Print this Article


ආර්ය ශ්‍රාවක ජීවන ප්‍රතිපදාව

ආර්ය ශ්‍රාවක ජීවන ප්‍රතිපදාව

මෙම ලිපියේ මුල් කොටස ඇසළ පුර පසළොස්වක (ජූලි 04) පත්‍රයේ පළවිය.

කොපමණ සැප සම්පත්, භවභෝග මත ජීවත් වන කෙනෙක් වුවත් හැම මොහොතක ම ඔහුට දුක ශෝකය එක්වන අවස්ථා බොහොම යි. ඒ සැප යි කියන සියල්ලක් නැතිව ගොස් නැවත මොහොතක් දුක් කම්කටොලු ඇති වන සංසාරික ජීවිතයක් තමා අප ගත කරමින් ඉන්නේ.

සසර දිගු වන්නේ ඇයි ?

බුදුරජාණන් වහන්සේ මේ දුක මූලික වශයෙන් පැතිකඩ හතරක් ඔස්සේ පැහැදිලි කරනවා. ජාති, ජරා, ව්‍යාධි හා මරණ කියලා. ඉතින් තවදුරටත් ජිවිතයේ හැමවිටම අත්විඳීන ශෝක, පරිදෙව,දුන්ඛ, දෝමනස්ස ආදි වශයෙන් සංකිර්ණ වූ දුක පිළිබඳ අත්දැකීම් රැසකට මොහොතක් පාසා මුහුණ දෙමිනු යි අපි ජීවත් වන්නේ. ඊ ළඟට ඒ දුකට හේතුවන කාරණය ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දීලා තිබෙන්නේ පුනර්භවය යි. නැවත ඉපදීම යි. ඒ නිසයි ඒ දුක විඳීන්නේ. ඒ පුනර්භවය ඇති කරන්නේ ඇලීම හෙවත් නන්දිරාගය යි. ඒ නන්දිරාගය කාම, භව හා විභව වශයෙන් කොටස් වෙනවා.

දුක අපි‍්‍රය කිරීම

ඊ ළඟට ඒ දුක නැති කිරීමේ අවශ්‍යතාව ඇති වන්නේ දුක අප්‍රිය කරන නිස යි. එයින් සදාකාලික විමුක්තිය නැති කිරීම අප කවුරුත් නිරතුරුව අපේක්ෂා කරනවා. ඒ කියන අවස්ථාව සතර වන ආර්ය සත්‍යය හෙවත් දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව එහෙමත් නැති නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එය අවබෝධ කර ගැනිමේ ශක්තිය ඇති කර ගත යුතු වෙනවා. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයේ ඒ වනවිට තවත් කෙනෙක් අවබෝධ කර නො ගත් මේ සතරවන ආර්ය සත්‍යය හෙවත් දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය අවබෝධ කර ගත් අවස්ථාවේ තමා පළමු උදානය වූ ”අනෙකජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං.......” යනාදි වාක්‍යය ප්‍රකාශ කළේ. ඉතින් ඒ දුක සහමුලින් නැති කරන මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. මොකක් ද?

අප කාටත් හුරු පුරුදු සම්මා දිට්ඨි, සමමා සංකප්ප, සම්මා වාචා, කම්මමන්ත, සම්මා ආජීව, සමමා වායාම, සම්මා සති, සම්මා සමාධි ඒ අට යි.

බලාපොරොත්තු

බෞද්ධයන් වශයෙන් අප නිරන්තරයෙන් ම දාන, ශීල, භාවනා දි විවිධ පින්කම් කරනවා. අටමහා කුසල් කියලා තවත් සුවිශේෂ පින්කම් කරනවා. ඒ අතර ජිවදාන පින්කම් කියලා වස්වයස් ගත වී මහලු වෙන කොට ඒ පින්කම් කරනවා. අවුරුදු පතා එක වරක් පමණක් කියලා හිතන කඨින පින්කම් කරනවා. තවත් කී නොකී විවිධ ප්‍රමාණයේ අනුසස් ලැබෙතැයි සිතන පින්කම්වල යෙදෙනවා.

ඉතින් ඒ එක් එක් පින්කමට සුවිශේෂ වූ විවිධ ආනිසංස ගැනත් හිතලා පින්කම් කරනවා. මේ හැම එකක් ම අවසානයේ හැටියට බෞද්ධයන් වශයෙන් අපේ හිතට නඟා ගන්නේ මේ නිරන්තර ඉපදෙන මැරෙන දුක් සහිත සසරින් එතර වී සදාකාලික විමුක්තිය ලෙස බුදුදහමේ ඉගැන්වෙන නිර්වාණාවබෝධය ලබා ගැනීම යි.

උතුම් ජීවන ප්‍රතිපදාවක්

එසේ නම් එදා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ ඒ නිර්වාණාවබෝධය පිණිස ඇති එක ම මාර්ගය වන්නේ මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව සපුරා ගැනිම යි. ඉතින් දැන් එහෙම නම් බෞද්ධයාගේ දෛනික ජිවිතය සකස් විය යුත්තේ මේ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් , ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව විය යුතු වෙනවා. ඒ තත්වය ඉක්මන් කර ගැනීමේ අරමුණෙන් අපි මුලින් කී විවිධාකාර පින්කම් සිදුකළත් දවසේ පැය විසිහතරට ම අදාළ කර ගතයුතු වන්නේත් මේ මාර්ග අංග අට යි. එතකොට එය ජිවන ප්‍රතිපදාවක් විය යුතු වෙනවා. බෞද්ධයා කියලා කියන්නේ ඒ මාර්ග අංග අට අනුව තම ජීවිතය පෙළගස්වා ගන්නා පුද්ගලයා යි.