසෙහි බබළන හැටි බැලුවාම හිරු මඬලවත් මෙ තරම් බබළන්නේ නැහැ. සඳ මඬලවත් මෙ තරම් බබළන්නේ නැහැ. ප්‍රභාෂ්වරයි. සුවිශාල යි. දෙව්ලොවින් මෙලොවට පැමිණි ඔබ කවුද?

ඒ විමානයෙන් විහිදෙන ආලෝක හිරු රැස් පරදවනවා. යොදුන් විස්සක් පමණ දුරට රැස් විහිදෙනවා. දවල් කාලයේ වගේ ම රැයටත් රැස් විහිදෙනවා. ඒ විමානය පිරිසුදුයි. නිර්මලයි. සුන්දරයි. විචිත්‍ර වූ සුදු නෙළුම්, රතු නෙළුම්, වගේ බොහෝ නෙළුම් තිබෙනවා. නොයෙක් වර්ගයේ මල් පිරිලා තිබෙනවා. නොයෙක් විසිතුරු කැටයම් ඇති, ඉතා පිරිසුදු, රනින් සෑදූ දැල් ඒ විමානයට තිබෙනවා. අගිල්, පුවඟු, සඳුන් සුවඳින් යුක්තයි. රන්වන් පාටින් බබළන දිව්‍ය අප්සරාවන් පිරුණ මේ විමානය පෙනෙන්නේ තාරකා පිරිවරාගත් ගගන තලය වගේ.

මෙහි දිව්‍යාංගනාවන්, දෙවියන් එක් එක් පැහැයෙන් යුක්තයි. මල්වලින්, දිව්‍ය ආභරණවලින් සැරසිලා. සතුටු සිතින් ඉන්නේ. මේ පුණ්‍ය විපාකය ලැබුණේ මොනවගේ සංවරකමක්, දමනය වීමක් නිසා ද? මෙහි ඔබ උපන්නේ මොනවගේ පුණ්‍ය විපාකයකින් ද? මේ විමානය ඔබට ලැබුණේ කොයි ආකාරයට ද?

ඒ ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙබඳු පිළිතුරක් ලබා දුන්නා.

”එක්තරා මානවකයෙක් මහමඟ යමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඔහුට මුණ ගැසුණා. අනුශාසනා කළා. ඒ මහානීය රත්නය වන ඔබ වහන්සේගේ ධර්ම රත්නය අසා, ඒ ආකාරයටම පිළිපදිනවා කියලා ඒ ඡත්ත මානවක කිව්වා.

ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, පරමෝත්තම ඔබ වහන්සේ වදාළ ආකාරයට මම බුද්ධ, ධම්ම, සංඝ රත්නයන් සරණ ගියා. පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්දා. සොර මුලට හසු වූ මම මරණයට පත්වුණා. පිනක් ලෙස මම කරගත්තේ එපමණයි. එයින් බැහැරට මට වෙන පිනක් තිබුණේ නැහැ. ඒ සුචරිත කර්මයේ විපාක වශයෙන් මම කැමැති සැප ඇති තව්තිසාවේ ඉපදුණා.

සුළු දේශනාවක අසිරිය බලන්න. මම සුගතියට ගියා. සැපත් ලැබුවා. එහෙම එකේ යම් කෙනෙක් නිතර නිතර ධර්මය ඇසුවොත් නම් ඒ අය දුක්, බිය රහිත අමා නිවනට පැමිණේවි කියලයි මට හිතෙන්නේ.

තථාගතයන් වහන්සේගේ ධර්මයෙහි පිහිටා සුළු දෙයක් කළත්, මහා පුණ්‍ය විපාක ලැබෙනවා. විපුලඵල ලැබෙනවා. පින් කරගත් ඡත්ත මානවක දෙස බලන්න. හිරු මඬල අහසේ බබළනවා වගේ මම දෙව්ලොව බැබළෙනවා.

ශාස්තෘන් වහන්සේ මට බොහෝම උපකාර කොට වදාළා. අනුකම්පා කොට වදාළා. මහ මද්දහනේ මම සිටි තැනට වැඩමවා වදාළා. ඒ බුදුරදුුන් කරා මම පැමිණුනා. මට අනුකම්පා කරන සේක්වා! ආයෙමත් මම බණ අසන්නම් කියා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළ ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා නො පෙනී ගියා.