[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙමසකට පෙර අපවත් වී වදාළ වෙඬරුවේ විජිත හිමියෝ

තෙමසකට පෙර අපවත් වී වදාළ වෙඬරුවේ විජිත හිමියෝ

පොල්ගස්ඕවිට, හෙරලියාවල, ශ්‍රී සුධර්මාරාමය, මාලඹේ ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරාධිපති ව වැඩ විසූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික, වෙඬරුවේ විජිත ස්වාමීන් වහන්සේ අපවත් වී 2020 ජූනි මස 18 දිනට තෙමසක් සපිරෙයි.

රාජපක්ෂ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා හා හේරත් මුදියන්සේලාගේ සේකර මැණිකේ යන දෙපළට දාව 1964 මැයි 14 දින තෙල්දෙනිය වෙඬරුව ගම්මානයේ දී විජේරත්න බණ්ඩා නමින් මෙම කුල කුමරු ජන්ම ලාභය ලැබී ය. 1979 මාර්තු 01 දින උපන් ගමේ ම කිරි විහාරය නම් වූ විහාරස්ථානයේ දී වෙඬරුවේ විජිත නමින් පැවිදි බිමට ඇතුළත් විය.

විජිත හිමියන්ගේ ගුරු හිමියන් වූවේ ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධූරය දැරූ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති විද්‍යා විශාරද වෙඬරුවේ අනෝමදස්සී නාහිමිපාණෝ ය.

පැවිදි වීමෙන් පසුව ගුරු හිමියන් වැඩ සිටි හෙරළියාවල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයට වැඩම කරමින් ශාසනික සේවාවට එක්විය.

හොරණ විද්‍යාරත්න පිරිවෙන්හි දී භික්ෂූන් වහන්සේ නමක වශයෙන් උගත යුතු බණ දහම් හා වත් පිළිවෙත් හදාරනු ලැබී ය. දහම් සිප් සතර හදාරා අවසන් කර 1984 පෙබරවාරි 11 දින කෝට්ටේ සංඝ සභා උපෝසථාගාරයේ දී උතුම් උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබී ය.

අනෝමදස්සී අනුනාහිමියෝ 1988 වසරේ දී අපවත්වීමෙන් පසුව විහාරස්ථානයේ විහාරාධිපති බවට පත් විය. පැවිදි හිමිනමක් ලෙසින් පුරා හතළිස් වසරක් උන්වහන්සේ වෙතින් සිදු වූ ආගමික, ශාසනික හා සමාජ මෙහෙවර තවත් දශක ගණනාවක් දායක කාරකාදීන්ගේ සුවිශේෂී ඇගයුමට ලක් වන්නාහ.

තම ගුරු හිමියන් ජීවත්ව සිටියදී ම 1987 දී එම විහාර බිමේ නව සංඝාවාසය සහිත උපෝසථාගාරය ගොඩනංවනු ලැබුවේ උන්වහන්සේ මැදිහත් වීමෙනි. අනතුරුව පුරාණ බෝරුක වටා දර්ශනීය අටවිසි බුදු කුටි සහිත බෝධි ප්‍රාකාරයක් ඉදිකළ අතර 2008 දී සමාධි බුද්ධ ප්‍රතිමාවක් ද පරිත්‍යාගශීලී අනුග්‍රාහකයකුගේ දායකත්වයෙන් වෙන්ව ස්ථාපිත කරන ලදී. පැරැණි බුද්ධ මන්දිරය 2000.11.22 දින ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානයක් ලෙසින් වැඩිදියුණු විය. ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නව බුද්ධ මන්දිරය 2018 දී පුළුල් කර වහළයට නව සිතුවම් යොදා පිළිසකර කරන ලදී. 2011 වසරේ දී පැරැණි සංඝාවාසය ඉවත් කර ධාතු මන්දිරය සහිත දාන ශාලාවක් හා දෙමහල් සංඝාවාසයක් ගොඩනැංවීම උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයකි. වේදිකාවක් සහිත ධර්ම මන්දිරයක් 2019 දී ගොඩනංවනු ලැබුවේ රාජ්‍ය අනුග්‍රහය ද පරිත්‍යාගශීලීන්ගේ ආධාර ද එක්කර ගනිමිනි.

1947 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී සුමනතිස්ස දහම් පාසල ද උන්වහන්සේගේ මූලිකත්වයෙන් නව පණක් ලදහ. මේ සමඟම මාලබේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන් අපවත්වීමෙන් පසුව මාලබේ බෞද්ධ මධ්‍යස්ථානය ද විජිත හිමියන්ගේ විහාරාධිපතිත්වයට පත්විය. අගහිඟකම් පිරි දූ දරුවන්ට පොත්පත් ප්‍රදානය, වෑතර රෝහල හා පිළිකා රෝහලට අවශ්‍යතා පිරිනැමීම, ගංවතුර වැනි විපත්වලදී ගම්වාසීන්ට සංග්‍රහ කිරීම, වාර්ෂික ව සිදුකරන දළදා මන්දිරයේ පුද පූජා උන්වහන්සේගේ ආගමික හා සමාජ මෙහෙවරයන්ට සාක්ෂි සපයනු ලබයි. සිය ගුරු හිමියන් අපවත්වීමෙන් පසුව සෑම වසරකදී ම අපවත් වූ නොවැම්බර් 26 දින කෘතවේදී ගුණානුස්මරණ පුණ්‍යෝත්සව පවත්වනු ලැබූ බව ද අමතක නොකළ යුත්තකි. දායක කාරකාදීන්ට වැඩි බරක් නොදී මෙවන් අතිවිශාල වටිනාකමකින් යුත් කාර්ය භාරයක් ඉටු කිරීම විශ්මය ජනක බව ද නොකියා නොහැක. හෙරලියාවල ශ්‍රී සුධර්මාරාමය විහාරස්ථානයක් සතුවිය යුතු සකලවිධ අංගෝපාංගයන්ගෙන් සමන්විත දැකුම්කළු පුද බිමක් ලෙසින් අද විරාජමාන වනුයේ උන්වහන්සේගේ මනා කළමනාකාරිත්වයත්, මානසික මෙන්ම කායික ශ්‍රමය පවා වැය කිරීමේත් ප්‍රතිඵල ලෙසිනි.

තෙමස් පූර්ණ පුණ්‍යොත්සවය ජූනි 15 දින ආරම්භ වේ. 15, 16, 17 තෙදින පස්වරු 7.00 ට දම් දෙසුම් සංවිධානය කර ඇත. වේඬරුවේ උපාලි අනු නාහිමි, මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නාහිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි ඒ සඳහා ඇරයුම් ලැබ තිබේ. ජූනි 18 දින දවල් ආචාර්ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාරාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන පනස් නමකට අධික සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවකි.

වත්මන් භාරකාර විහාරාධිපති පණ්ඩිත මකුරුප්පේ සෝමාලංකාර හිමියන්ගේ උපදෙස් හා මඟපෙන්වීම් මත සිදුකෙරෙන මෙම පුණ්‍යොත්ස්වය විහාරස්ථ දායක පිරිස් විසින් සංවිධානය කෙරේ.

   පොසොන් අමාවක පෝය 

පොසොන් අමාවක පෝය
ජුනි 20 සෙනසුරාදා පූර්ව භාග 11.52න් අමාවක ලබා 21 ඉරිදා අපර භාග 12.11ට පෝය ගෙවේ.
සෙනසුරාදා සිල්

මීළඟ පෝය 28 වනදා
ඉරිදා
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]