Print this Article


අටවිසි බෝධි පුරාණය 02 :  බෝධි පුරාණයේ මූලාශ්‍ර

බෝධි පුරාණයේ මූලාශ්‍ර

මෙම ලිපියේ මුල් කොටස ඇසළ පුර පසළොස්වක (ජූලි 04) පත්‍රයේ පළවිය.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන අවධියෙහි භික්ෂූන් වහන්සේලා සඳහා දේශනා කළ මහාපදාන සූත්‍රය මහාවග්ගයට අයත් පළමු සූත්‍රය යි . එම සූත්‍රයෙහි සතර බුදුරජාණන් වහන්සේලා පිළිබඳ කරුණු අන්තර්ගත වේ. එම බුදුරජාණන් වහන්සේලාගේ ජන්ම භූමිය, මව්පියන් හා කුලය, උන්වහන්සේලාගේ ජීවන කාලය, ශාසනයේ පැවැත්ම හා උන්වහන්සේලා පිටදුන් බෝධීන් වහන්සේලා ආදී වශයෙන් එම සූත්‍රයෙහි කරුණු රැසක් අන්තර්ගත ය.

මෙකී ව්‍යවහාරය පිළිබඳ ව්‍යාකරණාත්මක පදනමක් ද තිබෙන බව පැරැණි ග්‍රන්ථවල සඳහන් වේ. එනම් උපචාරනය යනුවෙනි.

විශේෂයෙන් උපචාරනය යන සංකල්පය ථේරවාද න්‍යායෙහි පැහැදිලි කර දී ඇත්තේ මෙසේ ය. එනම්, උපචාර යනු, ළඟ හැසිරීම ය. මීට අභේදෝපචාර ය යි ද කියනු ලැබේ. වචන දෙකක් එකට කීමේ දී එක් වචනයකින් වාච්‍යාර්ථය නොව ඒ අසුරෙන් ගැනෙන වෙනත් අර්ථයක් ගැනෙනේ ය. මෙබඳු තන්හි උපචාරනය යෙදේ . උදාහරණයක් මුලසුනේ දෙසුමයි කී විට මුලසුනේ සිටින පුද්ගලයාගේ දෙසුම බව වැටහේ. අසුන්දේශනා කරන්නේ නැත. මේ අයුරින් නොයෙක් ආචාර්යවරයන්ගේ නය නොයෙක් ලෙසින් ප්‍රබේදගත කොට ඇත.

මේ අනුව සිදුහත් තවුසාණන්ට බුද්ධත්වය ලබාගැනීමේ දී වැඩසිටීමට ආධාර වූ අශ්වත්ථ , අස්සත්ථ , වනස්පති ආදී වචනවලින් හැදින්වෙන. වෘක්ෂය බුද්ධත්වයෙන් පසුව බෝධින් වහන්සේ නමින් හැදින්විණි. මෙය ඉහත උපචාරනය අනුව සිද්ධ වූ බව ද ප්‍රකට වේ. විශේෂයෙන් ම මහා වග්ග පාලියේ මහාඛන්දකයේ බෝධිරුක්ඛමූල යනුවෙන් බෝධි යන වචනය ම සදහන් වේ.

තවදුරටත් මෙය පැහැදිලි කරන්නේ නම්, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සඳහා වැඩ සිටි ස්ථානය හෙවත් සෙවන දුන් රුක බෝධිය වශයෙන් සලකා ඇති බැවින් බෝධි යන වචනය යනු කුමක්ද යනුවෙන් තවදුරටත් පැහැදිලි කර ගත යුතු ය.

බෝසතාණන් වහන්සේලාට බුද්ධත්වය ලබාගැනීමේදී ආධාර වූ වෘක්ෂ පිළිබඳ ව විමසීමේදී දීඝ නිකායේ මහාපදාන සූත්‍රය ඉතාම වැදගත් වේ. දීඝ නිකාය සූත්‍ර පිටකයට අයති ග්‍රන්ථයකි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉතා දීර්ඝ සූත්‍ර ධර්ම තිස් හතරකින් දීඝ නිකාය සමන්විත වේ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන අවධියෙහි භික්ෂූන් වහන්සේලා සඳහා දේශනා කළ මහාපදාන සූත්‍රය මහාවග්ගයට අයත් පළමු සූත්‍රය යි . එම සූත්‍රයෙහි සිව් බුදුරජාණන් වහන්සේලා පිළිබඳ කරුණු අන්තර්ගත වේ. එම බුදුරජාණන් වහන්සේලාගේ ජන්ම භූමිය, මව්පියන් හා කුලය, උන්වහන්සේලාගේ ජීවන කාලය, ශාසනයේ පැවැත්ම හා උන්වහන්සේලා පිටදුන් බෝධීන් වහන්සේලා ආදී වශයෙන් එම සූත්‍රයෙහි කරුණු රැසක් අන්තර්ගත ය.

ති‍්‍රපිටකයේ සූත්‍ර පිටකය තුළ ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ පහළොවට අන්තර්ගත වන බුද්ධ වංසය ග්‍රන්ථයෙහි බුදුරජාණන් වහන්සේලා විසි පස්නමක් පිළිබඳව තොරතුරු සඳහන්ව ඇත. බුද්ධවංසය කොටස් තුනකට බෙදේ. බුද්ධවංසය යනු කුමක් දැ යි බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ සංඥාපනයෙහි සඳහන් වී ඇත්තේ මෙපරිද්දෙනි. එනම්, “චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයක් මුළුල්ලේ ඒ ඒ අවස්ථාවේහි සම්‍යක් සම්බෝධි සමධිගම කළ දීපංකර තථාගතයන් වහන්සේ පටන් කොට අප ගෞතම තථාගතයන් වහන්සේ තාක් පස්විසි බුදුකෙනෙකුන් වහන්සේගේ ප්‍රවේණියේ විස්තර කථාව බුද්ධවංස නම් වේ.” යනුවෙනි.

මෙම ලිපියේ ඉතිරි කොටස ඇසළ අමාවක (ජූලි 20 ) පත්‍රයේ පළවේ.