Print this Article


නොකළ යුතු හිස් කථා හා කළ යුතු යහපත් කථා

නොකළ යුතු හිස් කථා හා කළ යුතු යහපත් කථා

බුදුරදුන් විසින් තහනම් කර ඇති දෙතිස් කතා පිළිබඳ ඇසළ පුන් පොහෝදා පුවත් පතෙහි පළවිය. එම කී සියලු කථාවන් භික්ෂුවකට නම් ඍජුව ම නුසුදුසු වේ.

ගිහි ඇත්තන්ට ද සුදුසු නොවන්නේ එමගින් පින් සිතිවිලි පහළ නොවන නිසා ය.

එම දෙතිස් කථා නොකළ යුතු නම්, කළ යුතු කථා මොනවා දැයි ප්‍රශ්නයක් මතුවේ. ඒ සඳහා පිළිතුරු වදාරණ බුදුරජාණන් වහන්සේ පිරිසක් එකතු වූ තැනකදී තමා වඩන භාවනාවට සිත යොමු කොට නිහඬ වීම හෝ දසකථාවන් සිදු කිරීම අනුදැන වදාළහ. කර්මස්ථානය නොවඩා නොයෙක් කල්පනාවන්ට වැටී නිහඬ වීම අනුමත නොකරන බුදුරදුන් දස කථා හඳුන්වා දී ඇත්තේ කථා කරන ඇත්තන්ගේ යහපත උදෙසා ය.

අප්පිච්ඡ කථා යනු දසකථා අතර පළමු වැන්න යි. බොහෝ දේ බලාපොරොත්තු නොවීම, යැපෙන පමණට ආහාර ඇඳුම් ආදී අවශ්‍යතා සෙවීම පිළිබඳ කථාව එනමින් දක්වා ඇත.

සන්තුට්ඨි කථා යනු ලද දෙයින් සතුටු වීම ගැන කෙරෙන කථාව යි. පවිවෙක කථා යනු කාය විවේකය-චිත්ත හා උපධි විවේකය ගැන කෙරෙන සාකච්ඡාව යි.

අසංසග්ග කථා යනු පැවිද්දෙක් නම් ගිහියන් හා පමණ , වේලාව ඉක්මවා කථා නොකර පමණ දැන කථා කිරීම පිළිබඳවද එහි ආනිසංසයන් ද ගැන කෙරෙන කථාව යි.

විරියාරම්භ කථා යනු කෙලෙස් තැවීමේ වීර්යය ගැන කෙරෙන කථාව යි. එමගින් නූපන් වීර්යය වැඩෙන අතර උපන් වීර්යය දියුණු වේ. බෝසතාණන් වහන්සේගේ චරිතාපදානය හෝ බුද්ධ චරිතය, රහත් චරිත ආදර්ශයට ගෙන කරුණු දක්වා එකී අප්පිච්ඡ කථා ආදිය සිදු කිරීම යෝග්‍ය ද වේ. කුමන ආකාරයකින් හෝ එකී අප්පිච්ඡ කථා ආදිය සිදු කිරීම අවශ්‍ය ම වේ.

සීල කථාව දසකථා වලින් පස්වැන්න යි. සිල් රැකිය යුතු ක්‍රමය, බිඳෙන විට යළි සමාදන් වන හෝ පිරිසිදු වන ආකාරය, සීලය නිසා මෙ‍ලොවට පරලොවට ලැබෙන ආනිසංස යනාදිය සාකච්ඡා කිරීම සීල කථාව යි. එවන් කථාවක් සිදුකරන හෝ අසා සිටින අයෙකුට පිහිටි සීලය ශක්තිමත් කර ගැනීමට හා නොපිහිටි සීලයන්හි පිහිටීමට සිත් පහළ වේ නම් එබඳු ගණයේ කථා ‘සීල කථා’ නම් වේ. සමාධි කථා යනු උපචාර අර්පණා සමාධි වැඩීම පිළිබද කථාව යි. සමාධියට පලිබෝධ හඳුනා ගැනීම හා මඟහරවා ගැනීම, සමාධිය පිළිබඳ සංචවිධ වශීතා, අභිඤ්ඤා උපදවා ගැනීම ආදී සමාධියට සම්බන්ධ කුදු මහත් කරුණු සාකච්ඡා කිරීම සමාධි කථා තුළ සිදුවේ.

ප්‍රඥා කථා යනු සෝවාන් ආදී සතර මාර්ගයන් ගැන කථා කිරීම යි. එහිදී පූර්වළභාග විදර්ශනාව හෙවත් ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේ භාවනා පටිපාටිය ගැන ද සාකච්ඡා වේ.

එමෙන්ම විදර්ශනා භාවනාවේදී හමුවන දස වැදෑරුම් උපක්ලේෂ ධර්ම හඳුනා ගැනීම ද ඒවා ජය ගැනීම සදහා පිළිපැදිය යුතු උපදෙස් ගැන ද කථා කෙරේ. විමුත්ති කථාවෙන් සිදුවන්නේ ලෝකෝත්තර සතර ඵලයන් ගැන සාකච්ඡා වීමයි. විමුත්ති ඤාණදස්සන කථාවෙන් සිදු වන්නේ දහනවයක් (19) වූ ප්‍රත්‍යවේක්ෂාඤාණ ගැන කථා කිරීම යි. එනම් මාර්ගය , ඵලය, ප්‍රහාණය වූ කෙලෙස්, ප්‍රහාණය කළ යුතු කෙලෙස් හා නිවන යන කරුණු පංචකය අරභයා ඒ ඒ මාර්ගඵල වශයෙන් පහළ වන්නා වූ අවබෝධාත්මක ඤාණදර්ශනයේ අවස්ථා දහ නවය ගැන කථා කිරීම යි. මෙකී කරුණු දහය ගැන හෝ කිහිපයක් ගැන කථා කිරීම මගින් ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව, සීලය, ධර්ම ඤාණය, සමාධිය, ප්‍රඥාව ඍජුව ම දියුණු වන බව කිව යුතු ය. එනිසාම බුදුරජාණන් වහන්සේ එකී දස කථා සිදු කිරීම සදහා ශ්‍රාවකයන් දිරිමත් කළහ.

උතුම් සම්බුදු මග අනුව යන ශ්‍රාවකයා විසින් නොකළ යුතු හිස් කථාවන් හා කළ යුතු යහපත් කථාවන් හඳුනා ගත යුතු ය. බුදු මග හැර විමුක්තිය පිණිස අන් මාවතක් නොමැති නිසා එකී ඉගැන්වීම් අකුරටම පිළිපැද වචනය ආරක්ෂා කර ගනිමින් සම්මා වාචාව පුරුදු කළ යුතු ය.

ගොලුවෙක් නොවී කථා කිරීමේ හැකියාව ලද මොහොතේ ලාමක දේ කීම සඳහා වචන බිනීමක් නොකර, වටිනා අදහස් හුවමාරු කර ගැනීම හෙවත් දස කථා කිරීම සදහා පමණක් කථා කිරීමේ හැකියාව යොදා ගනිත්වා!