Print this Article


අවිවේකී ජීවිතය කෙලෙස් වැඩීමට තෝතැන්නකි

අවිවේකී ජීවිතය කෙලෙස් වැඩීමට තෝතැන්නකි

" වර්තමාන මිනිසා ද්‍රව්‍ය එක්රැස් කිරීමේ තරගයේ නිරත ව සිටී. එයින් ඔහු හෝ ඇය කෙතෙක් අවිවේක වී ඇත්ද යනු තම ආහාරය පවා අනුභව කිරීමට අවශ්‍ය විවේකය අහිමි කරගෙන තිබේ. එයට සාපේක්‍ෂ වශයෙන් ආතතිය, අසහනය, කළකිරීම, නින්ද නොයාම ආදී මනසික පීඩාවන්ට ද වර්තමාන මිනිසා ගොදුරු වී සිටී.'

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා, රජු හා රාජ්‍ය අමාත්‍යවරු, මෙන්ම අන්‍යතීර්ථක නායකයන් හා ශ්‍රාවකයන්ගේ ඇසුර ද ලබමින් කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි අවිවේකී ව වාසය කළහ. එසේ පිරිස හා එක්ව වාසය කරන භාග්‍යවතුන් වහන්සේට විවේකය නොමැති වීමෙන් මහත් අපහසුවක් ඇතිවිය.

ඉක්බිති උන්වහන්සේ පිරිසෙන් වෙන්ව හුදකලාව වාසය කිරීම පහසුයැයි අදහස් කොට කිසිවකුටත් නොදන්වා පාරිලෙය්‍යක වනයෙහි රක්‍ෂිත නම් වන ලැහැබෙහි පිහිටි සල් රුකක් මුලට වැඩම කොට එහි වැඩ සිටියහ.

එම වනයෙහි වාසය කළ එක්තරා ඇතෙක් ද රංචුව හා එක්ව වාසය කිරීම දුක් සහිත යැයි අවබෝධ කරගෙන බුදුරදුන් වැඩ සිටි වන ලැහැබට පැමිණ උන්වහන්සේ සමීපයෙහි වාසය කරමින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළහ.

භාග්‍යවතුන් වහන්සේ විවිධ පිරිස් සමග එක්ව ඝෝෂිතාරාමයෙහි ගතකළ අවිවේකී හා අපහසු කාලපරිච්ඡේදයත්, එයින් බැහැර වී පාරිල්‍යෙ වනයෙහි හුදකලාව වැඩ සිටීමේ පහසුව හා සුවය ගැන මෙනෙහි කළ අතර, පාරිලෙය්‍ය වනයෙහි විසූ ඇතු ද තමන් පෙර රංචුව හා එක්ව ගතකළ අවිවේකී හා අපහසු ජීවිතය පිළිබඳවත්, රංචුවෙන් මිදී හුදකලාව වාසය කිරීමේ දී ලැබෙන සුවයත් මෙනෙහි කළේ ය.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අදහස මෙන්ම ඇතුගේ අදහස ද සමාන කරමින් ප්‍රීතිය පහළ කළහ. උදාන පාලියේ නාග සූත්‍රයේ ඇතුළත් මෙම පුවතින් මහා පිරිසෙන් යුතු, සංකීර්ණ පරිසරයෙන් මිදී ,හුදකලා වාසයේ ඇති පහසුව හා විවේකය මැනවින් ප්‍රකට වේ.

සාමාන්‍ය මිනිසා මෙන් ම සෙසු සතුන් ද රංචු ලැදියාවෙන් යුක්ත ය. හුදකලා වාසය ප්‍රිය නොකරති. එසේ වුව ද බුදුරජාණන් වහන්සේ මෙන්ම, වීතරාගී පුද්ගලයෝ හුදකලා වාසය ප්‍රියකරති. නිහඬ බවට ඇලුම් කරති. ඝෝෂාකාරී පරිසරය බැහැර කරති.

පිඨකාගත බොහෝ සූත්‍ර දේශනා මගින් බුදුරදුන් ඇතුළු ශ්‍රාවකයෝ විවේක වාසය රුචි කළබව තහවුරු වේ. නිතර කතාවෙන් කාලය ගතකිරීම, සමූහ වාසයෙහි ඇලීගැලී සිටීම කෙනෙකු පිරිහීමට හේතුවක් වන බව අවධාරණය කොට තිබේ.

විසුද්ධිමග්ගයෙහි කාය විවේක, චිත්ත විවේක, උපධි විවේක යනුවෙන් විවේකය තෙවැදෑරුම් වේ. පංචකාම ලෝකයට අයත් පුද්ගලයන් හා වස්තූන් හා එක්ව වාසය කරන්නෙකුට කාය විවේකයක් අත්දැකිය නොහැකි ය. අකුසල චේතනා හෙවත් කෙලෙස් ධර්මවලින් සිත නිදහස් කර ගැනීම චිත්ත විවේකයයි. උපධි විවේකය යනු උපධි සංඛ්‍යාත ආශ්‍රව ධර්මයන්ගෙන් සිත සම්පූර්ණයෙන් නිදහස් කරගැනීමයි. එය විමුක්තිය සාක්‍ෂාත් කළ පුද්ගලයන්ට ආවේණික විවේකයයි. මේ අනුව සාමාන්‍ය ව්‍යවහාරයේ විවේකය යනුවෙන් අදහස් කෙරෙන දෙයට වඩා අතිශයින් ම වැඩි යමක් එයින් අදහස් කොට ඇති බව පැහැදිලි ය.

බුදු සමයට අනුව විවේකය යනු භෞතික ව පමණක් නොව, ආධ්‍යාත්මික වශයෙන් ද හුදුකලාව වාසය කිරීමයි. භෞතික ලෝකය හා සමාජය සමඟ මෙන් ම අකුසල සිතිවිලි හා සම්බන්ධ කෙලෙස් බැදීම් ද සිඳ දැමීම සැබෑ විවේකයයි.

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු මූලික කරගත් භෞතික වස්තු එක් රැස්කොට, ගොඩ ගසාගත් තරමට ම කායික විවේකය අහිමි වේ. කායික වශයෙන් ඒ සියල්ල නඩත්තු කරමින්, පාලනය කරමින්, ඒ ගැන සොයා බලමින් කටයුතු කිරීමට සිදුවන නිසා කායික විවේකයට එයින් බාධා පැමිණේ.

චිත්ත විවේකයට බාධා පමුණුවන්නේ සන්තානගත අකුසල චේතනාවන් ය. සිත විවිධ අරමුණු ඔස්සේ හඹා යමින් සංකල්ප, සිතිවිලි, විතර්ක අදහස් ප්‍රතිනිර්මාණය වන විට චිත්ත විවේකයට බාධා පැමිණේ. සිතිවිලි සංකීර්ණ වන තරමට ම මානසික අසහනය හා ආතතිය වර්ධනය වේ.

වර්තමාන මිනිසා ද්‍රව්‍ය එක්රැස් කිරීමේ තරගයේ නිරත ව සිටී. එයින් ඔහු හෝ ඇය කෙතෙක් අවිවේක වී ඇත්ද යනු තම ආහාරය පවා අනුභව කිරීමට අවශ්‍ය විවේකය අහිමි කරගෙන තිබේ. එයට සාපේක්‍ෂ වශයෙන් ආතතිය, අසහනය, කළකිරීම, නින්ද නොයාම ආදී මනසික පීඩාවන්ට ද වර්තමාන මිනිසා ගොදුරු වී සිටී. තම අවිවේකය හා ආතතිය සමනය කරගැනීම සඳහා මත්පැන් මත්ද්‍රව්‍ය ආදියට යොමුවීම හේතුවෙන් ඇතමෙකු මහත් ව්‍යසනයකට පත්ව සිටිති.

ඉහතින් දැක්වූ පරිදි බුදුරදුන් පාරිලෙය්‍ය වනයට වැඩම කළේ කායික විවේකය සඳහා ය. සියලු කෙලෙස් ප්‍රහීණ කළ උන්වහන්සේට මානසික විවේකයක අවශ්‍යතාවක් ඉස්මතු නොවේ. විශාල පිරිසක් හා එක්ව වාසය කිරීම උන්වහන්සේගේ කායික විවේකයට බාධාවකි.

ආධ්‍යාත්මික විමුක්තිය හා ශාන්තිය සේවනය කළ වීතරාගී උතුමෝ හුදකලා වාසය ප්‍රිය කළ බව ථෙර-ථෙරී භාව ගීතාවලියෙන් පැහැදිලි වේ.

සමූහ වාසය විවිධ අර්බුද නිර්මාණය කරන බව පැහැදිලි කරුණකි. එහෙත් සමාජ ජීවිතය ප්‍රතික්‍ෂේප කිරීමක් බුදු සමයෙන් උගන්වා නැති බව වටහාගත යුතුය. සුත්ත නිපාත ඛග්ගවිසාණ සූත්‍රයේ සාකච්ඡා කෙරෙන්නේ ඇලීම් ගැටීම්වල ආදීනව දකින තැනැත්තා කගවේණෙකුගේ අඟක් සෙයින් හුදකලා වාසය ප්‍රියකරන බවයි.

මෙසේ හුදකලා වාසයට යොමු වීම මානසික ආබාධයක් නිසා ඇතිවන්නක් නොවේ. එය විශාල පිරිසක් හා එක් ව වාසය කිරීමෙන් ඇතිවෙන කායික හා මානසික අවිවේකය පදනම් කරගත් ආදීනව දැකීම නිසා වන අවබෝධයේ ප්‍රතිඵලයකි.

මෙම පිළිවෙත නිසා ආරම්භයේ සිටම බෞද්ධ ආරාම සකස් කෙරුණේ නිහඬ පරිසරයක ය. මිනිසුන් නිතර නොගැවසෙන ආරණ්‍ය සෙනසුන් බහුල ව තෝරා ගත්තේ ඒ හෙයින් ය. ගල්ලෙන් වැනි ස්වභාවික ස්ථාන වීතරාගී උතුමන්ගේ සිත්ගත් ස්ථාන වේ. මෙවැනි නිහඬ පරිසරයක් තෝරා ගැනීම නිසා භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස ඉතා කඩිනමින් විමුක්තිය සාක්‍ෂාත් කරගෙන උපධි විවේකය අත්පත් කරගත්තහ.

සමූහ වාසය මගින් ඇති කෙරෙන විවිධ අර්බුද සූත්‍රයේ ඇතුළත් ඇතාගේ පුවතින් සනාථ වේ. ස්වකීය රංචුව තුළ ඇතුට මුහුණ දීමට සිදුවූ අර්බුද විශාල ය. ඒ ගැන වටහාගත් ඇතු ස්වකීය ඇත් රංචුවෙන් වෙන් ව බුදුරදුන් ඇසුරු කරමින් විවේක වාසයට යොමුවිය. බෞද්ධ ආරාමයක තිබිය යුත්තේ සිත නිවෙන වටාපිටාවකි. එහි වෙසෙන පැවිද්දන්ට මෙන්ම බාහිරින් පැමිණෙන ගිහියන්ට ද එය සිත නිවෙන තැනක් විය යුතු ය. එහෙත් පරිභෝජනවාදි ආකල්පවලින් මෙහෙයවන පංචකාම ලෝකයේ අතරමං වූ ඇතැම් ගිහි පැවිදි පිරිසට එවන් පරිසරයක් නිර්මාණය කරගැනීමට අපහසු වී තිබේ. කායික මෙන් ම, මානසික ව අවිවේකී ව ගතකිරීම උතුම් ජීවිතයක ස්වභාවය නොවේ. අවිවේකි ජීවිතය කෙලෙස් වැඩීමට තෝතැන්නකි.

බොහෝ සමාජ සම්බන්ධතා ඇතිකර ගැනීම මෙන් ම, සංකීර්ණ පරිසරයක ජීවත්වීම වර්තමාන පරිභෝජනවාදි සමාජය තුළ ඇගයුමට ලක්වුව ද විශාල පිරිසක් වෙසෙන සංකීර්ණ පරිසරයක ගතකරන අවිවේකී ජිවිතය දුක් සහිත අපහසු එකක් බවත්, අවම සමාජ සම්බන්ධතා සහිත, විවේකී ජීවිතය කායික මෙන් ම මානසිකව ද සැපවත් වීමට හේතුවක් බවත් බුදුරදුන්ගේ පාරිලෙය්‍ය ගමනින් සනාථ වේ.