Print this Article


ගමන් මඟ කිව නොහැකි රහත් මඟ

ගමන් මඟ කිව නොහැකි රහත් මඟ

බුදුරදුන් කල සිටි වංගීස බමුණා මිය ගිය අයගේ හිස් කබල් ගෙන, එයට නිය පොත්තෙන් තට්ටු කොට ඔහු ඉපදී ඇත්තේ කොහේද යන්න පවසයි. එය කෙනෙකුට ඇති සුවිශේෂී හැකියාවක් බව අමුතුවෙන් කිවයුතු නැත.""

භවයෙන් භවයට සැරිසරන සත්ත්වයා සංසාර චක්‍රයට හසු වී ඇත. එක භවයක් අවසන් කොට අලුත් භවයකට පිවිසීම එහි ස්වභාවය යි. එම සැරි සැරීමේ දී කාම රූප, අරූපාදී, ලෝකවලට මාරුවෙන් මාරුවට හසු වේ. එහෙත් බහුල වශයෙන් කාම ලෝකවලට අයත් සතර අපාය, දිව්‍ය ලෝකය හා මිනිස් ලෝකය, තුළ සැරි සැරීම පුහුදුන් මානසිකත්වයට අනුව සාමාන්‍ය ස්වභාවයයි. එයිනුත් බොහෝ පිරිසක් අභෞව්‍යස්ථානවල සැරි සරන අතර, ස්වල්ප දෙනෙක් පමණක් සුගතිවල උපදිනු ඇත.

බව ගමනෙහි මිනිස් ලෝකයේ ඉපදීමට ලැබීම ඉතා භාග්‍ය සම්පන්න ය. මිනිසෙක් වී ඉපදීම දුර්ලභ කරුණක් වශයෙන් බුදුදහම පෙන්වා දී ඇත. උසස් මනසක් ඇතිව ඉපදීම එහි විශේෂත්වය යි. සාමාන්‍ය වශයෙන් අවුරුදු සියක්, එකසිය විස්සක් මිනිසාට පරමායුෂ තිබුණ ද, වර්තමානය වන විට පරමායුෂ හැටක්, හැත්තෑවක් පමණ අවම ප්‍රමාණයට සීමා වී තිබේ.

කෙටි කාලයක් තුළ ජීවත් වන මිනිසා ආයුෂ අවසන් වූ කල මිය යනු ඇත. ආයුෂ හා විඥානය පහ වූ කල දර කැබැල්ලක් සේ මෙම ශරීරය අක්‍රීය වනු ඇත. ඊටපසු ඔහු වෙනත් භවයකට සම්බන්ධකම් කියනු ඇත. ශරීරය පොළවට වැළලූ කල, පස් බවට පත් වී පොහොර වනු ඇත. මරණින් පසු කුමන තැනකට ගියා ද කියන වග නිශ්චිත වශයෙන් ම කීමට අපහසු ය.

ශරීරයක් පරීක්ෂා කොට ශරීරයට සිදු වූ හානිය පිළිබඳ ඒ ඒ ලක්ෂණ පරීක්ෂා කොට කීමට වෛද්‍ය විද්‍යාවට අනුව සමත්කම් දැක්වුව ද, මිය ගියාට පසු කො තැනට ගියා ද, කො තැනක ඉපදුණා ද කියා කීමට සමත්කම් දක්වන්නෝ නොවෙති.

ශරීරය විනාශ වූයේ බාහිර බලපෑමකින් ද, යම් කෙනෙකුගේ පහර දීමකින් ද, නැත්නම් වෙඩි තැබීමකින් ද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තාවක් දීමට ඔවුනට පුළුවන්කමක් ඇතත්, මියගොස් නැවත උපදින තැන කො තැනද කියා කීමට හෝ ඒ පිළිබඳ සහතිකයක් දීමට සමත්කමක් දක්වන්නෝ විරල වෙති.

බුදුන් දවස සිටි වංගීස නම් බමුණා මියගොස් ඉපදෙන තැන කීමට තරම් සුවිශේෂී හැකියාවක් තිබූ බමුණෙකි. ධම්ම පදයේ ඒ පිළිබඳව කතා පුවතක් ඇත. බුදුරදුන් කල සිටි වංගීස බමුණා මිය ගිය අයගේ හිස් කබල් ගෙන, එයට නිය පොත්තෙන් තට්ටු කොට ඔහු ඉපදී ඇත්තේ කොහේද යන්න පවසයි. එය කෙනෙකුට ඇති සුවිශේෂී හැකියාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඔහුගේ හැකියාවට අනුව හිස් කබල්වලට තට්ටු කොට,

නිරයෙහි උපන් කෙනෙකුගේ ය මේ හිස

තිරිසන් යෝනියෙහි උපන් කෙනෙකුගේ ය මේ හිස

ප්‍රේත ලෝකයෙහි උපන් කෙනෙකුගේ ය මේ හිස

මිනිස් ලෝකයෙහි උපන් කෙනෙකුගේය මේ හිස

දෙව්ලොව උපන් කෙනෙකුගේ ය මේ හිස

ආදී වශයෙන් කීමට ඔහුට හැකියාවක් තිබුණි. විවිධ මිනිසුන් තම තමන්ගේ ඥාති සමූහයා, පවුලේ කෙනෙකු මියගියාට පසු කොතැනක උපන්නේ ද කියා දැන ගැනීමට වංගීස බමුණා ළඟට හිස් කබල රැගෙන ඒම සුලභ ව සිදු වන්නක් විය. ඔහුට විශාල වශයෙන් මුදල් ද ඒ සඳහා ලබා ගැනීමට හැකි විය.

නුවර වැසියන් මේ බමුණාගේ දක්ෂතාවය නිසා ම බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නට විය. පසුව බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙකුගේ හිස් කබලක් දී 'බමුණ ඔබ කෙනෙකු මියගිය පසු උපදින තැන් කීමට සමර්ථයක් බව දැන ගන්නට ලැබිණ.

එසේනම්, මේ හිස් කබල පරීක්ෂාකොට ඔහු ගිය මඟ කිවහැකිදැ'යි ප්‍රශ්න කළහ. පසුව වංගීස බමුණා එම හිස් කබල ගෙන නියෙන් තට්ටුකොට ඒ පිළිබඳ කිසිවක් කීමට අපහසුව ලජ්ජාවෙන් මිරිකි මිරිකී සිටියේ ය.

පසුව බුදුරදුන් මතක් කර සිටින්නේ "බමුණ, ඔහු ගියමඟ මම දනිමි" යනුවෙනි. පසුව එම මන්ත්‍රය කුමක්දැයි, එය මටත් කියා දෙන්නැයි යනුවෙන් ඉල්ලා සිටියේ ය. බුදුහිමි ඔහුට දේශනා කළේ එම මන්ත්‍රය දැන ගැනීමට නම් පැවිදි ව, වත් පිළිවෙත් ඉටුකොට, බවුන් වැඩීම කළ යුතු බව ය. පසුව වංගීස බමුණා පැවිදි ව, ප්‍රතිපත්ති පුරමින් විදසුන් වඩා රහත් භාවය ද ලැබී ය. බුදුසසුන තුළ වංගීස තෙරුන් යනුවෙන් ප්‍රකට වූයේ ය.

රහතන් වහන්සේ කෙනෙකු යනු දස සංයෝජන ධර්ම සිඳ බිඳ දා උතුම් නිවන් සුවයට පත් වූ උත්තමයෙකි. එවැනි උත්තමයෙකුගේ හිස් කබලක් හෝ ශරීර ඇට කැබැල්ලක් සාමාන්‍ය කෙලෙස් බරිත කෙනෙකුට පරීක්ෂණය කිරීම අපහසු කාර්යයකි. පුහුදුන් බුද්ධියට ඔවුන්ගේ පිරිනිවීමෙන් පසු ගිය මඟ කීම අපහසු ය. එය හරියට කුරුල්ලන් අහසේ ඉගිලී යෑමෙන් පසු ගිය මඟ කීමට අපහසු වූවාක් මෙනි. ඒ බව ධම්ම පදයේ අරහත්ත වග්ගය තුළින් පැහැදිලි වේ.

යෙසං සන්නිචයො නත්ථි
යෙ පරිඤ්ඤාතභොජනා
සුඤ්ඤතො අනිමිත්තො ච
විමොක්ඛො යස්ස ගොචොරො
ආකාසෙව සකුත්තානං
ගති තෙසං දුරන්නයා

නිවන අරමුණ කොටගත් රහතන් වහන්සේගේ ස්වභාවය දැන ගැනීම අපහසු ය. අහසේ පක්ෂීන් ගිය මඟ නො දත හැකිවාක් මෙනි.

රහතන් වහන්සේ පිළිබඳ ත්‍රිපිටකය තුළ සඳහන් කරුණුවලට අනුව රහතන් වහන්සේගේ ස්වභාවය, ඉපදීම කෙනෙකුට නො දත හැකි ය. එය බුදු කෙනෙකුගේ ම ඥානයට හසු වන්නකි. අද වුව ද සෝවාන්, සකෘදගාමි, අනාගාමි හෝ අර්හත් වී ඇති කෙනෙකු සිටිද්ද, නැද්ද කීම අපහසු ය. ඔවුන් කිසි දිනක සෝවාන් වූවා හෝ රහත් වූවා හෝ කියා ප්‍රකට නොවෙති.නමුදු එසේ කියන ඇතැම් පිරිසක් භික්ෂු සමාජයේ හා ගිහි සමාජයේ දක්නට ලැබේ. එය දසමාර සේනාවන්ගෙන් එකක් හැටියට පෙන්වා දීමට පුළුවන. බොරු සිල් පෙන්වමින්, සතර මඟ හා ඵලවලට පත් වූ ආකාරයෙන් අනුන්ගේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවීම ඔවුන්ගේ එකම අරමුණ වී ඇත.

රහතන් වහන්සේගේ ගුණ නො දැන රහතන් වහන්සේට නින්දා, අපහාස කිරීම හෝ තාඩන, පීඩන කිරීම තුළින් සිදුවන අකුසලය ඉතා බරපළ ය. රහතන් වහන්සේ මැරීම, ආනන්තරිය පාපකර්ම වලින් ද එකක් වන්නේ ය.

මහරහතුන්ගේ චරිත කතා සම්බන්ධ කොටගෙන ප්‍රතිපත්ති පිරීම සිදු කළ යුතුව ඇත. එතුළින් සතර මඟ හා ඵලත්, නිවන් සුවයත් ක්ෂාත් ක්ෂාත් කර ගැනීමට පුළුවන් කමක් ඇත.