Print this Article


සදහම් අරණ

බුදු ගුණ

බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් කැටිකොට ගුණ නවයකට බෙදා ඇත. එය නව අරහාදී බුදුගුණ යනුවෙන් හැඳින්වේ.අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදූ,අනුත්තර, පුරිස දම්ම සාරථි, සත්ථා දේව මනුස්සානං , බුද්ධ හා භගවා යන නව අරහාදී බුදු ගුණ වේ.

අපිද නිරන්තරයෙන් බුදුගුණ කෙරෙහි සිත පහදවා ගෙන බුදුන් සරණ යමු.

****

බුදුපියාණෝ

සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසමසම ගුණයන්ගෙන් යුත් සේක. උන්වහන්සේගේ රූප විලාසය දුටුදුටුවන් මන පිනවන පැහැදීම ඇති කරවන සුළු ය. බුදු සිරුර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා අනුව්‍යඤ්ජනයන්ගෙන් අසිරිමත් ය. එවගේ ම බුදුරදුන්ගේ වාග් විලාසය ද අසිරිමත් ය. උන්වහන්සේගේ වාග් විලාසය ගම්භීර ය. නින්නාදිත ය. මේ ගුණාංග පහළ වන්නේ බුදුන් වහන්සේ නමකට පමණි.

****

මුනිසිරිපාදේ

මුනිසිරිපාදේ
යමු කරුණාවේ
හද සිසිලස දෙන
බුදු ගුණ පැතිරේ
සුමන සමන් දෙවි රැකවරණයි
තුන් සිත පහදා බුදුගුණ මහිමය
වඳිමු වඳිමු අපි බුදු සිරිපාදේ

****

අනගාරික ධර්මපාලතුමා

“සිංහලයිනි නැගිටිව් ,බුද්ධගයාව බේරා ගනිව්. ගවමස් නොකනු. මත් පැන් නොබනු” මේ වටිනා අදහස් පවසා ඇත්තේ අපේ ජාතික වීරයකු වන බෞද්ධ නායකයෙකි. අනගාරික ධර්මපාල තුමා වර්ෂ 1864 සැප්තැම්බර් 17 දින දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් උපත ලද්දේ ය. එතුමාගේ පියා මාතර හිත්තැටියේ විසූ දොන් කරෝලිස් හේවාවිතාරණ ය. මල්ලිකා හේවාවිතාරණ ළමා තැනී මව වූවා ය. 1931 දී ඉන්දියාවට ගිය අනගාරික ධර්මපාලතුමා “මූලගන්ධකුටි” විහාරයේ දී “ සිරි දේවමිත්ත ධම්මපාල” නමින් පැවිදි වී උපසම්පදාව ලැබී ය. උන්වහන්සේ 1933 අපේ‍්‍රල් 29 දින අපවත් වූහ. දැය පුබුදු කළ අනගාරික ධර්මපාල නාමය ජාතික වීර නාමාවලියේ ඉහළින්ම සටහන් වී ඇත.

****

පෙරහර

සටාං පටාං සද්දෙ නගා කස හඬ එනවා
ඩෙංකුටු ඩෙංකුටු සද්දෙට දවුල් ගහනවා
වෙස්කරුවන් උඩ පැන පැන පිනුම් ගහනවා
සාධු සාධු අපේ ගමේ පෙරහර යනවා

****

දළදා මාලිගාව

මහනුවර හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මහනුවර කඳුවලින් වට වී ඇති විශාල සානුවක පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නගරයකි. මහනුවර ශ්‍රී දළදා මාලිගය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කොට ඇත. අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ වම් අකු ධාතුන් වහන්සේ තැම්පත් කොට ඇත්තේ දළදා මාලිගාවේ ය. හේමමාලා කුමරිය හා දන්ත කුමරු දන්ත ධාතුන් වහන්සේ මෙරටට වැඩම කළේ කලිඟුරට සිටය. එම නිසා මෙම දන්ත ධාතුන් වහන්සේ රැකගැනීම, පූජා පැවැත්වීම අපගේ යුතුකමකි.

****

සත්‍යවාදී වෙමු

පන්සිල් පදවල සිව්වැන්න මුසාවාදයෙන් වැළකීම යි. මුසාවාදය හෙවත් බොරු කීම, සතරාකාරව සිදු වේ. ඇත්ත නො වීම, රවටන සිත, ඒ පිණිස උපක්‍රම යෙදීම, එයින් රැවටීමට පත් වීම යන සතර යි. බොරු පවසන මිනිස්සු අන් අයට බොරු ගිවිසුම් දෙති. බොරු කතා, බොරු තීරණ දෙති. මෙයින් අන් අය මුලාවට පත්වීම පමණක් නොව අන් අය තමන් පවසන කිසිවක් ගණන් නො ගැනීමයි. දස අකුසලයට මෙයත් අයත් වේ. ඇත්ත කීම, අවංක බවේ සලකුණ යි. එමඟින් මානව සබඳතා ගොඩනැගේ. බොරු කීම, පොරොන්දු කඩ කිරීම, අනුන් රැවටීම, සත්‍යවාදියාගේ ලක්ෂණ නොවේ.

බොරුව සමාජ අපචාරයකි. එයින් වැළකීමෙන් සාමය, සමගිය සමාදානය, සතුට ඇතිවේ. අපිත් ළමා කාලයේ සිට ම සමාජයේ පිළිකුලට ලක්වන මුසා බසින් වැළකී අනුන් නොරවටා සත්‍ය ප්‍රකාශ කිරීමට පුරුදු පුහුණු වෙමු.

****

අත්තම්මා

හම රැලි වැටිලා –දත් ටික හැලිලා
කොණ්ඩෙත් හොඳටම සුදු වීලා
කොන්දත් නැමිලා, හිමින් ඇවිදලා,
අත්තම්මා යයි කුදු වීලා

පන්සල් යනවා – බුදුන් වඳීනවා
බණ පොත් හොඳ හැටි කියවනවා
පෝයත් එනවා – සිල් අර ගන්නවා
හැමටම මෙත් සිත පතුරනවා

****

මව්පියන්ට සලකමු

මව්පිය දෙදෙන
අපේ දිවි සරු කරවන
යහපතෙහි යොදවන
පාද සිඹ මම වඳිමි බැතියෙන

අපේ දෙවිවරු ලෙස
සැමදා අපව රැකගෙන
සිටින මව්පිය දෙදෙන
රකිමි මම ඔබ දෙදෙන මිහිපිට

මව්පිය දෙදෙන හට
සැලකිය යුතුය සැමවිට
අප රැකගත් ලෙසට
හොඳින් සලකමු අපිත් ඔවුනට

****

ඉවසීමෙන් සැනසීම ලබමු

ඉවසීම යනු උතුම් මිනිස් ගුණාංගයකි. නූතන සමාජයෙන් බොහෝ දුරට ඉවතට යන දෙයක් බවට පත්ව ඇත්තේ ඉවසීමයි. ඉවසීම නොමැති නිසාම බොහෝ දෙනා විවිධ කරදරවලට පත්වී තිබේ. ඉවසීම නොමැතිකම නිසා මිනිස් ජීවිතය පවා විනාශයට පත්වන අවස්ථා දක්නට ලැබේ. කෙනෙකුගේ වචනයක් හමුවේ අපේ සිත සැලීමට ලක්වේ නම් එතන ඉවසීමක් නොමැත. එමෙන් ම අපේ මුවෙන් කෙනෙකුට නොරුස්නා වදනක් ප්‍රකාශ කරයි නම් එතැන ද ඉවසීමක් දක්නට නොමැත. අප බුදුරජාණන් වහන්සේද ඉවසීම වර්ධනය කර තිබේ. ඒ උන්වහන්සේ ඉවසීමේ ගුණාංගය ලොවට හෙළිකළ ආකාරයයි. චිංචිමානවිකාව, දේවදත්ත වැනි ප්‍රකෝපකාරි පිරිස් හමුවේ මෛත්‍රියෙන් යුක්තව ඉවසා සිටියහ. ජීවිතයේ බොහෝ ගැටලුවලට සාර්ථකව මුහුණ දෙමින් ජීවිතය සාර්ථකකර ගැනීමට ඉවසීම නම් උතුම් ගුණාංගය අපගේ ජීවිතයට ළඟා කර ගනිමු.