Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප : වෙහෙරගල අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය

වෙහෙරගල අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය

ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රබල ලෙස මහායාන බුදුසමයේ බලපෑම ඇති වූයේ ක්‍රිස්තු වර්ෂයෙන් අටවන සහ දහවන සියවස් අතර කාලයේ දී ය. ශ්‍රී ලංකාවේ අතිවිශාල හා මහා පරිමාණ බෝධිසත්ව ප්‍රතිමා අයත් වන්නේ මේ කාලයට ය. දඹේගොඩ හා වැලිගම අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමා ඒවාට අයත් පිළිම ගෙවල් තුළ පිහිටුවා තිබුණි. මීට ඉහතදී අපි මෙම ප්‍රතිමා දෙක පිළිබඳ විමසා බැලුවෙමු.

වෙහෙරගල අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ය. මේ පිළිබඳ මහාචාර්ය ලීලානන්ද පේ‍්‍රමතිලක මහතා මෙසේ සඳහන් කරයි. මෙම හිඳි පිළිමය ලෝකඩ වලින් නිර්මාණය කර, රන් ආලේපිත කර තිබේ. මෙහි උස සෙන්ටිමීටර් 49.8 කි. ශ්‍රී ලාංකික කලාව තුළ බෝධිසත්ව ප්‍රතිමාවල හිඳි ඉරියව්වේ ප්‍රචලිත ක්‍රමය බවට පත්වී ඇත. මෙම බෝධි සත්වයන් වහන්සේ හිඳ සිටින මහානුභාව සම්පන්න ඉරියව්ව වූ මහාරාජ ලීලාසන සහ සරල ලාලිතාසනය ඔසවා ගෙන සිටින දකුණු අතෙහි කටක හස්ත මුද්‍රාව නිරූපණය කර තිබේ. ඇතැම් විටෙක එහි රතු නෙළුමක්ද තිබෙන්නට ඇත. එය අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේගේ ආධ්‍යාත්මික උදාව සංකේතවත් කරන අංගය යි. මෙම ප්‍රතිමාව සරසා තිබෙන්නේ මුනිවරයකුගේ සරල වස්ත්‍රාභරණයෙනි. මේ බෝධිසත්වයන් වහන්සේ පැළඳ සිටින්නේ ජටාමකුටයකි. එහි මුදුණේ ඇතැම් කොටස් එම ප්‍රතමාවේ උරහිස තෙක් වැටී තිබේ.

(ශ්‍රී ලංකාවේ ලෝකඩ මූර්ති කලා උරුමය – ප්‍රධාන සංස්කාරක මහාචාර්ය ලීලානන්ද පේ‍්‍රමතිලක පි. 31- කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි 1995)

මෙම බෝධිසත්ව පිළිමය නිරූපණය කර ඇති අන්දමට දකුණු පාදය ආසනය මතද වම් පය පහතට හෙළා සිටින ලෙසින් නිර්මාණය කර තිබේ. වම අත වම් පයේ කලවයට පිටුපසින් සිටින සේ ආසනය මත තබාගෙන ඇත. මෙම ප්‍රතිමාවට අයත් ඇඳුම ඉතා කෙටි එකකි. එම ඇඳුම ඉදිරිපසින් පහළ ආසනය මත වැටී එල්ලා වැටෙන ලෙසින් නිර්මාණය කර ඇත. අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම රැසකම අමිතාභ බුදුරජාණන් වහන්සේගේ සමාධි පිළිමයක් නිර්මාණය කර තිබේ. මේ බව ඉතා පැහැදිලි ලෙසින් දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයෙහි දක්නට ලැබේ. මෙම ලෝකඩ ප්‍රතිමාවෙහි ජටා මකුටයේ ඇති හිඩසෙහි ද එවැනි රුවක් මැණික් ගලෙන් නිමවා තිබෙන්නට ඇතැයි සැලකේ. මෙම ප්‍රතිමාවෙහි උඩුකය ආවරණය කර ඇති සළුව උත්තර සාටකය ලෙස මූර්ති ශිල්පීහු හඳුන්වති. දෑත් වළලු පැළැඳ ඇති සේ නෙළා ඇති මෙම පිළිමය මදක් දකුණට නැමී සිටින සේ නිර්මාණය කර ඇත. එසේ නැවී සිටින ආකාරය අනුව උඩුකයෙහි ශරීරයේ රැළි ද ඉතාමත් ස්වභාවික ලෙසින් නිර්මාණය කර ඇත. මෙම බෝසත් පිළිමය වෙහෙරගලින් හමුවූ නිසා වෙහෙරගල අවලෝකිතේශ්වර බෝධි සත්ව පිළිමය ලෙසින් හැඳින්වේ. අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය දෙසට ඇති මහා මාර්ගයෙහි හැට දෙවැනි සැතපුම් කණුව අසලින් දකුණට හැරී මද දුරක් ගිය විට මෙම පිළිමය සහ තවත් ලෝකඩ බුදුපිළිම සහ තවත් පිළිම රැසක් හමුවී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1968 වර්ෂයේදී පිළිම ගෙයක් සෑදීම සඳහා අත්තිවාරමක් කපද්දී මෙම පිළිමය සහ තවත් බොහෝ ලෝකඩ නිර්මාණ රැසක් හමුවිය. ඒවා අතර හිඳි බුදුපිළිම, හිටිපිළිම රූකම් සහිත පා දෙකක්, සිරස් පතක්ද හමුවිය. මේ සියල්ලම ලෝකඩ වාත්තු ක්‍රමය යටතේ නිර්මාණය කර රන් ආලේප කර ඇත.

(හෙළ කලා විස්කම් – සිරිසමන් විජේතුංග පි. 91-93 -2010)

අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ පිළිබඳ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ බුදුවරු සහ බෝසත්වරු නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරති.

“අවලෝකිතේශ්වර බෝසතුන් හට බොහෝ උපමා රූපක ඇත. එයින් වඩාත් ප්‍රචලිත වන්නේ උන්වහන්සේ සංස්කෘත භාෂාවෙන් හඳුන්වා ඇති පද්මපානි (නෙළුම් මලක් උසුලන්නා) යන ලෝකේශ්වර (ලෝකයේ ශ්‍රේෂ්ඨයා) යන පද දෙකය. ගිණිකොන දිග ආසියාවේ වැඩිපුරම උන්වහන්සේ හඳුන්වන්නේ මේ නම් වලිනි. ප්‍රතිමා නිර්මාණ ශිල්පයේ දී උන්වහන්සේගේ මුදා ගැනීම් හා සම්බන්ධ සුවශේෂ ක්‍රියාකාරකම් මූර්තිමත් කිරීම සඳහා විවිධ ක්‍රමවේදයන් යොදා ගෙන ඇත. සාමාන්‍යයෙන් එකඟත්වයකට පැමිණ ඇත්තේ මෙම අවලෝකිතේශ්වර පූජා විධිය ආරම්භ වූයේ ඉන්දියාවේ වයඹ දිග දේශ සීමාවලින් බව ය. අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ සම්භාව්‍ය ගැන සෙවීමට බොහෝ විද්වතුන් පරිශ්‍රමයක් දරා ඇත. එහිදී විද්වතුන් වැඩි දෙනෙක් කල්පනා කරනු ලබන්නේ මහායාන දේව සමූහයා කිසියම් ආකාරයකින් හින්දු දේව විශ්වාස තාන්ත්‍රික ඉගැනවීම් ආදියෙහි බලපෑම් ද උපයෝගි කරගෙන සකස්වන්නට ඇති බවයි.

බුදුවරු සහ බෝසත්වරු සාහිත්‍යමය සහ ප්‍රතිමා විද්‍යාත්මක විවරණයක්) මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමි 2015)

පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ කලා ශිල්ප අතරේ ලෝකඩ වාස්තු ශිල්පය අපේ පැරැණි මූර්ති ශිල්පීන් කොතරම් දක්ෂ අන්දමින් යොදාගෙන තිබේද යන්න පිළිබඳ ලොව ඉතා ප්‍රකට භාවයට පත්වූ ප්‍රතිමාවක් ලෙසින් මෙය සැලකේ.