Print this Article


උත්සාහය ඇගයීමට ලිපියක්

උත්සාහය ඇගයීමට ලිපියක්

රීස් ඩේවිඩ්ස් පාලි පඬිතුමාට බුලත්ගම ධම්මාලංකාර ශ්‍රී සුමනතිස්සාභිධාන මා හිමියන් යැවූ ලිපියේ ඉතිරි කොටස

මෙම ලිපියේ මුල් කොටස ඇසළ පුර පසළොස්වක පෝදා (04) පත්‍රයේ පළ විය.

ත්‍රිපිටකයට අයිති පාලි පොත් කිහිපයක් යුරෝපීය පණ්ඩිත මහතුන් ගණනක් විසින් ඉංග්‍රීසි භාෂාවට පෙරළා හෙවත් භාෂා කරලා අච්චුගස්වන්ටත් සූදානන් ය කියාත් දැනගන්නට ලැබී තිබෙයි. ඒ ගැන ද අපි අප්‍රමාණ ප්‍රීතියට පැමිණියෙමු. කුමක් හෙයින් ද යත්. බුද්ධ ධර්මයෙහි තිබෙන්නා වූ යහපත් ධර්ම තත්ත්වාදිය ඉංග්‍රීසි භාෂාවේ සියලු ම දේශවාසීන්ට නිරායාසයෙන් දැනගන්නට ලැබෙන නිසා ය. එහෙයින් මුල කී ප්‍රකරණාදියට ම ලංකාවේ පාත් ම වැඩි වශයෙන් ගුරුකමට ගෙන භාෂා කරන්නට යුතු වූ පමණකුත් නොව ඒ පොත්වල ආවා වූ තත්ත්වාර්ථ සහ බුද්ධ ධර්ම රීතිය ද එහි නියම අදහස ද බුද්ධාගමේ ශාස්ත්‍රවන්ත ධර්ම නිවය දැන උගත් භාවිතා ඇති පණ්ඩිතයන්ගේ මතවලට ද, තේරීම්වලට ද අවිරුද්ධ ව භාෂාකරන්ට වටීම ය. එසේ භාෂා කරන්නට නො යෙදුනේ නම් භාෂා කොට නිම වූවායෙන් පසු පොත් අච්චු ගසා රටේ පතල උනාම නොයෙක් දෝෂාරෝපණ කථා ඉපදීමෙන් පොත්වලින් පොත් භාෂා කළ පණ්ඩිත මහතුන්ට ද ලෝකවාසී බොහෝ ජනයාට ද ලැබැය යුතු ඵල නිෂ්ඵල වෙනටත් සමහර විට වේ යයි සිතමි.

එසේ හෙයින් ඉංග්‍රීසියට භාෂා කරන කො’පි අච්චුගහන්ට එකො’පි හෝ එසේ නොව ඒවාය යම් යම් අර්ථවලට හෝ අදහස්වල හෝ සැක ඇති පමණක් මේවා යයි කියා ලංකාවේ දැනට ඉන්නා ගිහි පැවිදි සමර්ථයන්ට එනම් සිප්කඩුවේ සුමංගල නායකස්ථවිර, බටුවන්තුඩාවේ පණ්ඩිතමයා,ලුවිස් විජයසිංහ මුදියන්සේ රාළහාමි, ගාල්ලේ පඤ්ඤාසේඛර ස්ථවිර, වැලිතර වමලසාර ස්ථවිර, වැලිගම ශ්‍රී සුමංගල ස්ථවිර, වස්කඩුවේ සුභූති ස්ථවිර, අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි

ස්ථවිර, හෙය්යන්තුඩුවේ දෙවමිත්ත ස්ථවිර, දොඩන්දූවේ පියරතන ස්ථවිර, ධම්මාලංකාර ස්ථවිර, කොග්ගල සංඝතිස්ස ස්ථවිරාදීන්ගෙන් මනාප පමණකට එවා ඒ ඇත්තන්ගෙන් තේරුම් අදහස් දැන කියාගන පොත් ට්‍රාන්ස්ලත් කර අච්චුගස්වා නම් ඉතා යහපත් යැයි මගේ කල්පනාවේ සැටියට මතක් කරමි.

තව ද මම දැනට ඉතා වයෝවෘද්ධකමින් ඉන්නේ වී නමුත් මෙබඳු ලෝකෝපකාරී යහපත් උතුම් සාධාරණ වැඩ ගැන නොහොත් තමුන්නාන්සේ ප්‍රධාන ප්‍රසිද්ධ යුරෝපීය පණ්ඩිත මහතුන් සමූහයක් විසින් ගන්නා ලද උත්සාහවන්ත වැඩේ ගැන මගේ අත්තාක් උත්සහ වීර්යයන්ට වැඩි තරමින් වෙහෙස කරවන්ට නිතරම මහත් ආදර කරුණාවෙන් බලාපොරොත්තුව ඉන්නා බවත් අවංකභාවයෙන් දන්වා සිටින්නෙමි.මෙසේ මේ වග අවංකාදර සිතින් ලියා මතක් කර එව්වේ තමුන්නාන්සේගේ ඒකාන්ත හිතමිත්‍ර වූ ගාල්ලේ මිනුවන්ගොඩ පරමානන්ද විහාරාධිපති වූ බුලත්ගම ධම්මාලංකාර ශ්‍රී සුමනතිස්සාභිධාන මහතෙරුන් වහන්සේ විසින.