Print this Article


අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ උදානය

අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ උදානය

" සුළඟට ඇවිස්සිලා ගහගෙන යන දූවිලි, වැස්ස වහින කොට සංසිඳෙනවා. අන්න ඒ වගේ ප්‍රඥාව උපදවා ගෙන රාග සංකල්ප දිහා බලන විට ඒවා සංසිඳී යනවා."

පදුමුත්තර බුදුරදුන්ගේ කාලයෙහි හංසවතී නගරයෙහි, ගෘහපති මහාසාල කුලයෙහි ඉපිද, බුද්ධියෙන් මුහුකුරා ගොස් සිටි එක් තරුණයෙක් පදුමුත්තර බුදුරදුන් සමීපයේ බණ අසන්නට වුණා.

එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ ශාසනයෙහි පළමුවෙන් ධර්මය අවබෝධ කර ගන්නා අය අතරින් අග්‍රස්ථානයෙහි තබනු දැක තමා ද ඒ තනතුර ප්‍රාර්ථනා කරන්නට කැමැත්තක් ඒ තරුණයාතුළ ඉපදුණා.

එනිසා ඔහු ලක්ෂයක් භික්ෂුන් වහන්සේ පිරිවරා ගත් භාග්‍යවතුන් වහන්සේට දවස් හතක් මහා දානය පවත්වා උතුම් ප්‍රාර්ථනය සිදු කළා. භාග්‍යවතුන් වහන්සේ ද ඔහුගේ වාසනා සම්පත්තිය බලා පැතූ සම්පත්තිය සඳහා විවරණ දුන්නා. ඔහු දිවි ඇතිතෙක් පින් කොට ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑ පසුව සෑයක් ඉදිකර එහි රුවන් ගෙයක් ඉදි කළා. චෛත්‍යය පිරිවර දහසක් ඉදි කළා.

මෙසේ පින්කොට එයින් චුත ව දෙවි මිනිසුන් අතර සැප විඳ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මහාකාල නමින් තරුණයෙක් ව ඉපිද මී, ගිතෙල්, හකුරු ආදිය දමා ඇල්හාලින්, දිය නො මුසු කිරිබතක් පිළියෙළ කර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කළා. ගොයම් කපන කාලයේදීත්, ගොයම් හකුලන වාරයේදීත්, ගොයම් මිටි බඳින දිනයේත්, වී පාහින දවසේත්, ගබඩා කරන දිනයේත්, ගබඩාවල වී තැම්පත් කරන විටත් අග්‍ර ලෙස මහා දාන පූජා කළා.

මෙසේ එක් අවස්ථාවකට නව වරක් දන් පිදුවා. එසේ දිවි ඇතිතෙක් පින් කොට එයින් චුත ව දෙවියන් අතර ද, මිනිසුන් අතර ද ඉපිද සැප විඳ අපගේ ගෞතම බෝසතාණන් වහන්සේට පළමුව කපිලවස්තු නගරයේ නුදුරින් දෝණවත්ථු නම් ගමෙහි බ්‍රාහ්මණ මහාසාර කුලයේ ඉපදුණා. ඔහුට පරපුරෙන් ආ කොණ්ඩඤ්ඤ නම ලැබුණා. ඒ දරුවා වැඩිවියට පත්ව ත්‍රිවේදය, අංග ලක්ෂණ මන්ත්‍ර ද පරතෙරට ඉගෙන ගත්තා.

අපගේ බෝසතාණන් වහන්සේ තුසිත පුරයෙන් චුතව කපිල නගරයෙහි සුද්ධෝදන මහරජුන්ට දාව ඉපදුණා. ඒ කුමරුන්ට නම් තබන දිනයේ ආරාධිත එකසිය අටක් බමුණන් අතරින් අට දෙනෙක් අංග ලක්ෂණ විමසා බැලීමට ආරාධනා ලැබුවා. ඔවුන් අතරින් සියල්ලට ම වඩා නවකයෙක් වූ මේ කොණ්ඩඤ්ඤ බමුණා බෝසතුන්ගේ අංග ලක්ෂණ පරීක්ෂා කර ඒකාන්තයෙන් මොහු බුදු වන්නේ යැයි නිගමනය කර මහා බෝසතුන්ගේ අභිනිෂ්ක්‍රමණය බලාපොරොත්තුවෙන් ජීවත් වුණා.

බෝසතාණන් වහන්සේගේ ද මහත් පිරිවර සැප සහිතව හැදී වැඩී වයසින් මුහුකුරා ගොස් අභිනිෂ්ක්‍රමණය කොට අනෝමා ගංතෙර දී පැවිදි වී පිළිවෙළින් උරුවේලාවට ගොස් "සම්මා සම්බුදු වෙමි"යි සිතා වීර්යය කළා.

ඒ කාලයේ කොණ්ඩඤ්ඤ මානවකයා බෝසතුන් පැවිදි වූ බව අසා ශරීර ලක්ෂණ බැලීමට පැමිණි බමුණන්ගේ පුත්‍රයන් වූ වප්ප ආදී පස් දෙනෙක් සහිත ව පැවිදි වී බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ ඒ අවුුරුදු හයම උන්වහන්සේට උපස්ථාන සිදුකළා.

අප මහා බෝසතාණන් වහන්සේ ඒ අති දුෂ්කර වූ දුෂ්කර ක්‍රියාව අතහැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමට පටන් ගත් දා ඔවුන් එයට කළකිරී එතැනින් නික්ම ඉසිපතනයට ගොස් වාසය කළා. අපගේ බෝසතාණන් වහන්සේ ආහාර අනුභවයෙන් පසුව ලැබූ ශරීර කාය බල ඇතිව, වෙසක් මස පුන් පෝ දින ඇසතු බෝ මුල මාර පරාජය කොට බුදු බවට පත් වුණා. බුද්ධත්වයෙන් පසු උන්වහන්සේ සති ගණනක් ම බෝ මැඩ ගතකොට පස්වග මහණුන්ගේ නුවණ මුහුකුරා ගොස් ඇති බව දැන ඇසළ පුන් පෝ දින ඉසිපතනයට ගොස් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක. ඒ දේශනාව අවසානයේ දී කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ සෝතාපන්න ඵලයෙහි පිහිටුවූවා. උන්වහන්සේ අනත්තලක්ඛණ සූත්‍ර දේශනාව අසා රහත් බවට පත්වුණා. අරහත්වයට පත් වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ නිකෙලෙස් බව ප්‍රකට කරමින් මෙම ගාථා රත්නයන් වදාළ සේක.

සද්ධර්මයේ තිබෙන්නේ පුදුමාකාර රසයක්. මා ඒ සද්ධර්මය අසා බොහෝ පැහැදුණා. බුදු හිමි වදාළ මේ ධර්මය හැම ආකාරයෙන් ම බැඳීම් රහිත විරාගි ධර්මයක්.

මේ ලෝකයේ නොයෙක් විදියේ අරමුණු තිබෙනවා. ඒවා අතර ලස්සනට පෙනෙන රාගය ඇති කරන අරමුණු නිසා ඇතිවන සංකල්ප මුළු මිනිස් ලෝකය ම කළඹලා දානවා කියලයි මම හිතන්නේ.

සුළඟට ඇවිස්සිලා ගහගෙන යන දූවිලි, වැස්ස වහින කොට සංසිඳෙනවා. අන්න ඒ වගේ ප්‍රඥාව උපදවා ගෙන රාග සංකල්ප දිහා බලන විට ඒවා සංසිඳී යනවා.

ප්‍රඥාව උපදවාගෙන සකස් වූ හැම දෙයක් ගැනම අනිත්‍ය වශයෙන් බලන විට ඔහු දුක ගැන කළකිරෙනවා. කෙනෙක් පිරිසුදු වෙන්නේ අන්න ඒ ආකාරයට යි.

ප්‍රඥාව උපදවාගෙන සකස් වූ හැම දෙයක් ම දුක් වශයෙන් බලන විට ඔහු දුක ගැන කළකිරෙනවා. කෙනෙක් පිරිසුදු වෙන්නේ අන්න ඒ ක්‍රමයට යි.

ප්‍රඥාව උපදවාගෙන හැම ස්වභාවයක් ම ආත්ම රහිත දේ වශයෙන් බලන විට ඒ ගැන කළකිරෙනවා. කෙනෙක් පිරිසුදු වෙන්නේ ඒ ක්‍රමයට යි.

මේ කොණ්ඩඤ්ඤ තෙරුන් බුද්ධානුබුද්ධ කෙනෙක්. ඒ නිසාම ඉපදීමත්, මරණයත් නැති කළා. බඹසර ජීවිතය සම්පූර්ණ කර ගත්තා.

මහා සැඩ පහරක් තිබෙනවා. ඒ වගේම උගුල් අටවලා තිබෙනවා. ඒ වගේ උල් ගොඩක් තිබෙනවා. දුෂ්කර වූ ගල් පර්වතයකුත් තිබෙනවා. මේ කෙනා සියල්ලම උල් ටික කඩලා දැම්මා. අටවපූ උගුල් ටික සුණු විසුණු කළා. පළන්නට දුෂ්කර ගල් පර්වතය කැබලි වලට පළා දැම්මා. සැඩ පහරින් එතෙර වුණා. මේ පුද්ගලයා ධ්‍යාන වඩන කෙනෙක්. මාර බන්ධනයෙන් මිදුණ කෙනෙක්.

ආඩම්බරකාරි වුණොත්, චපල සිත් ඇති වුණොත්, පාප මිත්‍රයන්ගේ ආශ්‍රයට වැටුණොත් ඒ භික්ෂුව ක්‍රෝධ කිරීම නමැති දිය සුළියට අසුවෙනවා. සසර සැඩ පහරේ ම ගිලෙනවා.

උඩුඟුකමක් නැති, චපල නැති, බුද්ධිමත්ව කටයුතු කරන, ඉන්ද්‍රිය සංවරය ඇති කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ඇති භික්ෂුව දුක අවසන් කරනවා.

ඔහුගේ අත් පා කලුවැල් පුරුක් වගේ කෙට්ටුයි. නහර වැල් ඉල්පිලා තිබෙන්නේ. ආහාර ගැනීමේ අරමුණ ගැනත් හොඳට දන්නවා. ඔහු අදීන සිත් ඇති කෙනෙක්.

මහ වනයට ගොස් භාවනා කරද්දී ලේ බොන මැසි මදුරුවන්ගෙන් වේදනාකාරී පහර ලබද්දී හොඳ සිහියෙන් ඉවසාගෙන ඉන්නවා. යුධ බිමට පැමිණි වූ හස්තියෙක් වගේ.

මට දැන් මරණය ගැන අමුතු ආශාවක් නැහැ. ජීවිතය ගැනත් අමුතු ආශාවක් නැහැ. මාසේ පඩිය බලාගෙන ඉන්න කෙනෙක් වගේ මාත් මේ කල් බලාගෙන ඉන්නේ පිරිනිවන් පෑමට යි.

මට දැන් මරණය ගැන අමුතු ආශාවක්, ජීවිතය ගැන අමුතු ආශාවක් නැහැ. ඉතා හොඳ සිහියෙන්, හොඳ නුවණින් මම මේ කල් බලාගෙන ඉන්නේ පිරිනිවන් පෑමට යි.

මා, ශාස්තෘන් වහන්සේ ඉතා ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සුසුන සම්පූර්ණ කළා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින්ම කපා දැම්මා. ගිහි ජීවිතය අතහැර මම මහණ වුණේ උතුම් අදහසක් ඇතිව. මගේ ඒ උතුම් පැතුම ඉටු වුණා. දැන් ඉතින් මට වෙන කෙනෙකුගෙන් ඇති වැඩේ කුමක් ද? (හැම දෙයකින්ම නිදහස්) යනුවෙන් උන්වහන්සේ උදානයක් වදාළ සේක.