Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 09 කොටස : ලොකු හාමුදුරුවන්ගෙන් අපූරු දඬුවමක්

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 09 කොටස

ලොකු හාමුදුරුවන්ගෙන් අපූරු දඬුවමක්

පැවිදි වූ දින පටන් නවදගල පදුමකිත්ති හිමියන්ගේ දඩබ්බරකම් වැඩිවූවා මිස අඩු වූයේ නැත. මුහුදු යාම, රාත්‍රියට පොල් කැඩීම, මෙන්ම තැන්තැන්වල විවිධ දඩබ්බරකම්වලින් සමන්විත වූ දිවිය නිසා පදුමකිත්ති හිමියන්ට දිනපතාම නා හිමියන්ගෙන් පහර කෑමට සිදු විය.

නාගදීපයට පැමිණෙන ඥාති හිතවතුන්ට දිවුල් කඩා දීම නා හිමියන්ගේ සිරිත වූ අතර සින්නදොරේ ගසට නැග දිවුල් කැඩූ අතර දිනක් සින්නදොරේ දිවුල් ගෙඩි 4ක් 5ක් කඩා දැමීමෙන් පසුව හදිසියේ ම කෙක්ක වැටුණේ ඔහුගේ කැහපොට ගැසූ සරම බුරුල් වී එය අල්ලා ගැනීමට යාම නිසා ය. එහෙන් මෙහෙන් සරම යළි සකසා ගත් සින්නදොරේ කෙක්ක දෙන්නැයි පදුමකිත්ති හිමියන්ට කීවේය.

සරම කැහපොට ගසා සිටි සින්නදොරේ දුටු පදුමකිත්ති හිමියන්ට අපූරු අදහසක් පහළ විය. කෙක්ක දෙනවා වෙනුවට පදුමකිත්ති හිමියන් කැහපොට ගසා සිටි සරමට දමා ඇද්දේය.‘‘හපොයි සාමි..‘‘ කියා සින්නදොරේ සරම අල්ලා ගත්තේ දැඩි කෝපයෙනි. අත ළඟ තිබුණු දිවුල් ගෙඩියක් කඩාගත් සින්නදොරේ පහළ සිට උඩ බලමින් සිනාවෙමින් සිටි පදුමකිත්ති හිමිගේ මුහුණට දමා ගැසුවේ ය.

‘‘අම්මෝ‘‘ පදුමකිත්ති හිමියෝ දෑතින් මුහුණ බදාගෙන දුවන්නට වූහ. පදුමකිත්ති හිමිගේ දතකින් කොටසක් කැඩී ගොසිනි. කණ්ණාඩිය වෙත දුවගොස් බැලූ විට හිමියන්ගේ මුහුණ පපඩමක් මෙන් ඉදිමී තිබුණි. දිවුල් කැඩිල්ල පසෙක තැබූ සින්නදොරේද ගසින් බැස ඉක්මනට සැඟව ගියේ ය. පොඩි හාමුදුරුවන්ට වූ ඇබැද්දියට නායක හාමුදුරුවන් තමන්ට දඬුවම් කරනු ඇතැයි ඔහු සිතුවේය. පදුමකිත්ති හිමියෝ සින්නදොරේට නොපෙනෙන්නට සැඟවුණහ. සින්නදොරේ පදුමකිත්ති හිමියන්ට නොපෙනෙන සේ සිටියේ ය. පදුමකිත්ති හිමියන්ට ලොකුම ප්‍රශ්නය වූයේ නායක හාමුදුරුවන්ට හොරෙන් සැඟව සිටීම ය. කොතරම් සැඟව සිටියද පදුමකිත්ති හිමියන්ගේ උත්සාහය ව්‍යර්ථ විය. පපඩමක් මෙන් ඉදිමී තිබුණු මුහුණ දුටු නායක හාමුදුරුවෝ ‘මේ මොකද?‘ මොකක්ද අල්ලපු අංචිය යනුවෙන් බැණ වැදුණා හ.

‘‘දිවුල් ගෙඩියක් වැටුණා‘‘

‘‘ඇයි දිවුල් ඇල්ලුවෙ කට ඇරගෙන ද?‘‘

එයට පිළිතුරු නොදී පදුමකිත්ති හිමියෝ මුඛය ද තදින් වසාගෙන ඉක්මනින් පිටව ගියහ.

නාගදීපයේ පැවිදි වූ දිනෙන් පසු පදුමකිත්ති හිමියන්ට ලැබුණු තහනම් නියෝග අතර මවට ලිපි ලිවීම ද විය. වසරකට දෙතුන් වරක් තාත්තාට පමණක් පදුමකිත්ති හිමියන් බැලීමට අවසර ලබා දී තිබුණි.

‘‘නායක හාමුදුරුවනේ අම්මට ලියුම් ලියන්න එපා නම් ගෙදර ගිහින් අම්මාව බලා එන්න ද?‘‘

‘‘නැහැ එපා, අම්මගේ ආදරේ , කරුණාව වැඩි වුණහම ආයෙත් ගිහි ගෙට ආස හිතෙන්න පුළුවන්, පැවිදි ජීවිතේ කියන්නෙ තරුණ අයට රැක ගන්න අමාරු ජීවිතයක්. ඒත් කොහාම හරි රැක ගත්තොත් සසර කෙටි කර ගන්න පුළුවන්‘‘ නායක හිමියෝ ඒ වදන් පෙළ ඉතා සෙමෙන් කරුණාවෙන් කියා සිටියහ.

නා හිමියන් කෙතරම් පහර දුන්නත් පදුමකිත්ති හිමියෝ ඒ ගැන නාගදීපයට පැමිණි තාත්තාට ඒ ගැන පැවසුවේ නැත. ඒ ගැන පැවසුවත් තාත්තා ඒ ගැන නොසලකන අතර අම්මාට ඒ ගැන පැවසුවහොත් ගැටලුවක් වේ යැයි පදුමකිත්ති හිමියෝ සිතූහ. නාගදීපයේ සිටීම හැර වෙනත් ලෝකයක් ගැන සිතන්නට පදුමකිත්ති හිමියන්ට ඉඩක් ද නොලැබුණි.

මේ අතර ජැටියේ සිට නාගදීපයට පැමිණෙන මාර්ගය අබලන් වීම නිසා ජනතාවට නාගදීප විහාරයට පැමිණීමට විශාල බාධාවන් ඇති විය. අතරමඟ බෝක්කුවක් කැඩී තිබීම නිසා වැසි දිනවල පාර පුරා මඩවතුර පිරී තිබුණි. නාගදීප කෝවිල අසල සිට අබලන්ව තිබූ මාර්ගය සැකසිය යුතු බව නාහිමියෝ පන්සලට නිතරම උදවු උපකාර කරනු ලබන දෙමළ වැඩිහිටියන් කිහිප දෙනෙකුට කීහ. ඒ අනුව දින දෙක තුනකින් කෝවිල අසල සිට විහාරයට ඇති මාර්ගය තැනීම අරඹන ලදී. නායක හාමුදුරුවෝ පදුමකිත්ති හිමියන් කැඳවූහ.

‘‘අද ඉදලවත් දඟවැඩ කරන්නෙ නැතුව හිටියොත් හොඳයි, මොකද කරන එක වැරැද්දට වීල් බැරෝ 10ක් ගානෙ පස් අදින්න වෙනවා,‘‘

එය මහ අමාරු වැඩක් බව පදුමකිත්ති හිමියන් දුටුවේ ගල්, වැලි හා පස් ගෙන යන අය වීල්බැරෝ ඉතා අපහසුවෙන් රැගෙන යන අයුරු දැකීමෙනි. ඒ අනුව පළමු දින කෙසේ හෝ නා හිමියන්ගෙන් බේරුණු පදුමකිත්ති හිමියෝ දෙවන දින උදේ 10 පමණ වන තුරු දඟවැඩවලින් වැළකීම නිසා ගැටලුවක් ඇති නොවුණු නමුත් එදින හවස් වන විට වීල්බැරෝ 40ක් පමණ පස් අදින්නට සිදු විය.

ඇතැම් දිනවල වීල් බැරෝ 60ක් 70ක් පමණ අදින්නට පදුමකිත්ති හිමියන්ට සිදු විය.

පස් අදින දෙමළ පිරිස් දුම් බොන අයුරු පදුමකිත්ති හිමියෝ බලා සිටියහ. ඇතැමෙක් උජාරුවෙන් මෙන් නහයෙන් කටින් දුම් පිටකරනු දුටු පදුමකිත්ති හිමියන්ට එය වීර ක්‍රියාවක් මෙන් පෙනුණි. පදුමකිත්ති හිමියන්ට ද ඒ ලෙසින් දුම්බොන්නට ඇත්නම් යැයි ද සිතුණි. උන් වහන්සේ ඒ බව සිවාට පැවසූහ.

‘‘ආපෝ සාමි ලොකු සාමි මට ගහයි‘‘

‘‘නිකම් බීල බලන්න විතරයි‘‘

එදින සවස් වරුවේ පස් අදිමින් සිටි පදුමකිත්ති හිමි හමුවට සිවා ආවේ ය. උන් වහන්සේට පසෙකට එන්නැයි අතින් කීවේ ය. පදුමකිත්ති හිමියෝ වීල්බැරෝව කැලේක සඟවා සිවා සමඟ පන්සල පැත්තට ගියහ. ‘‘සාමි මෙන්න ගෙනාවා.

දවල් දානයෙන් පසුව නා හිමියන් ටික වේලාවක් සැතපෙන හෙයින් එය හොඳ අවස්ථාවක් විය. එම නිසා පදුමකිත්ති හිමියෝ ගිනි පෙට්ටියත් ගෙන වැසිකිළි දෙසට හියහ. එක් වැසිකිළියක් නා හිමියෝ භාවිත කරති. අනෙක් වැසිකිළිය සෙසු හිමිවරුන්ට ය. පදුමකිත්ති හිමියෝ දුම් උගුරක් ඇද්දාහ. ඒ සමඟම නායක හාමුදුරුවෝ උගුර පාදන හඬ ඇසුණි.

ගිනි පෙට්ටිය උඩින් කැළයට විසි කළ පදුමකිත්ති හිමියෝ දුම් උගුර පිට කර දැමුහ. දැල්වෙමින් තිබූ දුම්වැටියෙන් සිරුර පිච්චෙන්නට විය. පදුමකිත්ති හිමිගේ මුහුණ පැත්තකට විය. නාහෙන් කටින් ගින්දර පිටවන තරමට වේදනාවක් ඇති විය.

‘‘මෙතන මොකද කරන්නෙ, පස් ඇදල ඉවරද?‘‘ නාහිමියෝ ඇසූහ.

‘‘බඩේ කැක්කුමක් ආව වැසිකිළියට යන්න ආවේ‘‘

‘‘ දානෙ මදිනෙ, කොහෙන් හරි ජරාවක් කන්න ඇති‘‘ පදුමකිත්ති හිමියන් වේදනාවෙන් ඇඹරෙමින් සිටි නිසා නා හිමියන්ට ඒ ගැන සැකයක් නොවුණි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පදුමකිත්ති හිමියෝ ඉක්මනින් පැන දිවූහ.

කාමරයට දිව ගොස් අදනය බැලූ වි එය ටිකෙන් ටික ගිනි ගනිමින් තිබුණි. දුම්වැටියට පිච්චී බඩේ අඟල් දෙකක පමණ රවුමකට කලු පැහැ ගැනී පිච්චී ඇත.

‘‘අන්න අර පොඩි උන්නාන්සෙට දෙහි ගෙඩියක් මිරිකලා දෙනවා‘‘ නායක හාමුදුරුවෝ සිවාට පැවසූහ. සිවා දෙහි ගෙඩියක් මිරිකාගෙන විත් පදුමකිත්ති හිමියන්ට දුන්නේ ය.

‘‘ඔය ජරාව බීල හරියන්නෙ නැහැ, බඩේ අමාරුවක් නැහෙනෙ‘‘ පදුමකිත්ති හිමියෝ සිවාට කෑ ගැසූහ.

‘‘එහෙනම් අපි මේක තුවාලෙට දාමු‘‘ සිවා ලුණුදැමූ දෙහි ඉස්ම තුවාලයට දැමුවේ ය. පදුමකිත්ති හිමියන්ට තරු විසිවුණි.

‘‘බුදු අම්මෝ....‘‘

‘‘අර දොස්තර මහත්තයට කියල බේත් ටිකත් අර ගන්නව, ඔතන කෑ මොර දෙන්නෙ නැතුව‘‘ නායක හාමුදුරුවෝ එළි මහනේ සිටම කියා සිටියහ.

(මතු සම්බන්ධයි)