Print this Article


ඓතිහාසික මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය

ඓතිහාසික මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය


රාජ්‍ය පොසොන් මහා පින්කමේ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය පොසොන් පොහෝදා ( ජුනි 05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අවස්ථාව. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝද මෙහි වෙති.


මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය ඉකුත්දා (ජුනි 04) අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අවස්ථාව. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝද මේ අවස්ථාවට සහභාගි වූහ.
 

අනුබුදු මිහිදු මා හිමියන් විසින් මෙරටට බුදු දහම ගෙන ආ මිහින්තලා පුදබිම පොසොන් පොහෝ දිනයන්හි ඒකාලෝක කිරීම 1962 වසරේ සිට ලේක්හවුස් ආයතනය විසින් අඛණ්ඩ ව කර ගෙන එනු ලබන්නකි. ලේක්හවුස් ආයතනය විසින් පවත්වන ලද 58 වන මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව මෙවර ද පවත්වන්නට සම අනුග්‍රහය දක්වන ලද්දේ ලංකා විදුලි බල මණ්ඩලය විසිනි. එසේම ඒ සදහා ජාතික ලොතරැයි මණ්ඩලය හා ඩයලොග් සමාගම විසින් සැදැහැති දායකත්වය ලබා දෙන ලදී.

කොවිඩ් - 19 වසංගත තත්ත්වය යටතේ වුවද මෙවර ආලෝක පූජාවද තෙදිනක් පැවැත්වුණු අතර ආලෝක පූජාවේ ප්‍රථම දින වූ ජූනි මස 4 වැනිදා මිහින්තලාව ඒකාලෝක කරන ලද්දේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතිනි. එදිනම රජ සමයෙන් පසු මෙරට පවත්වන ලද ප්‍රථම පොසොන් රාජ්‍ය උත්සවය ආරම්භය සිදු විය..

මෙහිදී කතා කළ අග්‍රාමාත්‍යතුමා පැවසුවේ රජ සමයෙන් පසුව පළමු වතාවට රාජ්‍ය පොසොන් උත්සවයක් ප්‍රකාශයට පත්කර සමරනු ලබන්නේ මෙවර පොසොන් පොහොය දිනයේ දී බවයි. විශේෂයෙන්ම අගමැතිතුමා ලේක්හවුස් ආයතනයේ මිහින්තලා ආලෝක පූජාව අගය කෙළේ ය. තමන්ට ආලෝක පූජාවට සහභාගි වීමට ලැබීම මහත් සතුටක් බවද එතුමා මෙහිදී පැවසී ය. මෙරට ජන සමාජයේ අස්සක් මුල්ලක් නෑර බුදු දහම පැතිරී නිර්මාණශීලී බුද්ධිමත් ජන සමාජයක් බිහි වීමට මිහිඳු මහ රහතන් වහන්සේ දෙසූ ධර්මය උපකාරී වුණු බව ද අගමැතිතුමා පෙන්වා දුන්නේ ය. මෙරට ගුණ ධර්ම දියුණුව, සංස්කෘතික දියුණුව, ආර්ථික දියුණුව වැනි සියල්ල සිදු වූයේ ද ඒ අනුව බවද අගමැතිතුමා පැවසී ය. එමෙන්ම මහා විශ්මිත කලා ශිල්ප, මහා වැව් අමුණු බිහි වූයේද මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් පසුව බවද එතුමා කීවේ ය.

අපේ මුතුන් මිත්තන් මහා කළු ගල් වලට දයාව කරුණාව මෛත්‍රිය යන ගුණාංග ඉස්මතුවන ආකාරයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ විරුවන් බවත්, මිනිසුන්ගේ හදවතේ තිබුණු සියලු දුක් කම්කටොලු නැති කිරීමට එම මහා ප්‍රතිමාවලට හැකි වූ බවද එතුමා පෙන්වා දුන්නේ ය. මහා සාගරය පරදන මහා වැව් ඇති වී ආර්ථිකය ශක්තිමත් වුණෙත්, නිර්මල බුදු දහම ලැබීමෙන් පසුව ලංකාව එක්සේසත් කළ මහා නරපතියෝ, වීරෝදාර සෙන්පතියෝ,ශ්‍රේෂ්ඨ මහා කලාකරුවෝ ඇති වුණේ මහින්දාගමනයෙන් පසුව බවත් ඉතිහාසයේ ඒ සියල්ල ආරක්ෂා කළ නිසා අද අපිට ඒ සියල්ල දැක ගත හැකි බවද එතුමා පෙන්වා දුන්නේ ය.

ආලෝක පූජාවේ දෙවැනි දින වූ පොසොන් පුන් පොහෝදා එය විවෘත කරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසිනි. ආලෝක පූජාව විවෘත කිරීමට පෙර ලෝක පරිසර දිනය නිමිත්තෙන් මිහින්තලා මැදමළුවේ සල් පැළයක් රෝපණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

දෙවැනි දින විශේෂ අනුශාසනාවක් කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනු නාහිමියන් දේශනා කෙළේ මිහිදු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා දීපයට වැඩමවා මෙම පුණ්‍ය භුමියෙහි සදහම් ආලෝකය ලබා දුන් පොසොන් පොහොය සුවිශේෂී දිනයක් බවත්, ශ්‍රී ලංකාවේ සියලු ජනතාව වාද භේද පටු ආකල්ප දුරලා අනාගත පැවැත්ම තහවුරු කරගන්නට අවශ්‍ය සහාය ලබා දිය යුතු බවයි.

මිහිඳු මාහිමියන් විසින් අනුරාධපුර මහා විහාරය පිහිටුවනු ලැබීමත්, භික්ෂු ශාසනය පිහිටුවාලමින් ව්‍යාප්ත කළ බුදුන්වහන්සේගේ ධර්මය තුළින් මේ රටේ දහම් ආලෝකය ව්‍යාප්ත වූ බවත් කලාව, සාහිත්‍ය, සංස්කෘතිය සහිත සදාචාර සම්පන්න ජාතියක් බිහිවීමට එම දහම හේතු වූ බවද උන් වහන්සේ පැවසූහ.

මිහිඳු මාහිමියන් දේවානම් පියතිස්ස මහ රජතුමන්ට ඉගැන්වු ප්‍රථම චින්තනය තුළ පෙන්වා දුන් වැදගත් කරුණක් මෙහිදී ගෙන හැර දැක්වූ නාහිමියෝ "මහ රජ ඔබ මේ රටේ හිමිකරුවා නොව භාරකාරයා පමණි" යනඅර්ථයෙන් රටේ ජීවත්වන මිනිසුන්ගේ පමණක් නොව සතා සිවුපාවා ගහ කොළ ඇතුළු පරිසරය ද ආරක්ෂා කළ යුතු බව පෙන්වා දුන්හ.

මිහින්තලා ආලෝක පූජාවේ විශාල කාර්යයන් රැසකට උරදෙමින් මිහින්තලේ පුදබිමේ සියලු කටයුතු සිදු කරනු ලබන මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් අදහස් දක්වමින් වදාළේ මිහිඳු මහ රහතන් වහන්සේ අපේ දෙවන බුදුරජාණන් වහන්සේ බවත් උන්වහන්සේ වෙනුවෙන් ලක්දිව පමණක් නොව ලෝකයේම පින්කම් පවත්වා කෘතගුණ සැලකීම කළ යුතු බවයි. මිහිඳු මහ රහතන් වහන්සේට අප ණය ගැති බවත් පොසොන් රාජ්‍ය උත්සවය මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කළ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමේ ගෞරවය ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට හිමි වන බවද පැවසූහ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ රජ දවසෙන් පසුව තෛ‍්‍රනිකායික මහා නාහිමිවරු නියෝජනය කරමින් අනුනාහිමිවරු මේ රාජ්‍ය උත්සවයට වැඩම කරනු ලැබුයේ පළමු වතාවට බව පෙන්වා දුන් ධම්මරතන හිමයෝ උතුම් ශ්‍රි ලංකාව ස්වභාවික සම්පත් රැසකින් සමන්විත පුණ්‍ය භුමියක් බවත් රජකල ස්වයංපෝෂිත වූ මේ රට විදේශිය ආක්‍රමණයන් සමග සිදු වූ විනාශය හේතුවෙන් අපරටේ ආර්ථිකය කඩා වැටුණ බවද පෙන්වා දුන්හ.

ආලෝක පූජාව හා රාජ්‍ය පොසොන් උත්සවය 6 වැනිදා නිමාවට පත් වූ අතර එදින අලෝක පූජාව විවෘත කරන ලද්දේ රාජ්‍ය පොසොන් කමිටු සභාපති හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා විසිනි.

තෛ‍්‍රනිකායික අනු නාහිමිවරුන්ට අමතරව ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ සභාපති අමරපුර චූලගන්ධි පාර්ශ්වයේ මහනායක ගංතුනේ අස්සජි නාහිමියන්ද, ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් ඇතුළු මහා සංඝරත්නයද මේ අවස්ථාවන්ට එක් වූහ.

එසේම ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියද, අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස්. එම් චන්ද්‍රසේන, උතුරුමැද ආණ්ඩුකාර මහීපාල හේරත්, හිටපු රාජ්‍ය ඇමතිවරුන් වන ශෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.සී. මුතුකුමාරණ, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමති එස්.එම් රංජිත් ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ද සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද ලේක්හවුස් ආයතනයේ නිලධාරීන් රැසක්ද විදුලි බල මණ්ඩලයේ නියෝජිතයින්ද මේ අවස්ථාවන්ට සහභාගි වූහ.