Print this Article


මිගාර මාතා

මිගාර මාතා

ලස්සන ම අම්මා, නැත්නම් කාන්තාව අපට හමුවන්නේ බුද්ධ ශාසනය තුළයි. ඈ විශාඛාවයි. ඇයගේ ජීවිතය දෙස බලද්දී අපට හිතෙනවා ඇයගේ නිවස කොතරම් නම් ලස්සන ද කියලා. ඇය එතරම් ලස්සන ජීවිතයක් ගොඩනඟා ගත්තේ ඇය තුළ තිබූ ඉවසීම සහ උපේක්ෂා සහගත බව නිසයි.

ලස්සන ම අම්මා, නැත්නම් කාන්තාව අපට හමුවන්නේ බුද්ධ ශාසනය තුළයි. ඈ විශාඛාවයි. ඇයගේ ජීවිතය දෙස බලද්දී අපට හිතෙනවා ඇයගේ නිවස කොතරම් නම් ලස්සන ද කියලා. ඇය එතරම් ලස්සන ජීවිතයක් ගොඩනඟා ගත්තේ ඇය තුළ තිබූ ඉවසීම සහ උපේක්ෂා සහගත බව නිසයි.

විශාඛා විවාහ වෙලා සැමියාගේ නිවසට එන දවසේ ඇගේ පියා අපූරු උපදෙස් දහයක් දුන්නා. ඒ අවවාද අහලා විශාඛා එදා රැකුණා. අද දියණියකටත් ඒ අවවාද අහන්න ලැබුණොත් ඇයත් රැකේවි. ඒ අවවාදවල සඳහන් වුණේ ඇතුළත ගිනි පිටට දෙන්න එපා, පිට ගිනි ඇතුළට ගන්න එපා, දෙන්නන්ට දෙන්න, නොදෙන්නන්ට නො දෙන්න, දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙන්න, සුව සේ නිදන්න, සුව සේ වළඳන්න, සුව සේ හිඳීන්න, ගිනි පුදන්න, ඇතුළත දෙවියන් නමදින්න කියලයි. විශාඛාවට මේ අවවාද දහය තේරුණා.

ඇය විවාහ වෙලා සැමියාගේ නිවසට ගියා.

විශාඛා ඒ නිවසට ගොස් ටික දිනකට පසු ඒ නිවසේ වැස්සියක පැටවෙකු බිහි කරන්න ආසන්න වුණා. රාත්‍රී කාලයේ විශාඛා ඒ එළදෙන අසලට ගොස් පැටවා බිහිවන තුරු සිට අවශ්‍ය සියලු කටයුතු සිදු කළා.

එහි දී ඇයට පළමු චෝදනාව ආවා. ඒ, අනවශ්‍ය ස්ථානවලට රාත්‍රියේ ගමන් කිරීම යන්නයි. ටික දිනකට පසු මිගාර සිටු නිවසේ දානයක් තිබුණා. ඒ මව්පියන් විශාඛාවට කිව්වා අද අපේ නිවසට රහතන් වහන්සේලා දානයට වඩිනවා කියලා. සෝතාපන්න වී සිටි විශාඛාගේ සිත පිනා ගියා. නමුත් ඒ දානයට එදා ආවේ ශරීරයේ වස්ත්‍රයක් නැති හෝ නිගණ්ඨනාතපුත්ත ඇතුළු පිරිසයි. ඔවුන් දුටු ගමන් ඇය තිගැස්සුණා. ‘මේ අයට ද රහතුන් කියන්නේ?‘ ඇය ඇසුවා.

පැමිණි පිරිස දානය ගන්නේ නැතිව පිටව ගියා. විශාඛාවට දෙවැනි වතාවේත් ප්‍රශ්නයක් ඇති වුණා.

තව දිනක් මිගාර සිටුතුමා ආහාර ගනිද්දී ස්වාමීන් වහන්සේ නමක් පිඬු පිණිස නිවසට වැඩියා. මිගාර පියා ඒ තෙරුන් කෙරෙහි කිසිදු සැලකිල්ලක් නැතිව ආහාර ගත්තා. විශාඛා ගොස් කියනවා.

“ස්වාමිනි, අපේ මාමා පුරාණය වළඳනවා. ඔබ වහන්සේ වෙන තැනකට වඩින්න.” කියලා.

එදා සිටුතුමාට කේන්ති ගියා. ඔහු කියනවා “අලුත ආ ඔබ අපට බොහෝ චෝදනා කරනවා. මම නැවත ඔබේ මව්පියන් වෙත ඔබ යවනවා.”

එවිට ඇය පැවසුවා .

“මාමේ, මම මව්පියන් වෙත යන්න කැමැතියි. නමුත් මගේ නිර්දෝෂී බව ප්‍රකාශ කර යන්නම්” කියා.

එදා විශාඛා විවාහ වී එන විට ඇයගේ පියා විසින් ව්‍යක්ත, පණ්ඩිත, නුවණැති පුරුෂයන් අට දෙනෙක් ඇය හා මේ මිගාර සිටු නිවසට එව්වා. ඒ පුරුෂයන් ගෙන්වා ප්‍රශ්න විසඳන විට ඇය තම පිය දුන් අවවාද දහය විස්තර කළා.

‘ඇතුළත ගිනි පිටට දෙන්න එපා’ – නිවසේ යම් ප්‍රශ්නයක් ඇති වුණොත් එය පිටට කියන්න එපා කිව්වා. මේක අද කාලයට ඉතා වටිනවා. පවුලක් තුළ යම් ප්‍රශ්නයක් ඇතිවුණොත් ඒ වූ පමාවෙන් යහළුවන්ට, නෑයන්ට, මව්පියන්ට කියන්න අද කාන්තාව පෙළඹිලා ඉන්නවා.

‘පිටත ගිනි ඇතුළට ගන්න එපා’ – අනුන්ගේ ප්‍රශ්න අරගෙන තමන්ගේ නිවසේ ගිනි අවුළුවා ගන්න එපා.

‘දෙන්නන්ට දෙන්න’ – ඉල්ලාගත් දේ නැවත දෙන අයට පමණක් දෙන්න.

‘නොදෙන්නන්ට නො දෙන්න’ – ඉල්ලා ගිය දේ නැවත නො දෙන අයට දෙන්න එපා.

‘දෙන්නන්ටත්, නොදෙන්නන්ටත් දෙන්න’ – සමහර අවස්ථාවක අපෙන් දෙයක් ඉල්ලා ගත් කෙනෙකුට නැවත එය දීමට හැකියාව නැතිවෙන්න පුළුවන්. එය ඉවසන්න. එය සමඟිය පිණිස හේතුවෙනවා.

‘සුව සේ හිඳීය යුතුයි’ – ස්වාමියාගේ මවුපියන් දුටු විට සිටි ආසනයෙන් නැගිටිය යුතුයි.

‘සුව සේ වැළඳීය යුතුයි’ – ස්වාමියා හෝ ඔහුගේ මව්පියන් ආහාර ගැනීමට පෙර ආහාර ගන්න එපා.

‘සුව සේ නිදාගත යුතුයි’ – ස්වාමියා හෝ ඔහුගේ මව්පියන් නිදන්නට කලින් නිදන්න එපා.

‘ගිනි පිදිය යුතුයි’ – ස්වාමියා සහ ඔහුගේ මවුපියන් විශේෂ චරිත ලෙස හඳුනාගෙන ඒ අයට පූජා සත්කාර කරමින් ගෞරවයෙන් ඇසුරු කරන්න.

ඇතුළත දෙවියන් නැමදිය යුතුයි – නිවසට පැමිණෙන පැවිදි උතුමන් ආසනයක වඩා හිඳුවා දානයන් පූජා කිරීම කළ යුතුයි.

මේ සියල්ල පැහැදිලි කළ විශාඛා කියනවා “මගේ නිදොස් බව දැන් පැහැදිලියිනේ. මම දැන් මගේ ගෙදර යන්නම්.” කියලා.

එවිට මිගාර සිටුතුමා කියනවා

“අනේ දුවේ, ඔබ බොහොම හොඳ දියණියක්. යන්න එපා.” කියලා.විශාඛා කියනවා “තාත්තේ, භික්ෂු සංඝයා නොදකින තැනක ඉන්න මම කැමැති නැහැ.” කියලා. එවිට ඒ පියා, “එහෙම නම් දුවේ ඔබ කියන භික්ෂු සංඝයා මේ නිවසට වඩමවන්න.”

ඇය වහා ම දානය පිළියෙළ කොට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩමවූවා. දානය අවසානයේ දී මිගාර සිටුතුමාත් ධර්මය අසන්න පහළට ආවා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා සිටුතුමාට ඇහෙනවා. ධර්ම දේශනාව අවසානයේ දී ඔහු සෝතාපන්න වුණා. ඉන් පසු ඒ සිටුතුමා විශාඛාවට කියනවා “දුවේ, ඔබයි මගේ අම්මා. මගේ අම්මා මට කිරි පෙව්වා. මගේ දුව මට දහම් කිරි පෙව්වා. ඒ නිසා මම දුවට අද සිට ‘මිගාර මාතා’ කියලයි කියන්නේ.” කියලා. මේ සියල්ල ම කරන්න ඇයට හොඳ ඉවසීමක් සමඟ ම හොඳ නුවණක් ද තිබුණා.