Print this Article


අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි චරිතාපදානය එළිදකී

අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි චරිතාපදානය එළිදකී

දුර්ලභ පුරුෂයන් පහළවීම හැමදාටම ලෝකයේ කොතැනකත් අතිශය දුර්ලභ කරුණක් ය. එවන් මහා පුරුෂයෙක් පහළ වූ ගමත්, රටත් නිරතුරුවම බබළන්නේ ය.


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්ධර අග්ගමහාපණ්ඩිත මහා මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහ නා හිමි

අලුත්කූරු කෝරලේ කොටුගොඩ ගම්මානය දියත පතළ වූයේ එවන් මහා දුර්ලභ යතිවරයාණන් වහන්සේ නිසා ය. ඒ අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් නිසාම යැයි කීම අතිශයෝක්තියක් නොවේ ය.

අසූ හත් වැනි වියෙහි පසුවන ධම්මාවාස නාහිමියන්ගේ ජීවිතයේ ගමන්මග පීරා මාධ්‍යවේදී උපාලි සමරසිංහ අතින් ලියැවුණු චරිතාපදානය පසුගිය දිනෙක ජනගත විය. පරිච්ඡේද නමයක් පුරා විහිදෙන මෙම චරිතාපදානය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ ජීවිතයේ සියලු තතු නිරාවරණය කොට ඇත.

1948 අගෝස්තු මස 17 දින පැවිදි දිවියට පිවිසි උන්වහන්සේ රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනෙහි සිය ආගමික අධ්‍යාපනය ආරම්භ කළහ.

එතැන් පටන් මෙරට ආගමික පුනර්ජීවනය මෙන්ම සමාජීය මෙහෙවර උදෙසා උන්වහන්සේ සිය ආගමික ජීවිතය කැප කළහ. කොටුගොඩ ධම්මාවාස මාහිමියන් මෙරට වඩාත් ප්‍රචලිත වූයේ මිහිරි බණ දේශනාවන් නිසා ය. උන්වහන්සේගේ දේශනා තුළ වාග් චාතුර්ය, මධුර බව, කන්කලුබව, ශ්‍රාවකයින්ගේ සිත ඇද බැඳ ගත්තේ ය. එමෙන්ම උන්වහන්සේ තුළ තිබූ කෘතහස්ත ලේඛන හැකියාව ද ඉතා ප්‍රබල එකක් විය.

මහණ දිවිය අරඹා ධර්මදූත මෙහෙවරෙහි නිරතවන උන්වහන්සේ මෙරට ගම් නියම් ගම්වලද, පසුව විදෙස් රට වලද ධර්මදූත සේවයෙහි යෙදුණේය. එමෙන්ම මෙරට පුනරුත්ථාපන කඳවුරුවල සිරකරුවන්ගේ සිත් දහම් සිසිලෙන් පෝෂිත කරන්නට සිදුකළ මෙහෙය අපමණ ය.

බුදුදහම සම්බන්ධයෙන් සමාජයේ විටින්විට පැණ නැගුණු විවිධ ප්‍රශ්නයන් සඳහා උන්වහන්සේ ඍජුව කරුණු ඉදිරිපත් කළ අතර එයින් නිවැරදි අවබෝධයක් සමාජගත කරන්නට සිය ඥානය මෙහෙය වූහ.

එවන් සමාජ හා ආගමික ප්‍රබෝධය උදෙසා කොටුගොඩ ධම්මාවාස නා හිමි කළ මෙහෙවර උන්වහන්සේගේ චරිතාපදානය ඔස්සේ ගොඩනගන්නට කතුවරයා උත්සාහ දරා තිබීම ප්‍රශංසනීය ය.

සිය ජීවිතයේ මෙරට ආගමික පුනර්ජීවනය උදෙසා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස මහා නා හිමිපාණන්ට ශාසනික මෙහෙවරෙහි යෙදෙන්නට සාධු සිතින් නමස්කාර පූර්වකව දිගාසිරි පතමු.