Print this Article


ලංකාවේ බෞද්ධ ස්ථූප 02 : බෞද්ධ ස්ථූපයේ විකාශය

ලංකාවේ බෞද්ධ ස්ථූප 02

බෞද්ධ ස්ථූපයේ විකාශය

පෙරදිග හා දකුණු දිග ආසියාතික රටවලට බුදුසමය සමඟ ම ස්ථූප නිර්මාණය ද පැතිර ගියේ ඉන්දියාවේ සිට ය. විශේෂයෙන් ම අශෝක රජුගේ ප්‍රචාරක කටයුතු හේතුවෙන් බුදුසමය ප්‍රචලිතවත් ම, ධාතු වන්දනාව ඒ සමඟ ම ස්ථූපය පිළිබඳ අදහස ද ඉන්දියානු දේශයෙන් පිටත රටවලට ද ව්‍යාප්ත විය. එම රටවල පවත්නා ආගමික වත්පිළිවෙත් හි වැදගත් අංගයක් බවට ද පත්විය.

ථූපාරාමය ගොඩනංවන අවස්ථාව වන විට ලාංකිකයන්ට ස්ථූප ඉදිකිරීම පිළිබඳ ගැඹුරු දැනුමක් නොතිබුණු බව පෙණුන ද, සියවසක පමණ කාලයක් ගත වන විට ස්ථූප නිර්මාණය පිළිබඳ සුවිසල් ඉංජිනේරු දැනීමක් සතු වූ බව රුවන්මැලි සෑය ඉදිකිරීමෙන් පෙනී යයි.

වළගම්බා රජතුමා තැන වූ අභයගිරිය හා මහසෙන් රජතුමා විසින් ජේතවන දාගැබ එසේ විකාශනය වූ ස්ථූපයන් ය.

ප්‍රධාන වශයෙන් ම ස්ථූප වර්ග සය ආකාරයක් වන බව සලකයි. එනම් ඝණ්ඨාකාර, ඝටාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර, ආම්ලාකාර යනුවෙනි. මේ ප්‍රධාන වූ හය ආකාර වූ හැඩයන්ට අමතරව පලාණ්ඩවාකාර, අණ්ඩාකාර, චතුරශ්‍රාකාර, අෂ්ටශ්‍රාකාර, සිලිණ්ඩරාකාර ලෙසින් ද ස්ථූපයන් ඇතැයි සඳහන් වේ.

ඝණ්ටාකාර

කි‍්‍ර. ව. 8ත් 10 ත් අතර සියවස්වලට අයත් ව හමුවන විශේෂ හැඩයේ ස්ථූප වර්ගයකි. ශී‍්‍ර ලංකාව, බුරුමය, තායිලන්තය වැනි රටවල මෙම හැඩයේ ස්ථූප වඩාත් ජනපි‍්‍රවයයි. දැනට ඇති බොහෝ ස්තූප මෙම හැඩයට අයත් වේ. උදාහරණ ලෙස මහියංගණ ස්ථූපය, ථූපාරාම ස්ථූපය, අම්බස්ථල ස්ථූපය හා ලංකාරාමයේ ස්ථූපය මෙම හැඩයේ ස්ථූපයන් කිහිපයකි.

ඝටාකාර

කළයක හැඩයෙන් යුත් ස්ථූප මේ නමින් හැදින්වේ. මෙය සුලභ හැඩයක් නොවේ. කතරගම කිරි වෙහෙර වහන්සේ, සෝමවතී ස්ථූපය, සිතුල්පව්ව ස්ථූපය හා මඟුල් මහ විහාරයේ ස්ථූපය ද මුල් කාලයේ මේ හැඩයෙන් යුතු වූ බව සැලකේ. නිකවෑකන්ද නම් ස්ථානයෙන් මේ හැඩයේ ධාතු කරඩුවක් හමුවීමෙන් ශී‍්‍ර ලංකාවේ යම් තරමක් හෝ දුරට මේ ස්ථූප හැඩය භාවිත කළ බවයි සැලකෙන්නේ.

බුබ්බුලාකාර

දුටුගැමුණු මහ රජු මහාථූපකරණය පිණිස ගඩොලු වඩුවන් සම්මුඛ පරීක්ෂණයකට ලක් කර තෝරා ගත් වඩුවා වෙතින් සෑයේ හැඩය විමසී ය. වඩුවා දිය පාත්‍රයක් ගෙන්වාගෙන අතින් කලතා නැගි දිය බුබුළක් පෙන්වා ඒ හැඩය යැයි පැවසුවේ යැයි සැලකේ. ඒ අනුව රුවන්මැලි සෑය, අභයගිරි ස්ථූපය, පොළොන්නරු කිරි වෙහෙර ස්ථූපය, කතරගම කිරි වෙහෙර ස්ථූපය, රන් කොත් වෙහෙර ස්ථූපය, මිරිසවැටි ස්ථූපය සහ තිස්සමහාරාම ස්ථූපය ඊට උදාහරණයන් ය.