Print this Article


අවිහිංසාවාදී බුදු දහමේ ප්‍රභාව ලොවට හෙළි කරමු

අවිහිංසාවාදී බුදු දහමේ ප්‍රභාව ලොවට හෙළි කරමු - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා

 

ශ්‍රී සම්බුද්ධ ධර්මය රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරමින් මහත් ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙහි නිරත වීම අප රටේ බොදු ජනයා වසර දහස් ගණනක සිට සිරිතක් කොට ගෙන සිටිති. ඒ උන්වහන්සේගේ ආගමනය ශ්‍රී ලංකාද්වීපයෙහි ආගමික, සංස්කෘතික, සමාජයීය, දේශපාලනික ආදී සෑම අංශයකින් ම ශිෂ්ටාචාරමය පරිවර්තනයකට හේතු වූ නිසා ය.

සහශ්‍රක දෙකකටත් වඩා අතීතයට දිවෙන, මිහිඳු මහරහතන් වන්සේ සහ එකල අපේ නරපතියා වූ දේවානම් පියතිස්ස රජු අතර හමුව ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂීම සංසිද්ධියයි. අපේ සමාජ වටිනාකම්, ආර්ථිකය, සාහිත්‍යය, කලාව හා ශිල්ප ක්‍රම පවා මහින්දාගමනය තුළින් අලුත් මගක් ගත්තේ ය. අහස උසට නිමැවුණු දාගැබ් ද, මහසයුර සදිසි මහවැව් ද, රට ස්වයං පෝෂිත කළ කෙත්වතු ද , ලොව මවිත කළ අද්විතීය කලා නිර්මාණයන් ද, ඒ සියල්ලට ම වඩා අටලෝ දහමින් අකම්පිත, ගහකොළ සතාසීපාවාට පවා සාධාරණය ඉටුකළ, අපිස් බව ජීවින ප්‍රවෘත්තිය කරගත්, සිවු බඹවිහරණ ලෙහි දරාගත් ලාංකික බොදුනුවා ද බිහිවන්නේ මේ සමාජ සංස්කෘතික විප්ලවයත් සමඟය.

අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසූ දහමෙන් හා අනුදැන වදාළ ජීවන මග ඔස්සේ ය. දෙලොව යහපත පිණිස සබුද්ධිකව ක්‍රියා කරන ශිෂ්ටසම්පන්න සමාජයක් බිහිකිරීමට ද ඒ දහම ඉවහල් විය. එබැවින් අතීතයට පමණක් නොව අනාගතයට ද අප රටක් ලෙස ලද වටිනාම දායාදය වන බුදු දහම අපට උරුම වූ උතුම් දිනය පොසොන් පුර පසළොස්වක පොහොය ලෙස සෑම හදවතකම ලියැවී තිබේ.

අප සෞභාග්‍යවත් දේශයක් කරා රට මෙහෙය වන්නේ අතීතයෙන් ලද අත්දැකීම්වලට හා බුදු දහමෙන් ලද ආභාෂයට අනුගතව ය. සැමට සාධාරණය ඉටුවනුයේ ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන්, විනයගරුක හා සමෘද්ධිමත් සමාජයක බව මගේ විශ්වාසය යි. මගේ රජය වර්තමානයට පමණක් නොව අනාගතයට ද සැලසුම් ක්‍රියාත්මක කරන්නේ එකී පදනම මත පිහිටා බව කිව යුතු ය. රට වර්තමානයේ මුහුණ දී ඇති වසංගතය හමුවේ වූව ද අප, ශිෂ්ටාචාරගත පදනම වූ ඒ දර්ශනයෙන් බැහැර වූයේ නැත. යථෝක්ත පදනමෙන් තොර ගමනක් ශ්‍රී ලාංකිකයන් වන අපට නොමැත.

එළැඹ ඇති මෙවර පොසොන් සමය සමාජය හා ජීවිතය දෙස තථාගත දහමට අනුගතව යථාර්ථවාදීව බැලීමට හා අවිහිංසාවාදී බුදු දහමේ ප්‍රභාව ලොවට හෙළි කිරීමට අවස්ථාව කර ගැනීම අනුබුදු මිහිඳු මා හිමියන්ට කළ හැකි වටිනාම උපහාරය බව මගේ හැඟීමයි.

ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා යි පතමි.