Print this Article


ශාසනය වනසන හැටි පැවසෙන සද්ධම්ම පතිරූපක සූත්‍රය

ශාසනය වනසන හැටි පැවසෙන සද්ධම්ම පතිරූපක සූත්‍රය

සංයුත්ත නිකාය නම් ත්‍රිපිටක ග්‍රන්ථයේ කස්සප සංයුත්තයේ අවසන් සූත්‍රය සද්ධම්ම පතිරූපක සූත්‍රයයි.

මෙය තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා අවබෝධ කොට දේශනා කළ, ධර්මය වනසන පුද්ගලයන් පිළිබඳ ව උන්වහන්සේ විසින් ම හෙළි පෙහෙළි කළ සූත්‍ර දේශනාවකි. බුදුරදුන් ලොවට හෙළි කළ දහම රන් මිණි මුතුවලට වඩා වටිනා බව අපි දනිමු. එයින් ලොව අදටත් අත් විඳීන සහනය හා සැනසිල්ල මිල කළ නො හැකි ය. කුහුඹුවාගේ සිට චක්‍රවර්තී නරපතියන් දක්වා සත්ත්ව වර්ගයා ද, විශ්වයේ පැතිර පවතින්නා වූ සකලවිධ ජීවී අජීවී පරිසරය ද, අවනත වූ දහමත්, බුහුමන් කළ දහමත් ශ්‍රී සුගත තථාගත සද්ධර්මයම වේ.

මෙම දහම ගැඹුරු බුද්ධියක් මෙන්ම පිවිතුරු ශ්‍රද්ධාවක් ඇතිව රැක ගැනීමට වෙහෙසෙන්නා වූ උතුමෝ බොහෝ වූ අතර, අද ද එසේම සිටිති. එමෙන්ම එය දැන හෝ නොදැන වනසන්නන් ද අපමණ බව හැඟෙන විට ඇති වන බලවත් සංවේගය සත්පුරුෂ ලෝකයාට පොදු කරුණකි.

රත්රන්, ලෝකයේ වටිනා ලෝහ වර්ගයක් බව අපි කවුරුත් හොඳීන් දනිමු. යකඩ, තඹ, පිත්තල ආදී අනෙක් කිසිදු ලෝහ වර්ගයකින් එයට අභියෝගයක් නැත. ඒවා රත්රන් නොවන බැවිනි. එහෙත් රත්රන් නොවන, රත්රන් වැනි ලෝහයක් බිහිවීම ගැටලුවකි. වෙනත් විධියකින් කිවහොත් ඉමිටේෂන් රත්රන් යැයි සිතා රැවටීමට ලක් වෙති. සද්ධර්මයේ පැවැත්ම සම්බන්ධයෙන් කතාව ද මෙබඳු ය. වෙනත් ආගම් හෝ දර්ශනවාද නිසා බුදුදහමට හෝ සද්ධර්මයට කිසිදු හානියක් සිදු නොවේ. එහෙත් වර්තමාන ලෝකයේ බුදුදහම යැයි පවසමින් අසද්ධර්මය පෙන්වා දෙන පුද්ගලයන් නිසා තථාගත දේශිත ශ්‍රී සද්ධර්මයට සිදු වන්නේ බලවත් හානියකි. මෙම කරුණ පිළිබඳ ව සද්ධම්ම පතිරූපක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සාකච්ඡාවට බඳුන් කොට ඇත.

සද්ධම්ම පතිරූපක සූත්‍රයේ නිදාන කතාව කෙටියෙන් මෙසේ ය. බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන දිනෙක ආයුෂ්මත් කස්සප තෙරණුවෝ එතැනට එළඹියහ. බුදුරදුන් නැමඳ එකත් පසෙක වැඩසිටි උන්වහන්සේ තම සිත තුළ පැන නැඟුණු ගැටලුවක් බුදුරදුන්ට මෙසේ ඉදිරිපත් කළහ. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පෙර ශික්ෂාපද ඉතා අඩු ප්‍රමාණයක් පණවා තිබුණු සමයෙහි බොහෝ දෙනා රහත් වූහ. දැන් ඉතා වැඩි ප්‍රමාණයක් ශික්ෂාපද ඇතත් රහත් වන්නේ ඉතා අඩු ප්‍රමාණයකි. මෙයට හේතුව කුමක්ද යන්න උන්වහන්සේගේ ප්‍රශ්නයයි.

බුදුරජාණන් වහන්සේ කිසිදු පැකිළීමකින් තොරව එයට ලබාදුන් ඍජු පිළිතුර මෙසේ ය.

කාශ්‍යපය, සත්ත්වයන් පිරිහෙන කල්හි, සද්ධර්මය අතුරුදන් වන කාලයෙහි ලෝකයේ නීති රීති, ශික්ෂාපද බෙහෝ ඇතිවේ. එවිට ඉතා ස්වල්පයක් භික්ෂූහු රහත් වෙති. යම්තාක් ලෝකයේ සද්ධර්ම ප්‍රතිරූපකයන් හෙවත් පෙනුමෙන් සද්ධර්මය වැන්නක් නූපදී ද ඒතාක් සද්ධර්මය විනාශ නොවේ. නිදසුනක් කිවහොත් පෙනුමෙන් රත්රන් වැනි දෙයක් ලෝකයේ නූපදීද, ඒතාක් ලෝකයේ රත්රන් අතුරුදන් නොවේ. එසේම පෙනුමෙන් රත්රන් වැනි දේ ලෝකයේ පහළ වේ ද, එකලට රත්රන් අතුරුදන් වේ. සද්ධර්මයට සිදුවන්නේ ද ඊට සමාන දෙයකි. එනම් සද්ධර්මය නොවන දේ සද්ධර්මය මෙන් ප්‍රකට කරන්නන් නිසා සද්ධර්මය වැනසීමට පටන් ගනී.

මෙම කරුණ පැහැදිලි කළ බුදුන් වහන්සේ එය තවදුරටත් පැහැදිලි කරමින් වදාළේ ලෝකයේ මහා පර්වත ගස්, ගල් ආදී ඝන වස්තූන්ට සද්ධර්මයට හානියක් කළ නො හැකි බව ය. මහා ගංවතුර, දියසුළි ආදියට නැතහොත් ආපෝ ධාතුවට එබඳු වැනසීමක් කළ නො හැකි ය. ගින්නක් හෝ නියඟයක් වැනි තේජෝ ධාතුව ආශ්‍රිත කිසිවක් සද්ධර්මය නො වනසයි. වායෝ ධාතුව ආශ්‍රිත සුළි සුළං ආදී කිසිවකට ද එබඳු හානියක් කළ නො හැකි ය. එහෙත් මේ ශාසනයෙහි ම සද්ධර්මය අන්තර්ධාන කරන්නා වූ මෝඩ හිස් පුරුෂයෝ උපදිති. මෙම සූත්‍රයේ දක්වන පරිදි සද්ධර්මයට සිදුවන විශාලම අපරාධය වන්නේ මිනිස් ප්‍රජාවගෙන් ය.

සද්ධර්මයේ පැවැත්ම පිළිබඳ ව සාකච්ඡා කරන ඇතමුන් බණ භාවනා කිරීම ම ශාසන සුරක්ෂිතතාවට පිළියම යැයි පවසන අවස්ථා ඇත. හැදෑරීම්, වනපොත් කිරීම ආදී අනෙකුත් දේ සම්බන්ධයෙන් විමති පවසති. එහෙත් මෙම සූත්‍රය දක්වන පරිදි පර්යාප්ති (ඉගෙනීම) හා ප්‍රතිපත්ති බහුලවීම නිසා සද්ධර්මයට හානියක් නොවේ. නැවක බඩු භාණ්ඩ වැඩි වීමෙන් ජලයේ ගිලී යාමක් සිදු නොවේ. එමෙන් පර්යාප්ති ප්‍රතිපත්ති බහුල වීමෙන් සද්ධර්මය නො වැනසේ. මේ නිසා තථාගත දේශිත ශ්‍රී සද්ධර්මය ලෝක සත්ත්වයාගේ අනන්ත අප්‍රමාණ වූ යහපත සඳහා රැකිය යුතු හෙයින් ආත්මීය වශයෙන් අප විසින් කළ යුත්තේ කුමක් දැයි සිතීම අපගේ වගකීමක් බව තේරුම් ගත යුතු ය.

ඉහත කී කරුණු අනුව තමා සද්ධර්ම ප්‍රතිරූපකයෙක් දැයි ඔබට තීරණය කළ හැකි ද?. ගිහි වුවත් පැවිදි වුවත්, අප සෑම කෙනෙකු ම ඍජුව හෝ වක්‍රව මෙම පාප කර්මයට සම්බන්ධ වීමේ හැකියාවක් පවතී. ඔබ තුළ අව්‍යාජත්වය නොමැති නම් ඒ වෙනුවට ඇත්තේ ව්‍යාජ බව නම් ඔබ සද්ධර්මය වනසන සද්ධර්ම ප්‍රතිරූපකයෙකි. ඔබට ඔබ ගැන ම නිගමනයකට පැමිණීම සඳහා සද්ධර්ම ප්‍රතිරූපකයෙකුගේ ලක්ෂණ සූත්‍රය දක්වන පරිදිම හකුළා දැක්විය හැකි ය. ඒ අනුව කෙනෙකුට ක්‍රම පහකින් තථාගත ශ්‍රී සද්ධර්මය වැනසිය හැකි ය. සද්ධර්මය වැනසීමට උත්සාහ කරන පුද්ගලයන් ගැන පසෙකලා එය සුරැකීමට උපස්තම්භක වන ක්‍රම පිළිබඳ ව පමණක් මෙහි ලා දක්වනු ලැබේ.

ඉන් පළමුවැන්න භික්ෂු - භික්ෂුණී, උපාසක - උපාසිකා වශයෙන් අප ශාස්තෘන් වහන්සේ කෙරෙහි ඉමහත් ගෞරව සම්මාන සහිතව, යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කිරීමයි. යමෙක් එසේ නො කරන්නේ නම් ඔහු සද්ධර්ම ප්‍රතිරූපකයෙකි. දෙවැන්න ධර්මය කෙරෙහි ගරු බුහුමන් හා යටහත් පහත් පවතුම් ඇතිව එය පිළිපැදීමයි. යමෙක් එසේ නො කරන්නේ නම් ඔහු ද සද්ධර්ම ප්‍රතිරූපකයෙකි.

තෙවැන්න සංඝරත්නය කෙරෙහි ගරු බුහුමන් හා යටහත් පහත් පැවතුම් දක්වමින් ජීවත් වීමයි. ඊට ප්‍රතිපක්ෂ ව යමෙක් ක්‍රියා කරයි නම් ඔහු ද සද්ධර්මය වනසන අයෙකි. සිවුවැන්න වන්නේ ශික්ෂාපද කෙරෙහි ගරු බුහුමන් දක්වමින් ඒවා අනුව පැවතීමයි. ඒවාට දොස් නගමින් හා කඩ කරමින් යමෙක් ජීවත්වීමට උත්සාහ කෙරේ නම් ඔහු ද සද්ධර්මය වනසන්නා වූ පුද්ගලයෙක් වේ. පස්වැනි කරුණ වන්නේ සමාධිය කෙරෙහි ගෞරව සහිත ව, යටහත් පහත් පැවතුම් ඇති ව ආධ්‍යාත්මය දියුණු කිරීමයි. එබඳු සමාධියක් කෙරෙහි ගරු බුහුමන් රහිත වික්ෂිප්ත මනසින් සසුන තුළ යමෙක් හැසිරේ නම් ඔහු ද තථාගත ශ්‍රී සද්ධර්මයට හානි කරන්නා වූ සද්ධර්ම ප්‍රතිරූපකයෙක් ම වේ.

සසර දිගු ගමනක නිරත ව අප්‍රතිහත ධෛර්යකින් පාරමී ධර්මයන් පුරා අවබෝධ කොට ගත් දහමේ පැවැත්ම ගැන තථාගත බුදුපියාණන් වහන්සේ ගැඹුරින් සිතන්නට ඇත. එසේම එහි පැවැත්ම හා පැවැත්මට හානිකර දේ පිළිබඳවත් විනිවිද දකින්නට ඇත. සද්ධර්මයට හානියක් ගස් ගල්, පර්වත, ගිනි කඳු, සාගර, ගංගා, වා සුළි ආදි ස්වභාව ධර්මයේ කිසිදු වස්තුවක් ස්ථිරව ම සිදු නොකරන බව වදාළ බුදුන් වහන්සේ එය සිදු වන්නේ මිනිසුන් අතින් ම බව පැවසීම අතිශය බැරෑරුම් ප්‍රකාශයකි. එක් පසෙකින් එය නිරාගත වීමට තරම් බලවත් පාප කර්මයක් වන අතර, අනෙක් පසින් මනුෂ්‍ය ස්වභාවයේ පහත් බව හා පිළිකුල් සහගත බව පිළිබඳ අනාවරණයකි.

එබැවින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් වශයෙන් අප ආධ්‍යාත්මයෙන් විවෘත විය යුතු ය. සීලය වෙනුවට බොරු සීලයත්, සමාධිය වෙනුවට ව්‍යාජ සමාධියත්, සම්‍යක් ප්‍රඥාව වෙනුවට භෞතිකත්වය වැළඳගත් මිථ්‍යා ප්‍රඥාවත් ප්‍රකට කරමින් ශාසනයට හානි නො කළ යුතු ය. සද්ධම්ම පතිරූපක සූත්‍රයේ දැක්වූ ඉහත කරුණු තේරුම් ගැනීමෙන් ඔබටත් සද්ධර්මයේ සැබෑ හිමි කරුවෙකු වීමේ භාග්‍යය උදාකර ගත හැකි ය.