Print this Article


සිංහල අටුවා පාලි භාෂාවට නැගූ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමි

සිංහල අටුවා පාලි භාෂාවට නැගූ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමි

" සිංහල අටුවා පාලියට පෙරළීමට පෙර නිවන් මග හෙළි කරන ග‍‍්‍රන්ථයක් ලිවීමට සංඝපාල හිමියෝ බුද්ධඝෝෂ හිමියන්ට ඇරයුම් කළ හ. විසුද්ධි මාර්ගය ලියැවුණේ එහි ප‍‍්‍රතිඵලයක් ලෙස යි."

බුද්ධ භාෂිත ධර්ම විනයෙහි හා ශ‍‍්‍රාවක භාෂිතයන් හි ද ඇතුළත් දුරවබෝධ වචන හා සංකල්ප පැහැදිලි කිරීම සඳහා සම්පාදිත අර්ථ ව්‍යාඛ්‍යාන සම්ප‍‍්‍රදාය පාලි අට්ඨ කථා නමින් හැඳීන්වේ. ත‍ි‍්‍රපිටක ග‍‍්‍රන්ථවල අන්තර්ගත ධර්ම කරුණු සහ ඓතිහාසික කරුණු සවිස්තර ව දැක්වීම එම පාලි අට්ඨ කථාවලින් සිදු කෙරෙන ප‍‍්‍රධාන කාර්යය යි.

 


කැලණිය රජමහා විහාරයේ සොයිලියස් මෙන්දිස්ගේ බිතුසිතුවමකි

පාලි අට්ඨ කථාවන් ගැන සඳහන් කිරීමේ දී නිතැතින් කියවෙන්නේ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් ගේ ශ‍ී‍්‍ර නාමය යි. බුද්ධකාලීන අර්ථ ව්‍යාඛ්‍යාන සම්ප‍‍්‍රදාය ප‍‍්‍රථම ධර්ම සංගායනාවේ දී සහ ඉන් පසුවත් රහතන් වහන්සේලා විසින් සංගායනා කරන ලද හ. උන් වහන්සේලා සහ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව ඒවා මුඛ්‍ය පාඨ වශයෙන් ආරක්‍ෂා කරගෙන ආහ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ඒවා හෙළ බසින් තබන ලද හ. හෙළ බසින් පැවැති එම අටුවාවන් පෙළ බසට නැගීමෙහි ශක්තිය මහා විහාරික මහතෙරවරුනට දැක්වීමෙහිලා අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමි දැක් වූ හැකියාව ශාසන ඉතිහාසය තුළ ඉතා ප‍‍්‍රකට සිදුවීමකි.

බුද්ධඝෝෂ හිමි උපත ලැබුවේ දඹදිව බෝ මැඩට නුදුරු ඝෝෂ නම් ග‍‍්‍රාමයේ බමුණු කුලයක ය. ඔහු වාදයෙහි දක්‍ෂ වූ රේවත නම් මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි වූ බව ප‍‍්‍රචලිත මතය යි. සද්ධම්මසංග නම් ග‍‍්‍රන්ථයෙහි දැක්වෙන පරිදි බුද්ධඝෝෂ හිමි මහාබෝධි මණ්ඩපයට දකුණු දිග බමුණුගම උපන් බව පැහැදිලි ය බෝ මැඩට නුදුරෙහි ඝෝෂ නම් වූ ගමේ උපන් බව බුද්ධඝෝසුප්පත්ති කථාවේ ද සඳහන් වේ.

මෙවැනි විවිධ කරුණු විමර්ශනය කිරීමෙන් පසුව බුද්ධඝෝෂ හිමියන් ගේ ජන්ම භූමිය මොරණ්ඩඛේටක නම් ගම බව පිළිගෙන ඇත. ආන්ද්‍ර දේශයේ ගුන්ටූර් දිස්ත‍ි‍්‍රක්කයේ පාල්නාඩ් තලූන් පෙදෙසේ‘කෝටනේමලී පුරිගුන්ඩ්ලූ පල්ලි’’ ළඟ පිහිටි ගම් දෙක මොරණ්ඩඛේටක යැයි පැවසේ. උන් වහන්සේ උපන් පෙදෙස මොරණ්ඩඛේටක යැයි විසුද්ධි මග්ගයෙන් ද පෙනේ.

පාලි භාෂාව ද, දර්ශනය, ඉතිහාසය, පුරාවිද්‍යාව, කාය ව්‍යවච්ඡේද විද්‍යාව, ලක්‍ෂණ ශාස්ත‍‍්‍ර ආදී විෂයන් පිළිබඳව ද පැතිරීගිය බුද්ධි ප‍‍්‍රභාවයක් බුද්ධඝෝෂ හිමි සතුව පැවතිණ.

බුද්ධඝෝෂ හිමි ලක්දිවට වැඩමවීමට පෙර ඤාණෝදය නම් ධර්ම ප‍‍්‍රකරණයත්, අත්ථසාලිනී අටුවාවත් දඹදිව දී කළ බවත්, පිරිත් අටුවාව ලිවීම ආරම්භ කර තිබූ බවත් සඳහන් ය. උන් වහන්සේ කලින් සර්වාස්තිවාදියෙකු ව සිට පසුව ථෙරවාදී වූ බව ඇතැම් විචාරකයන් ගේ පිළිගැනීම යි.ලක්දිවට වැඩම වූයේ අනුරාධපුරය රාජධානිය කරගත් මහානාම රජ දවස ය. ඒ බුද්ධ වර්ෂ 953 ත් 975 ත් අතර කාලය යි. උන් වහන්සේ ලක්දිවට වැඩමවන විට අට්ඨ කථා සංහිතා කිහිපයක් ම මෙරට පැවති බවත් ඒවා හෙළ බසින් ම උගත් බවත් මෙයින් සමහරක් ග‍‍්‍රන්ථ ස්වරූපයෙන් ද, සමහරක් පූර්වාචාරීන් ගේ මතවාද ඇතුළත් වුණ සාහිත්‍ය වශයෙන් ද පැවැති බව විචාරක මතය යි.

මිහිඳු මහරහතන් වහන්සේ දවස ම ඇරැඹි සිංහල අටුවා කතා වසර 700 ක පමණ කාලයක් සිංහල ත‍ි‍්‍රපිටකය හෙළි පෙහෙළි කරමින් පැවතුණේ ය. ත‍ි‍්‍රපිටක පාලිය තිබුණත් එහි අටුවා මේ වන විට දඹදිව තිබී නැත. සිංහල අටුවා ලියා ඇති බව දඹදිව විසූ රේවත හිමියන්ට ද දැනගැන්මට ලැබී ඇත. සිංහල අටුවා පාලියට පරිවර්තනය කිරීම බුදු දහම චිරස්ථායීවීමට හේතුවක් යැයි සැලකූඋන් වහන්සේ හෙළටුවා පාලියට පරිවර්තනය කිරීම සඳහා බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට එවූ බව මහාවංසයේ සඳහන් වෙයි.

මෙවැනි කටයුත්තක් සඳහා ඉදිරිපත් වූ එක ම තැනැත්තා බුද්ධඝෝෂ හිමි යැයි කිව නො හැකි ය. උන් වහන්සේට කලින් බුද්ධදත්ත හිමි ද, පසුව ධම්මපාල හිමි ද මෙම කාර්යය සඳහා ම දකුණු ඉන්දියාවේ සිට ලක්දිවට වැඩම කළ හ. බුද්ධදත්ත හිමි තමා මහලු වියට පත්වෙමින් සිටි නිසා අපේක්‍ෂිත කාර්යය ඉටු කළ නොහැකි ව පෙරළා ඉන්දියාටම වැඩම කළේ ය. බුද්ධදත්ත හිමි එසේ වැඩමවන ගමනේ දී බුද්ධඝෝෂ හිමි මුහුදේ දී මුණගැසී තමා ගේ පන්හිඳත්, අරළු ගෙඩියකුත් දී ආශිර්වාද කළ බව ද කියවෙයි.

ශ‍ී‍්‍ර ලංකාවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියෝ අනුරාධපුර මහා විහාරයේ දී එවකට එහි ප‍‍්‍රධානත්වය දැරූ සංඝපාල හිමි ප‍‍්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා බැහැදැක පැමිණි කාරණාව උන් වහන්සේලාට සැලකර සිටිය හ. සිංහල අටුවා පාලියට පරිවර්තනය කිරීමට පළමුව එවකට පැවැති සිංහල භාෂාවත්, එම අටුවාවල අන්තර්ගතයත් හැදෑරීමට අවශ්‍ය විය. සංඝපාල හිමි හා බුද්ධමිත්ත හිමි වැනි ප‍‍්‍රවීණ ආචාර්යවරුන්ගේ උපදෙස් පරිදි බුද්ධඝෝෂ හිමියෝ ස්වකීය අධ්‍යයන කටයුතු සපුරා ගත් හ. සිංහල අටුවා පාලියට පෙරළීමට පෙර නිවන් මග හෙළි කරන ග‍‍්‍රන්ථයක් ලිවීමට සංඝපාල හිමියෝ බුද්ධඝෝෂ හිමියන්ට ඇරයුම් කළ හ. විසුද්ධි මාර්ගය ලියැවුණේ එහි ප‍‍්‍රතිඵලයක් ලෙස යි.

සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ එනල

අන්තෝ ජටා බහිජටා - ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡුාමි - කො ඉමං විජටයෙ ජටං

ඇතුළත ද අවුල් ය. පිටත ද අවුල් යග මුළු සත්ත්ව වර්ගයා මෙම අවුලෙන් අවුල් වැ සිටිති. ගෞතම සර්වඥයන් වහන්ස, එබැවින් මම ඔබ ගෙන් විචාරමිග මෙම අවුල කවුරු නිරවුල් කෙරෙත් දරූ යන මෙම ප‍‍්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර,

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකො භික්ඛු
සො ඉමං විජටයෙ ජටං

සීලයෙහි පිහිටන දක්‍ෂ ප‍‍්‍රඥාවන්ත භික්‍ෂුව සිතත්, ප‍‍්‍රඥාවත් වඩා කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව මේ අවුල් ඉවත් කරන්නේ ය. යනුයි.

මෙසේ බුදුරදුන් ඉතා සංක්‍ෂිප්ත ලෙස දුන් මෙම පිළිතුර විස්තෘත ලෙස ඉදිරිපත් කිරීම විසුද්ධි මග්ගයේ දී සිදු වී තිබේ. ථෙරවාදී බුද්ධ ධර්මයට අයත් විශිෂ්ටතම නිර්මාණ කෘතියක් ලෙස බුද්ධඝෝෂ හිමියන් ගේ විසුද්ධි මාර්ගය සඳහන් කළ හැකි ය.

මෙම ලිපියේ ඉතිරි කොටස ඇසළ අමාවක (ජූලි 20) පත්‍රයේ පළවේ