Print this Article


ධර්ම ශ්‍රවණයේ අනුසස්

ධර්ම ශ්‍රවණයේ අනුසස්

කෙනෙකුට යහපත් කෙනෙකු වීමට ඇත්තා වූ උසස් ම හේතුව බුද්ධ ධර්මය ඇසීම ය. මනුෂ්‍යයෝ ධර්මයෙන් ඈත් වූ පමණට ගුණ හීනයෝ වෙති. ධර්මය ඇසුරු කළ කළ පමණට ගුණවත් වෙති.

ශිල්පශාස්ත්‍ර කොතෙක් දැන සිටියත්, කොනෙත් ධනය තිබුණත්, නෑයන් මිතුරන් කොතෙක් සිටියත්, ගුණයෙන් හීන තැනැත්තේ සුවඳින් තොර වූ කෑල මල සේ නො වටනා පුද්ගලයෙකි. විරූප වූවත් දිළිඳු වූවත් ශිල්ප ශාස්ත්‍ර නො දනිතත් ගුණවතා පූජ්‍ය පුද්ගලයෙකි. සැවැත්නුවර වීථිවල කසළ ඉවත් කරන්නකු වූ සුනීත ගුණවතකු වීම නිසා රජුන් විසින් පවා පුදනු ලබන්නෙක් විය. ගෞරවයෙන් බණ අසන, තැනැත්තේ ක්‍රමයෙන් පව් නො කරන, පින් කරන ගුණවතෙක් වේ. එය දහම් ඇසීමේ එක් අනුසසකි. නො ඇසූ දෑ අසන්නට ලැබීම ය, ඇසූ දෑ පිරිසුදු වීමය, සැක දුරුවීම ය, දෘෂ්ටිය සෘජුවීම ය, සිත පැහැදීම යන අනුසස් පස දහම් ඇසීමෙන් ලැබෙන බව ප්‍රකාශිත ය.

දහම් දෙසන කල සාධුකාර දෙන පින්වතාගේ මුඛයෙන් මානෙල් මල් සුවඳ ඇති වන බව කතා වස්තුවත් සමඟ මනෝරථ පූරණී නම් වූ අංගුත්තර අටුවාවේ දක්වා තිබේ. චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙක් කිසි ම තේරුමක් නැති ව දහම් දෙසන හඬ පමණක් අසා දෙව් ලොව උපන් බව විමාන වත්ථු ප්‍රකරණයෙහි දක්වා තිබේ. ලක්දිව කුඹල් තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ කිරි වවුලන් තේරුම් නොමැතිව සතුටු සිතින් දහම් හදාරන හඬ අසා ඒ පිනෙන් මිනිස් ලොව උපන් බව ද, තලගුරු වෙහෙර ධම්මදින්න තෙරුන් වහන්සේගේ දහම් හදාරන හඬ සතුටින් ඇසූ, කණ ගැර¼ඩියකු ඒ පිනින් මිනිස් ලොව ඇමති කුලයෙහි උපන් බව ද දක්වා තිබේ. බණ ඇසීමේ කුසල බලයෙන් දෙව් මිනිස් සැප ලැබූවන්ගේ ගණනක් නැත. බණ අසා සෝවාන් ආදි සතර මඟ, සතර ඵලයට පැමිණ නිවන් දුටුවන්ගේ ගණනක් ද නැත්තේ ය. එබැවින් සකල සම්පත් ලබා දෙන්නා වූ තථාගතයන් වහන්සේගේ ධර්මය අත්‍යාදර ගෞරවයෙන් අසත්වා.

බෞද්ධයාගේ අත්පොත ඇසුරිනි