Print this Article


පහන් සිතක කවි

වඳිමි පා පියුම්

අනන්තයි අපමණ යි හිමියනි ඔබේ ගුණ කඳ බැහැ වනන්නට
දුර්ලභයි බුදු සමිඳු දසුනක් සසර ගමනේ නෙත ගැටෙන්නට
පින් මදි යි මේ සසර සයුරෙන් එතෙර වී මොක්සුව ලබන්නට
ඇරැඹුම යි මේ වෙසඟ පෝ දින මෙතේ බුදු සමිදුන් දකින්නට

****

බුදු ගුණ

අස දිස හිමි සඳිනි දුන් දම් අමා රස
රසයක් කොහිද බුදු ගුණ ගායනේ මිස
මිස දිටු අඳුර දුරු කළ ලොව දෙසේ දස
දස බලධාරී මුනි නමඳිමි නමා හිස

නිමා නැති දුකෙන් මිරිකෙන සසර පමා
පමා වන තුරා මට බුදුසරණ තමා
තමා හිසට තම අතමය දෙසූ අමා
අමා මෑණියන් නමඳිමි සිරස නමා

****

වෙසක් අසිරිය

බෝසත් කුමරු ඉපදුනෙ ලුම්බිනි උයනේ
බුදු බව ලබා ගත්තේ බෝරුක් සෙවණේ
පිරිනිවීම සිදුවුණෙ උපවර්තන උයනේ
බුදු තෙම ඟුල මෙලෙස යි සිහියට නැඟුණේ

****

දහම් මග

නෙක ආත්මයන්හී
බෝසත් ගුණ වඩමින්
සසරේ ගමන් මග
කෙටිකර
ලොව දිනන්නේ
ලෝ සත්වයන්
දම් මග වෙත කැන්දා
සිදුහත් කුමරු
ලෝ සත වෙත
පහළ වුණා
ලෝ සත්වයන්
බව කතරින් මුදාගෙන
සිදුහත් කුමරු වැඩියැයි
බුදු බව ලබාගෙන
සසරින් නික්ම
නිවනින් සැනසෙන්න
නිර්මල දහම් මග වෙත
නිති පිවිසෙන්න

****

කොරෝනාව පරදවමු

හදවත් කම්පා කරමින් දස අත කොරෝනාව ලොව පැතිර
අපගේ මව් බිමට ද දැන් ඇවිදින් ආසාදිතයන් ඇත විසිර
නමිදිමි නොතකා එය මැඩලීමට දැඩි වෙහෙසක් ගන්නා නිතර
වෙද හෙද ආරක්ෂක සැම වෙත පුදදෙමු ආසිරි මල් පොකුර

රජයත් වගකිව යුතු අය සමඟින් ගෙන යන මහ ජාතික සටන
පුරවැසියන් ලෙස ඇප කැපවී ඉවසමු ලැබගෙන දෙන සහන
රතන සූත්‍රය දේශන බලයෙන් නොම වේවා තව එකකුදු මරණ
සුවපත් වේවා රෝගී සැමදෙන ලැබගෙන නිරතුරු බුදු සරණ

****

වෙසක් දවස

මත් කරුණා ගුණයෙන් නෙත් තෙමලා
ලොව්තුරු සුවය හැම හදවත් පුබුදු කළා
සිහිල් කරුණා ගුණයෙන් හද විහිදුවලා
පායයි වෙසක් තරු සැම හදවත් සනසාලා

පන්සාළිස් වසක් දම් රස බෙදලා
සැම දනන්ගේ සිත් සුවපත් කරලා
කුසිනාරා නුවරට වැඩම කරලා
අනියත බව පසක් කොට පිරිනිවන් පා වදාළා

****

ක්‍රෝධය දුරලමු

ක්‍රෝධය දුරැර දා
මානය සිතෙන් හැරදා
කෙලෙසුන් නැති සදා
දුකක් නොමවේ ඔහුට කිසිදා

සිතට පත් ක්‍රෝධය
වැඩුමට නොදිය යුතු ම ය
රථයෙ රියදුරු ම ය
ඕනෑ තැනකට හසුරුවන එය

රළු පරළු අය වෙත
ක්‍රෝධ නොකරනු ජය ඇත
නුගුණවත් අය වෙත
ගුණය පතුරනු නියත ජය ඇත

****

ලෝ අඩ නින්දේ

ලොවින් අඩක්
නිතර අඳුරේ ම ය
ආලෝකයට පිබිදී
නැවත අඳුරේ
මැලවී යයි
ආලෝකයේ ම
රැඳෙන්නේ
අල්පමය
කොටසකි

****

මත් රකුසා

යහ ගුණ දම් රකින අය දැන් අඩු වෙනවා
තරුණ දරුවො මත් රකුසට බිලි වෙනවා
අකල් මරණ නොසිතූ ලෙස වැඩි වෙනවා
මහලු නිවෙස්වල මව්පියො වැළපෙනවා

සැම සම්පත් මව්පියො දාරක පේමෙන්
සපයන්නේ දහසක් දුක් තැවුල් මැදින්
දරුවන් හට දහම් මග පෙන්වා දීමෙන්
ගලවා ගනිමු මව්රට මත් රකුසාගෙන්