Print this Article


උතුරෙන් හෙළිවන බොදු අභිමානය : සපුමල්ගස්කඩ ඓතිහාසික පුරාණ රාජ මහා විහාරය

උතුරෙන් හෙළිවන බොදු අභිමානය

සපුමල්ගස්කඩ ඓතිහාසික පුරාණ රාජ මහා විහාරය


ප්‍රතිසංස්කරණය වන මහා සෑය

කාලයේ වැලි තලාවට හසුව වියැකී යන බොහෝ පෞරාණික දෑ මේ මහපොළව මත පැවතිය ද ලොව්තුරු බුදුරදුන්ගේ ආනුභාවයෙන් ප්‍රමුදිත වූ කිසිවක්, කෙදිනකවත් එසේ යටපත් ව විනාශ නොවන බැව් යථාර්ථයයි. එය මැනවින් හඳුනාගත හැකි පින්බිමක ආශ්චර්යය වසර ගණනාවකට පසුව යළිත් හෙළයන්ගේ උරුමයට එකතු වනුයේ එම ආනුභාවයේ අනුහස් මහපොළවේ උපදින නිසයි.

බුදුරදුන්ගේ පාද ස්පර්ශයෙන් පුණ්‍යවන්ත වූ භූමියක උරුමය ලද අප මේ මහා පොළවේ තවත් ඉසව්වක නොදුටු පින්බිමක තතු සොයා යන්නේ, උතුරුකරයේ බොදු උරුමය යළි උපදින මොහොතකයි.

වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැලෑ බෝගස්වැව සිංහල ගම්මානවලට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටා ඇති සපුමල්ගස්කඩ ඓතිහාසික පුරාණ රාජ මහා විහාර පින්බිමයි මේ. ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකම්වලින් පෝෂිත මේ පින් බිම ක්‍රි.ව. අටවැනි සියවස් කල රාජ්‍ය අනුග්‍රහයෙන් පෝෂිත ව සශ්‍රීක ව පැවැති බවට ශේෂව ඇති නටබුන් සාක්ෂි දරයි. එහෙත් මේ බිම කාලිංඝ මාඝ ආක්‍රමණයත් සමඟ ජනශූන්‍ය ව පැවැතෙන්නට ඇති බවයි සපුමල්ගස්කඩ පබ්බතාරාම පින්බිමේ විහාරාධිපති ගලිගමුවේ සන්තබෝධි හිමි සඳහන් කරනුයේ. රාජකීයන්ගේ පහස ලද පින්බිමක් වුව ද එහි පාලනය ලද හා ඉදිකළ විශේෂිත රජ කෙනෙකු පිළිබඳ කිසිදු ලිඛිත සාක්ෂියක් හමුවී නොමැත. එහෙත් වත්මනෙහි සිදුවන පුරා විද්‍යාත්මක කැණීම් මත එම ඉතිහාසය නුඳුරේදී ම හෙළි විය හැකි බවයි සන්තබෝධි හිමි සඳහන් කරනුයේ.

කලක් උතුරේ පාලනය රැගෙන ගිය සපුමල් බණ්ඩාර කුමාරයා මෙම පුණ්‍ය භූමියේ කටයුතු ඉදිකළ බව සඳහන් වෙන බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

තව ද වව්නියාව මඩුකන්ද විහාරස්ථානයේ වැඩ සිටි දළදා වහන්සේ ටික කලක් මෙම විහාර පින්බිමේ වැඩ සිටියා යැයි ජනප්‍රවාදයේ සඳහන් වෙන කරුණකි. එය මැනවින් තහවුරු වනුයේ විහාර පින් බිම වටා ඉදිකර තිබූ ආරක්ෂිත දිය අගල බව සන්තබෝධි හිමි සඳහන් කරනුයේ.

වසර පන්සියයකටත් එහා ගිය වයසින් යුත් කලුවර ගසින් වැසී ගිය මෙම පුණ්‍ය භූමියේ එම සාක්ෂි තවමත් නිරුපද්‍රිත ව ඇති අතර අක්කර දෙසීයක පමණ භූමියක් පුරා එහි නටබුන් විසිර පවතිනුයේ ප්‍රෞඪ ඉතිහාසයක සාක්ෂි හෙළිකරමිනි.

පෞරාණික චෛත්‍යයකින් ද, පිළිම ගෙය හා ආසනඝර කැටයම් සහිත කොරවක් ගල්, ගොඩනැගිලි ප්‍රතිමා, ගෘහය, ආරාම, සංකීර්ණ, බිසෝ කොටුව හා ඉපැරණි වැවකින් ද මෙම පුණ්‍ය භූමිය පෝෂිත ය.

පසුගිය කාලයේ රුදුරු ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැති මෙම විහාර පින්බිම ප්‍රදේශය තුල විනාශයන්හි සලකුණු තවමත් දැකගත හැකි නශ්ඨාවශේෂයන් ය.

එමෙන්ම කලක් නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුව තිබූ බවට සාක්ෂි ද මෙම විහාර පින්බිමේ තැනින් තැන දැකගත හැකි ය. අතීතයේ සිංහල ජනතාව සිටිය ද පසු කාලීන ව සිංහල ජන සමාජය එම ප්‍රදේශයේ ශූන්‍ය ව ගිය ද යළිත් පවුල් කිහිපයක් පින්බිම වටා එකතුව ඇති බැව් සන්තබෝධි හිමි පවසනුයේ සොම්නසිනි.

වව්නියාව බෝගස්වැව නෙඳුන්කේති අතුරු මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ ගිය පසු පෙරියකට්ටිකුලම් රක්ෂිතයේ පලු, වීර, කලුවර, පිරි ඝන කැලෑවක් මැද අද නිසොල්මනේ මෙම රාජමහා විහාර පින්බිම විරාජමාන ව ඇත. වනඅලි, වලස්, දිවි, මුවන්, ගෝනුන් පිරි පරිසරයක සිටිමින් මෙම උරුමය රකින්නට අද ගලිගමුවේ සන්නබෝධි හිමි දරන මෙහෙය අපමණ ය.

වත්මනෙහි රෝපිත රන්පත් බෝධීන් වහන්සේ නමකගේ හා බෝධි ප්‍රාකාරය බොදුනු බැතිමතුන් වෙනුවෙන් වන්දනීය ව මේ පින්බිමේ ඇත.

මෑත යුගයේ දීර්ඝ කාලයක් තුළ උතුරේ කිසිදු චෛත්‍යරාජයාණන් වහන්සේ නමක ප්‍රතිසංස්කරණය නොවූ බව අප දන්නා කරුණකි. එම ඉතිහාසයට නැවුම් පිටුවක් එක්කොට සපුමල්ගස්කඩ රාජමහා විහාරයේ පුරාණ සෑය අද ඇසළ පොහෝ දින රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය වනුයේ ජාතියට උරුමවන ශ්‍රේෂ්ඨ පින් බිමක් ලෙසිනි.

අනුරාධපුර අටමස්ථානයට අයත් ථූපාරාම, දාගැබ හා සමාන මෙම සෑය ජනාධිපති කාර්ය සාධක බලකාය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක්ව ඉදිකරනුයේ ලක්දිව බොදු උරුමයට වත්මනෙහි උතුරුකරෙන් හමුවන බොදු උරුමයේ අභිමානය එක්කරමිනි.