Print this Article


පහන් සිතක කවි

රාහුල මාතා දැක්ම

පෙරුම් පුරා ආවෙමි මුළු සසර පුරා
ලෝ සත දනන් දුක් ගින්නෙන් මුදන තුරා
සන්තානයේ දැල්වුණි මෙත් සිසිල පෙරා
හිමිසඳු බුදු වුණා මගෙ නෙත් තිබෙන තුරා

****

ඇසළ සඳ

වෙසක් පොසොන් සඳ බැස ගොස් ඇසළ සඳ
පායාලා නිල් ගුවනේ දිලෙන විට
මුළු ලොව සිසාරා රැස් කඳ බෙදන විට
සිහිවේ උතුම් බුදු හිමිගේ නිමල ගුණ

බෝසත් කුමරු මහමායා මවු කුසෙහී
ඇසළ පෝයදා ගැබ්ගත් සිරි අසිරී
අබිනික්මන් කළ රෑ ගුවනේ දිලිහී
ඇසළ සඳේ ඔබ සිටියා එළිය දිදී

සම්බුදු පදවි ලැබ කරමින් කෙලෙස් දුරු
ඉසිපතනයේ මිගදායට වැඩම කෙරු
පස්වග තවුස් වෙත දම්දක් දෙසූ බුදු
හිමි දුටු ඇසළ සඳ අදටත් නුඹෙහි ගුරු

****

අබිනික්මන

සතර පෙර නිමිති දුටු ගිහි දිවියෙ දැක නුහුරු
නොතිර ජීවිතයෙ තතු හැඳින සිදුහත් කුමරු
අතැර තමනට උරුම රාජ සම්පත් ඉසුරු
එතෙර විය ගං තෙරෙන් චන්න සමඟින් මිතුරු

පැළැඳි අභරණ සේල හනික පොදිබැඳ එකට
කරුණු පැහැදිලි කරන් දුණි චන්න මැති අතට
ගමන දෙස බලා සිටි කුමරු යන මඟ එපිට
පිනැති කන්ථක එතැන මියැදුණා ලද දුකට

****

කාලය

අතීතේ
අනාගතේ
වත්මනේ
සිතිවිල්ලක්
කාලයක් නැහැ
කාලයම
මිත්‍යාවක්

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.